Print this Article


ජීවිතය සරු කරන සතර ගිහි සැප

ජීවිතය සරු කරන සතර ගිහි සැප

සැපය යනු කායික සුවය මෙන්ම මානසික සැනසීම ගෙන දීමයි. ගිහියෙකු ගෘහ ජීවිතයේ දී ලබන සුවය ගිහි සැපය නමින් හැඳීන්වේ. සාමාන්‍ය ජනයා සැපය යැයි කියන්නේ පංචකාම වින්දනයටයි කාමය කියන්නේ කැමැති දේටයි. කෙනෙක් කැමැති දේ ලබන ඉන්ද්‍රිය පහක් තිබෙනවා. ඒ තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය. ඇස පිනවන රූප දැකීමට ඇති කැමැත්ත රූප කාමයයි. කන පිනවන ශබ්ද ඇසීමේ කැමැත්ත ශබ්ද කාමයයි. මිහිරි සුවඳින් නාසය පිනවීමේ කැමැත්ත ගන්ධ කාමයයි. දිව පිනවන රස විඳීමේ කැමැත්ත රස කාමයයි.

ශරීරය පිනවන සුව පහසු විඳීමේ කැමැත්ත ස්පර්ශ කාමයයි. මේ ආකාරයෙන් පංච ඉන්ද්‍රියයන් පිනවීම කාමයයි. සාමාන්‍ය ලෝකයා සැපයයි කියන්නේ මේ ඉන්ද්‍රිය සන්තර්පණයෙන් ලැබෙන කායික වින්දනයට මෙන්ම මානසික තෘප්තියටයි. බුදුරජාණන් වහන්සේ කිසි විටෙකත් කම් සැප අගය කොට නැත. ඒවා තාවකාලිකය. කම්සැප විඳ ආපසු හැරී බලන විට සතුටු වෙන්න තරම් දෙයක් ඒවායෙහි නොමැති බැවිනි. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ ගිහි සැප සතරක් දේශනා කොට වදාළහ. මේ සතරම ආපසු හැරී බලන විට කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්. මේ පිළිබඳව අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අනණ සූත්‍රයේ සදහන් වෙනවා. මෙම සූත්‍රය බුදුරජාණන් වහන්සේ අනේපිඬු මහ සිටාණන්ට දේශනා කොට ඇත. අත්‍ථි සුඛ - සම්පත් ඇති බවේ සැපය, භෝග සුඛ - සම්පත් භුක්ති විදීමේ සැපය, අනණ සුඛ - ණය නොවීමේ සැපය, අනවජ්ජ සුඛ - නිවැරැදි දිවි පැවැත්මේ සැපය යනු එම සැප සතර ය. යම්කිසි කුල පුත්‍රයෙකු සතු භව බෝග සම්පත් දෙස බලා සැනසිල්ලක් සොම්නසක් විඳීමට හැකි නම් එය අත්ථි සුඛයයි. එනම්, උත්සාහයෙන් උපයාගත් සම්පතක් වීම, අතපය වෙහෙසා උපයාගත් සම්පතක් වීම, දහදිය වගුරුවා උපයාගත් සම්පතක් වීම, දැහැමි ජීවිකාවෙන් ලත් සම්පතක් වීම, දැහැමි පිළිවෙලට ලත් සම්පතක් වීමයි. වැඩි දෙනෙක් හොයන්නේ මහන්සි නොවී ජිවත් වෙන ක්‍රමයකි.

රැකියාවකට ගියත් බලන්නේ අඩුවෙන් වැඩ කර වැඩියෙන් වැටුප් ගන්නටය. ගොවියා කම්කරුවා පමණක් නොව වැඩ හරියට කරන කවුරු වුණත් වෙහෙස මහන්සි විය යුතුමය. කවුරු හරි වෙහෙස මහන්සි වෙන්නේ නැහැ කියන්නේ ඔහු කරන කාර්යය හරියට කෙරෙන්නේ නැති බවය. රටක් දියුණු නොවෙන්නේ මේ වගේ ආකල්පවලින් වැඩ කරන අය වැඩිපුර සිටින විටයි. බෞද්ධයෙක් නම් තමා කරන කාර්යය හරියට වෙහෙස වී මහන්සි වී කළ යුතු ය. දෑතේ වීරියෙන් ධනය උපයා ගත යුතු ය. එහෙම නැතිනම් ඔහු බුදුබණ පිළිපදින බෞද්ධයෙක් වෙන්නේ නැත. අනෙක් අතට ඒ ධනයත්, දැහැමි රැකියාවකින් ලැබිය යුතුයි. ගොවිතැන ගව පාලනය වෙළඳාම රාජ්‍ය සේවය වගේ දෑ බුදුන් වහන්සේ විසිනුදු අනුමත කළ රැකියාවන් ය. ඊට අමතරව “සිප්පඤ්ඤතරෙන” කියලා සඳහන් වෙන විධියට තමන්ටත් අනුන්ටත් හිංසාවක් පීඩාවක් නැතිව කළ හැකි රැකියා බොහෝම පවතී හොඳ රැකියාවකින් ලබන ධනය වුව ද හොඳ විදිහට ලබන්න. අධාර්මික ක්‍රමවලින් අල්ලසින් දූෂණයෙන් වංචාවෙන් කොපමණ ධනය හරි හම්බ කළත් ඒ තුලින් අත්ථි සුඛය ලබන්නට බැරි බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

