Print this Article


බෝසත් දරුවන්ට: ගොහොරු මඩෙහි පිපි සුවඳ පද්ම වෙමු

ගොහොරු මඩෙහි පිපි සුවඳ පද්ම වෙමු

" මේ සමාජයේ හොඳ නරක, කළු සුදු, පිරිසුදු, අපිරිසුදු මේ හැම කෙනෙක්ම සිටිනවා. එහෙත් ඒ අය සමාජයෙන් ඉවත් කළ නොහැකියි. බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළේ එවන් සමාජයක පද්මාකාර ජීවිතයක් ගත කරන්න කියලයි."

සිත සාදා ගන්නා ක්‍රමවේදයේ දී, ජීවිතය කියන විභාගය සමත්වීමේ දී පුංචි ඔබට ආදර්ශයට ගත හැකි චරිත බොහොමයක් තිබෙනවා. රාහුල පොඩි හාමුදුරුවෝ වයස අවුරුදු හතේ දී ජීවිතය ජය ගත්තා . විශාඛා මහා උපාසිකාව කුඩා දැරියකව සිටිය දී වයස අවුරුදු හතේ දී ලෝකයේ ඇත්ත ස්වභාවය දැන ගත්තා.

දරුවනේ, බුදුහාමුදුරුවෝ හරියට අපේ අම්මයි තාත්තයි වගේ.අම්මයි, තාත්තයි දෙන්න කරන්නේ තමන්ගේ දරුවන් හොඳ මාර්ගයේ ගමන් කරවීමයි. තාත්තා නම් නිතරම වගේ කියන්නේ එපා කියන වචනයමයි. ඒ වචන ඇසෙන විට සමහර දරුවන්ට අම්ම තාත්තාත් එපා වෙනවා. ඒ වුණත් දරුවනේ, අපට වඩා නොපෙනෙන ලොකු දුරක්, ලොකු මානයක් අම්මටයි, තාත්තටයි පෙනෙනවා. ඒ නිසයි අප කරන දේ වළක්වන්නේ. ඒවා දැන්ම තේරෙන්නේ නෑ. වැඩිහිටියන් බවට පත්වන විට හොඳින් තේරෙනවා.

ධම්මං විනා නත්ථි පිතාච මාතා
තමේව ඨානං සරණං පතිට්ඨා
තස්මාහි භෝ කිඤ්චි මඤ්ඤප්පහාය
සුනාථ ධාරෙථ චරාථ ධම්මේ

මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ, බුදුහාමුදුරුවෝ තරම් වටිනා, උතුම් ශ්‍රේෂ්ඨ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් නෑ කියලයි. ඊට හේතුව දන්නවාද? අම්ම, තාත්තා යහපතෙහි යොදවන්නේ තමන්ගේ දරුවන් පමණයි. ඒත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ මුළු මිනිස් ප්‍රජාවම, මානව වර්ගයා ම යහපතෙහි පිහිටුවනවා. සරණ විය යුතු කාටද? පිහිට විය යුතු කාටද? ඒ හැමෝටම සරණක්වෙනවා. කෙටියෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ සිදු කළේ මිනිසුන් යහපතෙහි යෙදවීමයි.

අපට මිනිසුන් කියන්නේ ඇයි?

“මනස්ස උස්සන්නතා මනුස්සා”

මනස උසස් නිසා, මනස හොඳට දියුණු කරන්න පුළුවන් නිසා, සිතා මතා වැඩ කරන්න පුළුවන් නිසා මිනිසා යැයි කියනවා. එහෙම නම් දරුවනේ, සිතා බලා වැඩ කළොත් පමණයි මිනිසුන් වන්නේ. එහෙම නොවුණොත් තිරිසන් සතුන් වෙනවා. තිරිසන් සතුන්ට සිතා බලා වැඩ කරන්න අපහසුයි. බලන්න, සුනඛයෙක් තවත් සුනඛයෙක් දුටු විට සපා කන්නට යනවා මිස ප්‍රශ්න විසඳා ගන්නට ඒ අයට නොහැකියි. පූසෙක් තවත් පූසෙක් දුටුවොත් රණ්ඩු වෙනවා. මේ වගේ සෑම සතෙකුටම සිතාමතා වැඩ කරන්නට නොහැකියි. ඒ නිසා ඒ අයට තිරිසනුන් යැයි කියනවා. ඒ වගේම තිරස් අතට ගමන් කරන නිසාත් තිරිසන් යැයි කියනවා. මිනිසුන් ගමන් කරන්නේ සිරස් අතට හිස කෙළින් තබාගෙන. ඒනිසාත් මිනිසා යැයි කියනවා.අපේ මේ උත්සාහයත් හිස කෙළින් තබාගෙන ජීවත්වෙන්නට හැකි දරුවන් පිරිසක් හැදීමටයි. ඒ කියන්නේ හිතලා වැඩ කරන දරු පිරිසක් හදා ගැනීමයි. අපේ සමහර දරුවො පමණක් නොවෙයි.

