සීහළවත්ථු කතා :
ගුරු භක්තිය
හෙළ දිවයිනට දුර්භික්ෂ කාලයක් උදා වුණි. සෝණ නමැති එක්තරා තරුණයෙක් මහල්ලකු සමඟ
ගමින් ගමට ඇවිදිමින් ආහාර සොයමින් යන අතරේ මහා විහාරයට පැමිණියේ ය. ඔහු දුටු එක්
රහත් තෙරුන් වහන්සේ නමක්,
තරුණය, නුඹ මේ මහල්ලා අතහැර පැවිදි නො වන්නේ මන්දැයි” ඇසී ය.
“ස්වාමිනි, මා වැන්නෙකු පැවිදි කරන්නේ කවරෙක් ද?”
“මා නුඹ පැවිදි කරවන්නෙමි” කියූ තෙරුන් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් පැවිදි කොට
මනා සේ ඉගැන්වීම ද සිදු කළහ.
පසුකලෙක ගුරු ස්වාමින් වහන්සේට බුදුරදුන්ගේ උප්පත්ති ස්ථානය ආදී පුජනීය ස්ථාන සතර
වැඳීමට සිතක් ඉපදුණි. උන්වහන්සේ ගෝල සාමණේරයන් වහන්සේ ද කැටුව තවලම්කාරයන් සමූහයක්
සමඟ ගමනට පිටත් වූහ. වනය මැද දී ගුරු තෙරුන්ට වාත රෝගයක් හට ගත්තේ ය. එන්න එන්න ම
රෝගය උත්සන්න විය. එවිට තෙරුන් වහන්සේ අනෙක් පිරිසට කථා කොට
“මම දැන් මරණාසන්නවයි සිටින්නේ. එනිසා ඔබ වහන්සේ මෙතැන් සිට වඩිනු මැන. හැමදෙනාම
විපතට පත්වීමට අවශ්‍ය නොවේ” යැයි කීහ.
සියලු පිරිස ගිය මුත් සාමණේර නම ගුරු තෙරුන් වහන්සේ හැර දමා නොගියේය. ගුරුන් වහන්සේ
ගෝල තෙරුන්ට කතාකොට වනයෙන් නික්ම යන ලෙස කීව ද “ඔබවහන්සේ ජීවත්ව සිටින තුරු මම නො
යමි” කී ය. සුළු වෙලාවකින් මහ තෙරුන් වහන්සේ පිරිනිවන් පා වදාළහ.
සාමණේරයන් වහන්සේ දර එකතු කොට ආදාහන කටයුතු කළහ. මෙය දුටු ශක්‍රයෝ අප්‍රකට වේශයකින්
පැමිණ සාමණේර නමගේ ප්‍රවෘත්ති අසා තෙරණුවෝ සමඟ එක් වී මහා තෙරුන් වහන්සේගේ ශරීරය
ආදාහනය කොට සාමණේරයන් වහන්සේ උතුරු දඹදිවට ගෙන ගොස් මහාවිහාරික මහත් සෘද්ධි ඇති
තවත් රහත් තෙරුන් වහන්සේ නමකට භාර කරවා “මේ භික්ෂූන් වෙතින් ඉගෙන ගත යුතු දේ ඉගෙන
ගනිත්වා” කියා නික්ම ගියේ ය.
සාමණේරයෝ සියලු පූජ්‍ය ස්ථානයන් වැඳ මහ තෙරුන් වෙතින් ත්‍රිපිටකය ඉගෙන පසු කලෙක හෙළ
දිවයිනට එන්නට පිටත් වූහ. මහාකොට්ටිදේව නම් ස්ථානයට පැමිණි විට තෙරණුවන්ට එක පදයක
යම් සැකයක් ඉපදුණි. නැවන හැරී ගොස් මධ්‍යම රාත්‍රි කාලයෙහි විහාරයට පැමිණ මහ
තෙරුන්ගේ කුටියේ දොරට තට්ටු කළේ ය. සාමණේර නම දුටු මහ තෙරුන් වහන්සේ “කුමට නැවත
ආවේදැයි” විමසූ විට
“ස්වාමිනි, මට එක පදයක සැකයක් ඉපදුණි. එය මට විස්තර කළ මැනයි” කී ය.
“නුඹ විසින් සිතන ලද්දෙ එහි නියම අර්ථය යි” තෙරුන් වහන්සේ කීහ.
එය අසා හෙළදිවයිනට අවුත් දහස් ගණන් භික්ෂූන්ට ත්‍රිපිටකය, පාළි උගන්වා අර්ථ කියා දී
පසු කලෙක රහත් බවට පත්වූහ. හෙතෙම වාසස්ථානයේ තෙවෙනි මාසයේ ප්‍රථම යාමයේ දී පුවඟු
දිවයිනෙහි ද, මධ්‍යම යාමයේ දී මහා විහාරයෙහි ද, පශ්චිම යාමයේ දී සෑගිරියෙහි ද එක්
රැකයක දී තුන් ස්ථානයක දහම් දෙසී ය. මරණාසන්න මොහොතේ දී උන්වහන්සේ මෙසේ වදාළේ ය.
”බුදුන් වහන්සේ දෙසු නවාංග බුද්ධ ශාසනය යම් පමණ ද, ඒ සියල්ල මා විසින් ඉගෙන ප්‍රකාශ
කරන ලදී. මහාඍෂීන් වහන්සේගේ ශාසනයෙහි කළ යුතු සියල්ලක් ම මා විසින් කරන ලදී. මම
සත්කාරයට නො කැමැත්තෙමි. එනිසා මම යුගන්ධර පර්වතයට වැඩම කොට පිරිනිවි යන්නෙමි” කියා
යුගන්ධර පර්වතය කරා වැඩම කළ සේක.
නයනා නිල්මිණි |