උත්සාහයෙන්, දැහැමින්, මහන්සියෙන්, පිළිවෙලට උපයාගත් වස්තුව තමනුත් අනුභව කරන අතර පින් දහම්වලත් යොදවනවා නම් ඔහුට ඉන් ලැබෙන සුඛය, සැනසිල්ල භෝග සුඛ නම් වේ. යම්කිසි පුද්ගලයෙකුට තමන්ගේ ජිවිතයේ පසුකාලයක දී මගේ සම්පත් මාත් අනුභව කළා. මගෙන් යැපෙන අයත් පෝෂණය කළා, විපත්වල දී ධනය වැය කර ඒවායින් ගැලවුණා, පරලොව පින් පිණිස දන් පින්කම් කළා. ඒ වගේම ඤාතීන්ට කළයුතු සංග්‍රහ, ආගන්තුක සත්කාර, මිය ගිය අයට පින්පෙත් දීම, රජයට ගෙවිය යුතු බදු ආදිය ගෙවීම දෙවි දේවතාවුන්ට පුද පූජා පින්පෙත් දීම ආදිය ද මැනවින් ඉටු කරන ලදැයි සතුටු වෙන්න පුඵවන් නම් ඔහු හෝ ඇය නියම භෝග සුඛය එහෙම නැත්තම් ධනය භුක්ති විඳීමේ සැපය ලැබු කෙනෙක් වෙනවා.

යම්කිසි පුද්ගලයෙක් තවත් කෙනෙකුට ස්වල්ප වශයෙන් හෝ බහුල වශයෙන් හෝ ණය ගැති නොවේ ද? එයින් ඔහුට මම කිසිවෙකුටත් ස්වල්ප වශයෙන් හෝ ණය ගැති නොවෙමියි සතුටක් සැනසිල්ලක් ලබාගැනීම අනණ සුඛයයි. අනණ සුඛය ලැබෙන්න නම් සමජීවිකථාව තිබෙන්න ඕන. ඒ කියන්නේ ආදායමේ තරමටයි වියදම් කරන්න ඕන. එය කළයුතු ආකාරය ද බුදු දහමින් මැනවින් පෙන්නුම් කර දී තිබෙනවා.

එකෙන භෝගෙ භුඤ්ජෙය්‍ය - ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථඤ්ච නිධාපෙය්‍ය - ආපදාසු භවිස්සති

උපයාගත් දෙයින් හතරෙන් පංගුවක් කලින් භෝග සුඛය වශයෙන් විස්තර කළ ආකාරයෙන් පරිභෝජනයට ගැනීම. හතරෙන් පංගු දෙකක් ආදායම් මාර්ගය පවත්වා ගැනීමට, එය දියුණු කිරීමට හා නඩත්තු කිරීම්වලට යොදාගැනීම හා අනෙක් හතරෙන් පංගුව විපතක දී ගැනීම සඳහා ඉතිරිකර තබා ගැනීම එයින් ප්‍රකාශ වේ.

ඉහත සඳහන් ක්‍රමයෙන් යමෙකුට ජීවත් වෙන්න පුඵවන් නම් ඔහුට හදිසි විපතකදීවත් ණය ගන්න සිද්ධ වෙන්නේ නැහැ.

අනවජ්ජ සුඛ යනු නිවැරදි කාය කර්මයෙන් යුතු වීම, නිවැරදි වාග් කර්මයෙන් යුක්තවීම හා නිවැරදි මනෝ කර්මයෙන් යුක්ත විමයි. එබඳු තැනැත්තා තුළ කයින්, වචනයෙන්, සිතින් නිවැරදිව වෙසෙමියි සතුටක් සැනසුමක් ඇති වෙනවා. ඒ අනුව පරපණ නැසීම, සොරකම, පරදාර සේවනය ආදී කයින් කෙරෙන වරදිනුත් බොරුකීම, කේළාම් කීම, පරුෂ වචන කීම, ඕපාදූප දෙඩවීම ආදී වචනයෙන් කෙරෙන වරදිනුත් දැඩි ලෝභය, බද්ධ වෛරය, කර්ම කර්මඵල නො අදහන වැරදි දෘෂ්ටිය කියන සිතෙන් කෙරෙන වරදිනුත් වැළකීම වශයෙන් සැලකීමට පුළුවන. බුදුරජාණන් වහන්සේ මුලින්ම දැහැමින් ධනය උපදවන ආකාරයත්, එම ධනය සතුටින් භුක්ති විඳින ආකාරයත් දේශනා කොට සිල්වත්වීම ගැන උගන්වන්නේ අන්තිමටයි. එයින් පෙනෙන්නේ මුලින් කියන සැප තුන නොලබන කෙනෙක් සිල් ගැනීමෙන් පමණක් ගිහි සැප ලබන්නේ නැති බව ය. ධනය තිබුණ පමණිනුත් ගිහි සැප ලබන්නට හැකි වන්නේ නැහැ. තමාගේ ධනය ස්වෝත්සාහයෙන්, දෑතේ විරියෙන්, දහඩිය මුගුරු හෙළා ලබාගත් ධනයක් කියල තමාට සතුටු වෙන්න පුඵවන් විය යුතුයි. ඒ ධනය දැහැමි ජීවිකාවකින්, දූෂණයෙන් තොරව දැහැමි පිළිවෙලකට ලැබූ ධනයක් කියලා සතුටු වෙන්න පුළුවන්කම තිබිය යුතුයි. තමන්ගේ ධනයේ පමණට තමන්ගෙන් යැපෙන්නන්ට කළයුතු යුතුකම් ඉටුකළා කියලා සතුටු වෙන්න පුළුවන් කම තිබිය යුතුයි. මේ සියල්ල සම්පූර්ණ වන විට පුද්ගලයා කයින් වචනයෙන් සිතින් කෙරෙන දස අකුසලයෙන් මිදුණ කෙනෙක් විය යුතුය. ඉහත සඳහන් කරුණුවලින් සම්පූර්ණ වූ කාමභෝගී ගිහියා නියම ගිහි සැප විඳින්නෙක් වන බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කොට ඇත.