සමහර මවුපියවරු පවා සිතා මතා වැඩ කරන්නේ නෑ. හරියට රොබෝලා වගේ, පැනවීම්, දැනුම් දීම්වලට පමණයි වැඩ කරන්නේ. සිතා බලා වැඩ කරන්නේ නැති දරුවන් වැඩිහිටි වියට පත් වුණාම ඒ අයටයි මේ රට බාර ගන්නට සිදු වන්නේ. ඉතින් එහෙම වුණොත් රටත් විනාශ වෙනවා.

සිතා බලා වැඩ කරන්නට බුදුරජාණන් වහන්සේ අපට මග පෙන්වා දී තිබෙනවා. ඒ නිසයි උන් වහන්සේ තරම් වටිනා තාත්තා කෙනෙක් නැතැයි කියන්නේ, අඳින පළඳින ආකාරය, ආහාරපාන ගන්නා ආකාරය, හැසිරෙන ආකාරය, කතා බහ කරන ආකාරය මේ සෑම දෙයක් පිළිබඳව ම උන්වහන්සේ බොහොම කරුණාවෙන් අපට කියා දී තිබෙනවා. ඒවා ශික්ෂා පද යනුවෙන් හැඳින්වෙනවා.

මේ ලෝකයට, ලෝක පාලනය කරන ධර්මයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළේ හිරි ඔතප් යනුවෙනි. ‘හිරි’ කියන්නේ ලජ්ජාව. ඔත්තප්ප කියන්නේ බයට. මේ ලෝකයම පාලනය කරන ධර්මතා දෙක ලජ්ජාව සහ බයයි.

බුදුරජාණන් වහන්සේ පනවා තිබෙන සේඛියා නම් වූ ශික්ෂා පද පිළිබඳව මම මේ දරුවන්ට ලිපි පෙළ ආරම්භයේ දීම කියා දුන්නා. ආහාරපාන ගත යුතු ආකාරය ගැන කතා කළා. ඉතින් දරුවනේ.අපි අඳින්නට පළඳින්නට ඕනෑ විදිහත් හරිම ලස්සනට බුදුහාමුදුරුවෝ උගන්වා තිබෙනවා.

අපේ ශරීරයේ උඩට අඳින ඇඳුම් පැළඳුම්වලට අමතරව තවත් බොහෝ ඇඳුම් භාවිත කරනවා.

ඒවා පාදයේ මැණික් කටුව සමීපයට, හරියට රවුමක් ලෙස පිහිටන ලෙස ඇඳිය යුතුයි. ‘පරිමණ්ඩලං නිවාසෙස්සා මීති සික්ඛා කරණීයා’ ඊළඟට

පරිමණ්ඩලං පාරු පිස්සාමීති සික්ඛා කරණියා’ ඇඳුම පිරිමඬුලු කොට, ගෙල සිට මැණික් කටුව දක්වාම ආවරණය වන ලෙස අඳින්නට ඕනෑ. අපි ඇඳුම් අඳින්නේත් ඒ විදිහට ද? සිතා බලන්න. බොහෝ පුද්ගලයන්ගේ චරිතවත්කම් ඇඳුමෙන් ප්‍රකාශ වන බව දරුවො දන්නවාද? නොයෙක් විලාසිතා කරනවා යැයි,අපගේ චරිතවත් බව නැති වූයේ නම්, ඒ විලාසිතාවෙන් වැඩක් නෑ. ලස්සනට ඉන්නට ඕනෑ. ඒත් එය අපේ ක්‍රමයට ගැලපෙන ලෙස විය යුතුයි.

