Print this Article


බෝසත් දරුවන්ට: තනිව ගමන් යන සිත ගැන දැන ගනිමු

බෝසත් දරුවන්ට:

තනිව ගමන් යන සිත ගැන දැන ගනිමු

පින්වත් දුවේ, පුතේ.

අපේ බුදුරජාණන් වහන්සේ අධ්‍යාපන ක්‍රමවේදය අනුගමනය කළ ආකාරය පිළිබඳව පසුගිය බුදුසරණ පුවත්පතින් අප කතා කළා. උන්වහන්සේ පුහුණුවීම් ලබා දුන්නේ කුමක් ගැන දැයි දැන් අපි බලමු. උන්වහන්සේ පුහුණු කළේ අපේ සිත ගැනයි. දරුවනේ, සිත කියන්නේ මහා පුදුමාකාර දෙයක්.

දූරංගමං ඒකචරං - අසරීරං ගුහාසයං

සිත බොහෝ දුර ගමන් යනවා. තනිව හැසිරෙනවා. නිතර කැඩෙනවා. බිඳෙනවා. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාපන ක්‍රමවේදයේ අන්තර්ගත වෙන්නේ මේ සිත හදා ගන්නා හැටි පිළිබඳව යි.

පුංචි කාලේ අපේ සිත, එහෙමත් නැතිනම් චින්තනය මොන වගේ ද? එයට අප කියනවා සංඥා චින්තනය කියලා. ඒ කාලේ පුංචි ඔබ “කිරි බෝතලය මගේ” යැයි සංඥාවක් හඳුනාගෙන තිබුණා. එය නො ලැබුණොත් හඬන්නට පටන් ගත්තා. ඒ විතරක් නොවෙයි. කවුරුහරි කෙනෙක් තමන්ගේ අම්මට පහර දෙනවා දුටුවොත් මහා හයියෙන් හඬනවා. ඒත් වෙනත් කෙනෙකුට පහර දෙනවා දුටුවොත් මහා හයියෙන් සිනාසෙනවා. ඒ වගේම දණ ගාගෙන යන කාලය. පණුවෙක්, ගල් කැටයක් දුටුවත් අරගෙන කටට දා ගන්නවා. ඒ තමයි සංඥා චින්තනයේ ස්වභාවය. ඉතින් මේ සංඥා වින්තනය දියුණුවෙලා ඊළඟට විඤ්ඤාණ චින්තනය ඇතිවෙනවා. “විජානතී විජානතීති විඤ්ඤාණං” දැනගන්නා, දැනගන්නා දෙයට විඤ්ඤාණය යැයි කියනවා. අප ලබා ගන්නා දැනුම විඤ්ඤාණය ලෙස හැඳින්වෙනවා.

පාසල් යන දූ දරුවන් ලෙස විෂයය කරුණු ගැන පුංචි ඔබට හොඳ දැනීමක් තිබෙනවා. රියදුරු මාමලා, නැන්දලාට රිය පැදවීම ගැන දැනුමක් තිබෙනවා. ඇඳුම් මහන අයට ඒ ගැන දැනුමක් තිබෙනවා. මේ ආදී ලෙස සියලු දැනුමට කියන්නේ විඤ්ඤාණය කියලයි. සරල උදාහරණයක් ගමු. පුංචි කාලේ වගේ දැන් ගල් කැටයක් අහුලා ගත්තට කටට ගන්නේ නැහැ. ඒ කියන්නේ අපේ චින්තනය දියුණු වෙලා. දැන් දරුවනේ, සංඤා චින්තනය විඤ්ඤාණ චින්තනයක් බවට දියුණුවෙලා. ඊළඟට උත්සාහ කරන්නේ විඤ්ඤාණ චින්තනය පඤ්ඤා චින්තනයක් බවට දියුණු කර ගන්නට යි. පඤ්ඤා චින්තනය කියන්නේ මේ ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමට යි.

ඒව මේතං යතා භූතං - සම්මප්පඤ්ඤාය දත්තබ්භං

මේ ලෝකයේ භූත ස්වභාවය නිවැරැදි ආකාරයයෙන් දැන ගැනීම පඤ්ඤාව යි. කාටද දරුවනේ භූතයෝ කියන්නේ? අපේ ළඟින්ම ඉන්නා අයට. ඒ කියන්නේ අපි හැමෝටම. භව තත්ත්වයක ජීවත්වන සියලු දෙනාටම කියන්නේ භූතයින් කියලයි. මිය පරලොව ගිය අයට පමණක් නොවෙයි අම්මා, තාත්තා, අයියා, අක්කා, ලොකු අම්මා ආදී මේ හැමෝම අයිති භූතයන්ට යි.

