Print this Article


කුලුණින් ළතෙත් අහංගම ආනන්ද නාසමිඳාණෝ

කුලුණින් ළතෙත් අහංගම ආනන්ද නාසමිඳාණෝ

සාහු දස්සනමරියානං - සන්නිවාසෝ සදා සුඛෝ
අදස්සනේන බාලානං - නිච්චමේව සුඛී සියා
අරී උතුමන් දැකුම යහපති - එක් වැ විසුම ද සදා සුවයෙකි
දුදන අඳ බල් නොදැක්මෙන් ම ය - නිරතුරු වැ සුවයක් ලැබෙන්නේ

"උන්වහන්සේ මුළු දිවිය පුරා කළ පින්කම් බොහෝ ය. ගවයන් කුරුල්ලන් ආදී සතුන් මරණයෙන් ගලවාගැනීම, තිරිසන් සතුනට ආහාරපානයෙන් සංග්‍රහ කිරීම, නියං සාය හා සුනාමි වැනි විපත්වල දී අසරණයනට සරණ සැලැසීම, ජාතියේ සුවපත් අනාගතයක් අපේක්ෂාවෙන් ගැබිණි මවුවරුනට උපස්ථාන සැලැසීම, දරුවනට අධ්‍යාපන ආධාර ලබාදීම, දෙපා - අත් අහිමිවූවනට කෘත්‍රිම උපකරණ ලබාදීම, රෝගාබාධිත ජනතාවට වෛද්‍ය - ආධාර ලබා දීම ආදී විවිධ අසරණ සරණ සේවාවන් උන් වහන්සේ විසින් සිදු කරන ලද්දේ ආචාර්ය චන්දන ජයරත්න සූරීන් ගේ සභාපතිත්වයෙන් හා උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සිය විහාරස්ථානයෙහි පවත්වාගෙන යනු ලැබූ “මෙත් සවිය” හා සිය කුලුපග දායකදායිකාවන් ගේ නොමසුරු සහාය හා දායකත්වයෙනි. "

වැල්ලවත්ත සිරි විජයාරාමයේ අධිපතියාව දරමින් අමරපුර දම්රැකි සඟ මුළුවේ අධිකරණ නා හිමියන් ලෙස ලෝවැඩ වඩමින් උතුම් පැවිදි රුවනක් ලෙස පැවිදි නොපැවිදි හැම දන ගේ පැසැසුම් ගරු බුහුමන් ලැබූ අතිගරු අහංගම ආනන්ද නා හිමිපාණෝ පසුගිය දා සිහි නුවණින් යුතු ව ශාන්ත ව සියලු මෙලොව දිවිය අවසන් කළ සේක.

උන්වහන්සේ ඉහත සඳහන් කළ සම්බුදු වදනට අනුරූ ලෙසින් ඇසුරු කළ ගුණැති නැණැති සුපුරිස් හැම දන සොම්නස් කරවමින් ඔවුනට ළතෙත් කුලුණු ගුණයෙන් සුව සැලැසූ සඟපිය උතුමාණ කෙනෙකි.

දකුණු සිරිලක අහංගම පියදිගම විසූ දික්කුඹුරගේ ලියනෝරිස් ද සිල්වා මහතාණන් පියාණන් කොට, හේවා බරණගේ අරනෝලිහාමි මහ උවැසිය මෑණියන් කොට 1932 අප්‍රේල් 12 මැදියම් රෑ මෙලොව එළිය දුටු කුල දරුවා කෙමෙන් පින් සිරින් වැඩෙන්නට වූයේ දුටුදුටුවන් නෙත් පහන් කරවමිනි. ළමා වියේ දී ම, දෛවෝපගත ඛේදනීය ඉරණමක් ලෙස සිය මෑණියන් මෙලොවින් සමු ගන්නේ දරුවා අහංගම ශාරීපුත්‍ර විද්‍යාලයේ 2 වසරේ උගනිමින් සිටිය දී ය. මෙකී දරුණු මරු පහරත් සමඟ තවත් පසෙකින් දිවියට නව අරුණාලෝකයක් උදා වන්නේ තම සමීප ඥාතිත්වයක් ඇති අතිගරු අහංගම පඤ්ඤාලෝක මා හිමියන් මෙම පිනැති දරුවා මහණ කරවන්නට කැඳවාගෙන ඒමෙනි. උන් වහන්සේ විසින් මේ දරුවා ඔහුගේ වැඩිමල් ඥාති සොහොයුරකු වූ තවත් දරුවකුත් සමඟ 1940 ඔක්තෝබර් 10 වන දා වැල්ලවත්ත සිරි විජයාරාමයේ දී උතුම් පැවිදි බිමට පත් කරන ලද්දේ අහංගම ධම්මාරාම – අහංගම ආනන්ද යන නාමකරණයෙනි.