ප්‍රත්‍යවේක්ෂාවලදී, ඒ කියන්නේ නිතර සිතන්නට ඕනෑ කාරණාවල දී බුදුහාමුදුරුවෝ ඇඳුම් පැළඳුම් ගැන උගන්වා තිබෙන්නේ කෙසේද? “සීතස්ස පට්ඝාතාය”

සීතළ දුරු කර ගැනීම සඳහා ඇඳුම් ඇඳිය යුතු බවයි. “උන්හස්ස පටිඝාතාය’ උෂ්ණය දුරු කර ගැනීමට, මැසි මදුරු, පත්තෑ, ගෝනුසු ආදි සතුන්ගෙන් ආරක්ෂා වෙන්නට ඇඳුම් අඳින්න ඕනෑ. අද සමහරු අඳින ඇඳුම්වලින් මේ කිසිම දෙයක් ඉටු වෙන්නේ නෑ. ඒත් දරුවනේ බුදු හාමුදුරුවෝ මේවැනි දේ පවා උගන්වා වදාළේ අපේ ආරක්ෂාවටයි.

‘හිරි කෝපීන පටිච්ඡාද නත්ථං”

ලජ්ජාව ඇති නොවන ලෙස, සියලු ශරීරාංග ආවරණය වන ලෙස ඇඳුම් අඳින්නට ඕනැ.අද කාම අපරාධ වැඩි වී මොනතරම් ප්‍රශ්න ඇති වී තිබෙනවාද? ප්‍රධාන වශයෙන් ම ඒ ඇඳුම නිසයි. බලන්න බුදු හාමුදුරුවෝ මොන තරම් ලස්සනට මේ දේ පැහැදිලි කර දී තිබෙනවා ද ? ඒ නිසයි උන්වහන්සේ තරම් වටිනා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් නැති බව පැවසුවේ.

දරුවනේ, අපි බොහෝ විට නොමග යන්නේ ඇසුරු කරන අය නිසයි. හොඳ අය ඇසුරු කළොත් හොඳ අය වෙනවා. නරක අය ඇසුරු කළොත් නරක අය වෙනවා. හොඳ නරක හඳුනාගෙන තේරුම් ගන්නටයි බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නේ. මේ සමාජයේ හොඳ නරක, කළු සුදු, පිරිසුදු, අපිරිසුදු මේ හැම කෙනෙක්ම සිටිනවා. එහෙත් ඒ අය සමාජයෙන් ඉවත් කළ නොහැකියි. බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළේ එවන් සමාජයක පද්මාකාර ජීවිතයක් ගත කරන්න කියලයි. ඒ කියන්නේ නෙළුම් මලක් වගේ වන ලෙසයි.

නෙළුම් මල් පිපෙන්නේ කොහේද කියල පුංචි දරුවො දන්නවා නේද? වැවක, විලක එහෙමත් නැතිනම් පොකුණක. ඉතින් ඒවායේ පතුළේ තිබෙන්නේ මොනවාද? මඩ තිබෙනවා. මඩ අපිරිසුදුයි කියලා, සියලුම මඩ අයින් කළොත් නෙළුම් මලක් හට ගන්නේ නෑ. නෙළුම් මලක් හට ගන්නට නම් මඩ තිබිය යුතුමයි. මේ නිසා සමාජයේ නරක, අයහපත් අයත් ඉන්නව, මේ පුංචි දරුවන් හැම දෙනාම නරක,අයහපත් අය දෙස බලාගෙන, මඩ නොගාගත් නෙළුම් මලක් වගේ හැදෙන්නට ඕනෑ. නරක වැඩ කරන කෙනෙක්, නරක වචන කියන කෙනෙක්, නරක සිතිවිලි තිබෙන කෙනෙක් දුටුවාම මේ අය මට හැදෙන්නට තිබෙන මඩ ගොඩක් වගේ’ යැයි සිතන්නට ඕනෑ. ‘ඒත් මම ඒ මඩ නොගෑවී නෙළුම් මලක් වගේ වෙනවා’ යි සිතට ගෙන, ඒ අනුව හැසිරෙන්නටත් ඕනෑ.