Print this Article


අනුබුදු මිහිඳු මා හිමි වැඩි මිහින්තලා පුදබිම: මූර්ති කලාවේ අපූර්වත්වය

අනුබුදු මිහිඳු මා හිමි වැඩි මිහින්තලා පුදබිම:

මූර්ති කලාවේ අපූර්වත්වය

කඳු පාමුල ආරාම -

වෙදහලටත් කඳු පාමුල පියගැට පෙළටත් අතර ප්‍රාකාරයකින් සමන්විත වූ පැරැණි ආරාම ගොඩනැඟිල්ලක නටබුන් දක්නට ඇත.

වර්ග අඩි 125 ක් පමණ වූ චතුරශ්‍රාකාර ගොඩනැගිල්ල මැද ප්‍රාසාදයකි. එයට නිරිත දිග හා ගිණිකොන දිගින් තවත් අතුරු ප්‍රාසාද දෙකකි. ආරාම දොරටුවෙහි මකර රූප, කොරවක් ගල හා නාග රූප, දොරටුපාල රූප සහිත සෝපාන මාලාවෙන් සමන්විත ය.

පියගැට පෙළ -

මිහින්තලා පියගැට පෙළ එම පූජනීය පුණ්‍ය භූමියට ආලෝකයකි. මැද මළුව තෙක් ඇති කොටස මේ මාර්ගයේ පළමු කොටසයි.

එහි සමහර පියගැට පිහිටි ගලෙහි ම කොටා සකසා ඇති අතර, ඉතිරි කොටස කැපූ ගලෙන් බැඳ ඇත. මිහින්තලා කඳු මුදුනට ගමන් කරන සැඳැහැවතුන්ගේ ගමනේ වෙහෙස නිවාලන තුරු ලතා සෙවනින් මාර්ගය සිසිල් වී ඇත. එම මාවත එනම් පියගැට පෙළ දෙපස ඇති අරලිය වෘක්ෂයන්ගේ පිපෙන අරලිය මලින් දසත ම සුවඳවත් කරයි.

කඳු පා මුල සිට සන්නිපාත ශාලාව පිහිටි මැද මළුව දක්වා වූ පියගැට පෙළ ගල් පඩි 1840කින් සමන්විත ය.

පියගැට පෙළ දෙවන අදියර මැද මළුවෙන් ආරම්භ වී අම්බස්ථල දාගැබ දක්වා විහිදෙයි. තුන්වන අදියර අම්බස්ථල දාගැබ සිට මහ සෑය දක්වා විහිදෙයි.

මේ ආකාරයෙන් කඳු පාමුල සිට ඉහළට නගින විට ඇති ප්‍රධාන මාර්ගයේ පියගැට පෙළ නැග අඩදුරක් ගිය තැන දකුණට අතුරු මාර්ගයකි. මෙම මාර්ගයේ අසූවක් පමණ වූ පිය ගැට පෙළ නැග ගමන් කළ විට ළඟා වන්නේ කණ්ටක චේතියටයි.

කණ්ටක චේතිය -

මෙම දාගැබ සොයා ගැනීමට පෙර මහ වෘක්ෂයන්ගෙන් පිරීගත් කන්දේ ම කොටසක් ලෙසින් සලකන ලදී.

මෙම චෛත්‍ය නාමය කුමක් ද යන්න හඳුනා ගැනීමට පෙර ‘කිරිබඩ පවු දාගැබ’ ලෙසින් ද බොහෝ දෙනා හඳුනාගෙන ඇත.

එහෙත් එහි නියම නම හඳුනා ගැනීමට උපකාරවන සෙල් ලිපියක් මෙම දාගැබේ ම බටහිර වාහල්කඩ නුදුරුව ගලක කොටා තිබී සොයා ගන්නා ලදී. පළමුවන සියවසේ මහා දාඨික මහා නාග රජු විසින් ‘කටක චෙත’ හෙවත් ‘කණ්ඩක චේතිය’ නමින් ලියා තිබූ සෙල් ලිපිය හේතුවෙන් මෙම චෛත්‍යයේ නියම නම හඳුනා ගැනීමට උපකාර විය.

තවදුරටත් දෙවානම්පියතිස්ස රජු විසින් ‘කණ්ටක චේතිය’ අවට ගල්ලෙන් අට සැටක් ඉදි කළ බවට මහා වංශයේ සඳහන් ව ඇත. මේ ආකාරයෙන් කණ්ටක චේතිය නිවැරැදිව හඳුනා ගැනීමට හැකිවූවත් මෙය නිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින් දැයි යන්නට මෙතෙක් පිළිතුරක් ලැබී නැත.

පේසා වළලු තුනකින් සමන්විත කණ්ටක චේතිය පාදමේ වට ප්‍රමාණය අඩි 425 1/2ක් වන අතර, කැඩී බිඳී තිබියදීත් මෙම චේතිය උස ප්‍රමාණය අඩි 40 කි.

මුල්ම දාගැබට පසු කාලයේ දී ගඩොල් කංචුකයක් එකතු කිරීමෙන් එය විශාල කර ඇති බව කැණීම්වලින් හෙළි වී ඇත. මෙම කංචුකය පිළිබඳව මහාවංශයේ සඳහන් වන කරුණ මේ නිසා තහවුරුවේ.