මහ පඬිරුවනක් ව වැඩ විසූ සිය ගුරුදෙවි මා හිමියන් ඇසුරේ මූලික බණ දහම් හදාළ නවක හෙරණපාණන් දෙනම පසුව කොළඹ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූයේ වැඩිදුර ඉගෙනුම සඳහා ය. සොහොයුරු ධම්මාරාම හිමියන් විදුදය අවසන් කර ප්‍රාචීන විභාග සාමර්ථය ද හිමි කරගන්නට භාග්‍යය ලැබුව ද ආනන්ද හිමියනට ගිලන් ගුරු උවැටනේ නිබඳ ව නිරත වන්නට සිදු වූ හෙයින් ඉගෙනුම එයින් නතර විය. එහෙත් ඒ වන විට ලිවීමෙහි බිණීමෙහි චතුරතාවත් ප්‍රාමාණික භාෂාන්තර ඥානයකුත් ලබා තිබිණ. 1952 අප්‍රේල් 04 වන දා තුරුණු අනඳ හෙරණපාණන් අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහා නායක මා හිමිපාණන් උපාධ්‍යාය තනතුරේ තබා අහංගම පඤ්ඤාලෝක, තල්අරඹේ ඉන්දසාර, පොල්වත්තේ ධම්මතිලක යන මා හිමියන් වහන්සේලා කර්මවාගාචාර්යයන් වහන්සේලා කොට උතුම් උපසම්පත්තියෙහි පිහිටුවන ලද්දේ රත්මලානේ චක්කින්දාරාම බද්ධ සීමා මාලකයෙහි ය.

ප්‍රබුද්ධ තරුණ හිමි නමක් ලෙස ගිහි – පැවිදි හැම දෙනා ගේ මන වඩමින් උන්වහන්සේ ජනපි‍්‍රය ව ඉදිරියට ආවේ ප්‍රගතිශීලී, ඇතැම් විට විප්ලවකාරී අදහස් පෙරටු කරගෙන ය. එහෙත් ඒ හැම තැනෙක ම පරෝපකාරිත්වය හා පරාර්ථසාධනය කුළු ගැන්වුණේ ය. සමාජ පි‍්‍රයශීලීත්වය, කරුණාර්ද්‍ර භාවය, ගුරු ගෞරවය, කෘතවේදිත්වය හා ගුණ භක්තිය මේ තරුණ යතිවරයා ගේ චරිතාංග ශෝභමාන කළ ලක්ෂණ විය.

අනඳ නා හිමිපාණන් ගේ චරිතාදර්ශය තුළ අප දුටු වෙසෙස් ලකුණක් නම් බෝධිසත්ත්ව චර්යාව යි. දුක් පත් දනන් මතු නොව සිය දුක කියාගත නොහැකි අසරණ තිරිසන් සතුනට ද අභය දානය කෙරෙමින් උන්වහන්සේ මුළු දිවිය පුරා කළ පින්කම් බොහෝ ය. ගවයන් කුරුල්ලන් ආදී සතුන් මරණයෙන් ගලවාගැනීම, තිරිසන් සතුනට ආහාරපානයෙන් සංග්‍රහ කිරීම, නියං සාය හා සුනාමි වැනි විපත්වල දී අසරණයනට සරණ සැලැසීම, ජාතියේ සුවපත් අනාගතයක් අපේක්ෂාවෙන් ගැබිණි මවුවරුනට උපස්ථාන සැලැසීම, දරුවනට අධ්‍යාපන ආධාර ලබාදීම, දෙපා - අත් අහිමිවූවනට කෘත්‍රිම උපකරණ ලබාදීම, රෝගාබාධිත ජනතාවට වෛද්‍ය - ආධාර ලබා දීම ආදී විවිධ අසරණ සරණ සේවාවන් උන් වහන්සේ විසින් සිදු කරන ලද්දේ ආචාර්ය චන්දන ජයරත්න සූරීන් ගේ සභාපතිත්වයෙන් හා උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සිය විහාරස්ථානයෙහි පවත්වාගෙන යනු ලැබූ “මෙත් සවිය” හා සිය කුලුපග දායකදායිකාවන් ගේ නොමසුරු සහාය හා දායකත්වයෙනි.