ඉතින් දරුවනේ, මේ ලෝකයේ ඇත්ත කුමක් ද? බෝසතාණන් වහන්සේට නම් සතර පෙර නිමිති දකින විට ම ලෝකයේ ඇත්ත තේරුණා. අප මහා බෝසතාණන් වහන්සේ උයන් කෙළියට යන අතරේ පාද තුනක මිනිසෙක් දුටුවා. ඔහු පාද තුනකින් යන්නේ ඇයි? එක පාදයක් සැරයටියක්. එයයි තවත් පාදයක් ලෙස හැඳින්වූයේ. ඉතින් බෝසතාණන් වහන්සේ වයසක කෙනෙක් දැකලා මමත් වයසට යනවා කියා දැන ගත්තා. එය තමයි පළමුවැනි ඇත්ත. එහෙම නම් මේ ලෝකයේ හැමෝම වයසට යන අය. මහලු වෙනවාට කිසිවෙක් කැමැති නැහැ. ඒත් එය ලෝක ස්වභාවය යි.

ඊළඟ ඇත්ත ලෙඩවීම. මේ ලෝකයේ හැමෝටම කුමක් හෝ ලෙඩක් තිබෙනවා. හැමෝටම අඩු වැඩි වශයෙන් විවිධ රෝගාබාධ තිබෙනවා. ඊළඟට මේ ලෝකයේ හැම කෙනෙක්ම මිය යනවා. ඒ කියන්නේ මළ මිනියක් බවට පත්වෙනවා. බය හිතෙනවා නේද? ඒත් ඇත්ත එයයි දරුවනේ. අපේ මේ ශරීරය හැම මොහොතකම ඇතිවෙනවා, නැති වෙනවා. ඇතිවෙනවා කියන්නේ උපදිනවා. නැතිවෙනවා කියන්නේ මිය යනවා.

දැන් පැහැදිලි යි නේද? වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයට පත්වෙනවා. මේවා තමයි මේ ලෝකයේ ඇත්ත. එය හොඳින් අවබෝධ කර ගන්නට හැකි වන්නේ අපගේ චින්තනය පඤ්ඤා චින්තනයක් බවට පත් වූ පසුවයි. දැන් මතකයි නේද? සංඤා චින්තනය විඤ්ඤාණ චින්තනයක් බවට පත් වුණා. විඤ්ඤාණ චින්තනය පඤ්ඤා චින්තනයක් බවට පත්වුණා. පඤ්ඤා චින්තනයේ දී උත්සාහ කරන්නේ සුඤ්ඤා තත්ත්වයට පත්වීමට යි. ඒ කිව්වේ අපගේ මනස හිස් ස්වභාවයකට පත්වීමයි. මොනවාගෙන්ද හිස් වෙන්නේ? කෙලෙස්වලින්. ඒ කියන්නේ අපේ සිතට සිතිවිලි එනවිට ඒ සිතිවිලි සමඟ නො ඇලී සිටීම යි. නො ගැටී සිටීම යි. සරලව කියනවා නම් කිසිම දෙයක් නො සිතා සිටීම යි. භාවනාවේ දී අප එයට කියනවා ‘සංඥා වේදයිත නිරෝධය’ කියලා. කිසිම සංඥාවක් නො ගෙන ඉන්නවා.

මේ තත්ත්වයට පත් වූ කෙනා හඳුන්වන්නේ “අඤ්ඤා” කියලයි. බුදුරජාණන් වහන්සේගේ පුහුණු කිරීමේ පාසලේ මුල්ම විභාගය තමයි “ධම්මචක්කපවත්වන සූත්‍රය”. ඒ විභාගයට ශිෂ්‍යයින් පස් දෙනෙක් ඉදිරිපත් වුණා. විභාගය සමත් වුණේ කොණ්ඩඤ්ඤ තාපසතුමා පමණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමළං ධම්ම චක්කුං උදපාධි” ඒ කියන්නේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ විභාගය සමත් වුණා. කෙලෙස්මළ දුරු කරගත්තා. ඉතින් ප්‍රතිඵල නිකුත් කළා. කොහොමද විභාගය සමත් වුණේ. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ අඤ්ඤායි තත්ත්වයෙන් විභාගය සමත් වුණා. එදා සිට උන්වහන්සේ ප්‍රසිද්ධ වුණේ “අඤ්ඤා කොණ්ඩඤ්ඤ” කියලයි. අඤ්ඤා කියන්නේ සෝවාන් බවට පත්වීම යි. දැන් මතකයි නේද? මුලින්ම සංඥා චින්තනය විඤ්ඤාණ චින්තනයක් බවට පත්වුණා. විඤ්ඤාණ චින්තනය පඤ්ඤා චින්තනයක් බවට පත්වුණා. පඤ්ඤා චින්තනය සුඤ්ඤා චින්තනයක් බවට පත්වුණා. ඉන්පසු අඤ්ඤා චින්තනයක් බවට පත්වුණා.

දරුවනේ මේ සිත සාදා ගන්නා ක්‍රමවේදය යි. වෙනත් කිසිම අධ්‍යාපන ක්‍රමවේදයක සිත හදා ගන්නා ආකාරය උගන්වන්නේ නැහැ. බුදුරජාණන් වහ්නසේ පමණයි හිත හදා ගන්නට උගන්වන්නේ. සිත හදාගන්නට අපි ද උත්සාහ කරමු.