Print this Article


ගී බණ පද - 9: බියකරු සසරෙහි පුණ්‍ය මහිමය

ගී බණ පද - 9:

බියකරු සසරෙහි පුණ්‍ය මහිමය

බුදු අමාවැස්ස වහින කාලෙක
ඉපදුනා ම සංසාරේ කඳුළුයායක
පින් කරලා යැයි සිතුණා
පින් කරන්න තව සිතුණා
බුදුන් දිකින හැම වෙලාවෙ ම
නන්දනීය අමරණීය- දම් සභා ගැබේ
දෙසූ දහම් කන්දරාව- මල් වැස්සක් වගේ
අවාගිනි නිවා - අමාගඟ ගලා
දහම් සිසිල මිනිස් පුරේ
සිත් නිවා ගියා
වන්දනීය පූජනීය මහරහත් මගේ
සාදු සාදු සාදු කියා සිල් අරන් වගේ
දන් පහන් පුදා –බණ දහම් අසා
සසර කඳුළු නිවන්පුරේ
හැනැහිලා ගියා

නාද මාලාව-එච්. එම්. ජයවර්ධන
ගායනය- දිස්නා අතපත්තු

“සුඛෝ බුද්ධානං උප්පාදෝ”

බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම සැපයකි. සාමාන්‍ය සමාජයක ජීවත්වන පුද්ගලයකුට නිවන් දැකීම දක්වා සංසාරය පුරා ගමන් කළ යුතු නිවැරැදි මාර්ගෝපදේශකත්වය ලබාදෙන්නේ බුදුරජාණන් වහන්සේලා ය. එනිසා ම බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම සැපයක් ලෙස හඳුන්වයි.

බුදුවරයන් වහන්සේලා නූපදින අබුද්ධෝත්පාද කාල ද පවතී. එවැනි කාලයක උප්පත්තිය ලැබුවන්ට පව පින කුසල අකුසල නිවැරැදිව හඳුනාගැනීමේ අවස්ථාවක් නැත. පව් කළ පුද්ගලයන් අබුද්ධෝත්පාද කාලයන්හි උත්පත්තිය ලබයි. පවට නැඹුරු වූ සිත් පවට නැඹුරුවීමෙන් මනෝ කම්ම, වචී කම්ම, කාය කම්ම, වැඩි වශයෙන් සිදුකරයි. සිත කය වචනයෙන් සිදුවන අකුසල ප්‍රමාණය ද, වැඩි ය.

සසර පුරා කළ පින් මහිමයම බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලැබීමට හේතු වේ. මෙම ගීතය තුළින් එම කාරණාව ප්‍රකාශ වේ. බුදුවරයන් වහන්සේලා උප්පත්තිය ලැබූ කාලයන්හි ඉපදුණ ද සංසාරය කඳුළුක්ම ය. සංසාරය දුකක්ම ය. සසරෙහි ඇති බියකරු ස්වභාවය වැටහෙන්නේ ද බුදුරජාණන් වහන්සේලා දේශනා කළ දහම් අසන පුද්ගලයන් ට පමණ ය. එය නොපිළිගන්නා පුද්ගලයන් නැවත නැවත සසර බැඳ තබන කාර්යයන්හි නිරත වේ. බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීමත්, එම කාලයෙහි ඉපදීමට ලැබීමත් සතුටට කාරණාවකි.

බුදු අමාවැස්ස වහින කාලෙක
ඉපදුනාම සංසාරේ කදුළු යායක
පින් කරලා යැයි සිතුණා.
පින් කරන්න තව සිතුණා

යනුවෙන් බුදුවරයන් වහන්සේලා පහළ වූ කාලයන්හි උප්පත්තිය ලැබිමට සසර පුරා කළ පින් හේතු වන්නාසේ ම තවදුරටත් පින් කරන්න සිතන්නේ ද එම පුද්ගලයන් ය. තමා පව්කාරයකු බව දැනගත් විට පින්කරන්න නොසිතේ. පින් කිරීමට ප්‍රසන්න චිත්තයක් තිබිය යුතු ය. බුදුරුව දකින සැම අවස්ථාවෙහිම පින් කළ යුතු බවට සිතේ. පින් කිරීම යහපත් දෙයක් ලෙස දැනේ. කණ කැස්බෑවා වියසිදුරෙන් අහස දකින සිද්ධිය කාණ ඛච්චෝපම සූත්‍රයෙහි දක්වා ඇත. කණ කැස්බෑවකු විය සිදුරෙන් අහස දැකීම දුර්ලභ අවස්ථාවකි. කුඹුරු අස්වැද්දීම සඳහා සීසාන විට ඇතැම් වියගස් කැඩී යයි.

කැඩී බිදී පැවැති වියගහ ජලය ගලන අවස්ථාවක ජලයෙහි පාවී ගොස් ගඟට වැටී ගඟ තුළ පාවී අවසානයෙහි මුහුදට වැටේ. මුහුදට පත් වියගහ මුහුදෙහි පාවෙමින් පවතී. කැස්බෑවන් මුහුදෙහි ගැඹුරු දියෙහි ජීවත්වන සත්ත්ව කොට්ඨාශයක් වන අතර අහඹු ලෙස එක ඇසක් අන්ධ කැස්බෑවකු ද, සිටිය හැකි ය.

පුරහඳ පායා ඇති එදවසක මුහුදේ පාවෙමින් තිබූ වියගහක විය සිදුරත්, කැස්බෑවාගේ පෙනෙන ඇසත් සමබරව පැවැති අවස්ථාවක කණ කැස්බෑවකු අහස බැලීම අතිශය දුර්ලභ අවස්ථාවකි. වියගස හා කැස්බෑ ඇස එක සමානව පැවැති අවස්ථාව සිතා ගැනීමට නොහැකි තරම් දුර්ලභ ය.

කුඹුරේ වැටී ඇති වියගහ සම්බන්ධ වන එම සිද්ධි සියල්ලම අහඹු ලෙස සිදුවන සිදුවීම් ය. බුද්ධෝත්පාද කාලයක ඉපදී බුදුරජාණන් වහන්සේ නමකගෙන් බණ ඇසීමට ලැබිමත් එවැනි දුර්ලභ අවස්ථාවක් යන ධර්මතාවෙහි උතුම් අදහස එම ගීතය තුළින් පසක් කරනු ලබයි. සිංහල බෞද්ධ සමාජය තුළ සිංහල බෞද්ධයන් සිතන පතන ආකාරය මෙහි දක්වා ඇත. බුද්ධෝත්පාද කාලයක ඉපදී පින් දහම් කිරීමට ලැබීම සංසාරය සමඟ සසඳන විට සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයකුට ලැබෙන දුර්ලභම අවස්ථාවකි.

බුදු දහමෙහි සඳහන් එම කාරණාව සරලව පැහැදිලිව එම ගී පද රචනා ව තුළ අන්තර් ගතව පවතී. එය උතුම් බෞද්ධ ගීතයක් ලෙස අගය කළ හැකි ය.