1976 වසරේ දී උන්වහන්සේ සිංගප්පූරුවේ ලංකාරාමයේ භාරකාරත්වය ලබාගනිමින් එහි සිට සිදු කළ ශාසනික හා සමාජීය සේවාව අද පවා ගෞරවයෙන් සිහිපත් කරනු ලබන්නකි. වෙසෙසින් ම කරුණා හදවතින් එරට චීන බෞද්ධ ජනතාවට කළ සේවාව ඔවුන් අද ද සිහිපත් කරන්නේ කෘතගුණ පූර්වකව ය. සිය පැවිදි සහෝදර අහංගම ධම්මාරාම නාහිමියන් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරයේ ආධිපත්‍යය ලබා 1979 වසරෙහි එහි වැඩම කිරීමෙන් පසු සිරි විජයාරාමයේ ආධිපත්‍යයට පත් වූවාහු අප නාහිමිපාණන් වහන්සේ ය. එහි උදා වූ නව ආලෝකයත් සමඟ සසුනට බසට රැසට දෙසට මහඟු වැඩ සලසන පින් බිමක් ලෙස සිරි විජයාරාමය දිදුලන්නට වූයේ ජාතික ආගමික භේදයකින් තොරව හැම දනට එහි ඇතුළු වී සැනැසීම ලබන්නට අවකාශ ලද නිසා ය.

ශ්‍රී ධර්මරක්ෂිත මහානිකාය හෙබැවූ පැළෑණේ මහනාහිමි, මඩිහේ මහනාහිමි, වැලිගම ඤාණරතන මහනාහිමි, කහඳාවේ මහින්ද මාහිමි ආදි යති උතුමන් වහන්සේලාට මතු නො ව තුන් නිකායේ ම සංඝනේතෘන් වහන්සේලාට උන් වහන්සේ දැක් වූ ගෞරව සම්ප්‍රයුක්ත හෘදයංගමතාව ‘ගුණ ඇත්තේ ගුණවතුන් කෙරේ ඇලේ’ යන පුරාණෝක්තිය සනාථ කරවී ය. ස්ථවිර – මධ්‍යම – නවක පැවිදි හැම දෙනා කෙරෙහි ම ළෙන්ගතු ඇසුරක් තිබූ නාහිමියන් වහන්සේ ශ්‍රී ධර්මරක්ෂිත නිකායයේ මතු දියුණුවට දැක්වූ අනුග්‍රහය වෙසෙසින් ආදර්ශවත් ය. බම්බලපිටියේ සිරි වජිරාරාමයේ වත්මන් දියුණුව වෙනුවෙන් ද අතිගරු නාහිමිපාණන් වහන්සේ ආශීර්වාද පූර්වක ව නිරන්තරයෙන් දැක් වූ අනුග්‍රහය මෙහි ලා වෙසෙසින් සිහිපත් කරනු ලබන්නේ කෘතඥතා පූර්වක ව ය.

කුලුණු මෙත් ගුණ සිසිලසින් හැම දනන් නො බෙදා සැනැහූ, දුලබ බුදු පුත් රුවනක් වූ අතිගරු අහංගම ආනන්ද අප අධිකරණ නායක මාහිමිපාණන් වහන්සේට උතුම් වූ නිවන් සුව අත් වේවා යි අපි බුහුමන් පෙරටු ව පතමු.