Print this Article


ප්‍රභාශ්වර සිත

ප්‍රභාශ්වර සිත

මෙම ලිපියෙහි දෙවන කොටස වෙසක් අව අටවක පෝදා මැයි 08 වැනිදා පත්‍රයේ පළවිය

බාල කාලයේ ‘පැහැදිලිව තිබූ ස්වභාවය’ නැතිනම් පිරිසුදු සිත, අනුකරණය සහ අනුසය’ නිසා හටගත් ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වූ බව තේරුම් ගන්නවා නම් අපට ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ට වීමට, ඇතුල්වීමට යම් අවස්ථාවක් ලැබෙනවා.

මෙසේ සිත කිලිටි වූ ආකාරය පැහැදිලි නැති නිසා, දැන්, පෙර පිරිසුදු සිතකට පත් වුණා ද කියාවත්, පත් වෙනවා ද, කියාවත් සිතා ගන්නට බැහැ. සෑම මොහොතකම, අනුකරණයෙන් භාවිත වූ ආකාරය සිහියට නැගෙන විට අනුසය ගතිය එකතුවමයි ක්‍රියා වෙන්නේ.

ක්‍රියාව අවසානයේ නැවත “උපාදාන ප්‍රත්‍යයෙන් භවය’ වෙනවා. කර්ම සැකසෙනවා . ‘වඩ වඩා ශක්තිමත්ව – ‘අනුසය භාවයට පත් වෙනවා.

මෙන්න මේ සිත කිලිටි වන නීවරණ ස්වභාවය යම් ප්‍රමාණයකටවත් යටපත් කිරීමට තමයි, එනම්, උපක්ලේශ ධර්මයන්ගෙන් කිලිටි වන ස්වභාවය පිරිසුදු කිරීමට තමයි සමථ භාවනාව කරන්නේ.

යම් අරමුණක් අරගෙන, ඒ අරමුණම මෙනෙහි කර, එක් අරමුණක ඒකාග්‍රතාවට පත්වන්නේ රාග, පටිඝ ආදි අනුශයන් අවදි නොවන්නයි. එයද, ක්ලේශ ධර්මයන් ‘තාවකාලිකව යටපත් කිරීමක්. යම් තැනක දී ධ්‍යානතල වල ඉපදුණත්, ඒ ආයුෂ පිරිහෙන විට යටපත් වූ ක්ලේශ ධර්මයන් ඉදිරිපත් වී, නැවත කාම ලෝකයේ දුගතියකට පත්වන්නට පුළුවන්. කිලිටි භාවයකට පත්වීමට පුළුවන්. මේ නිසා මේ ධ්‍යාන සුවය ද, තාවකාලික වෙනවා. මේ ධ්‍යාන අවස්ථාව ගැන පැහැදිලි වීමටත් මෙම සමණමණ්ඩිකා සූත්‍රය අපට උපකාර වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“වඩුදෙටුව, කරුණු සතරකින් සමන්නාගත පුද්ගලයා පිරිපුන් කුසල් නැති, උතුම් කුසල් නැති, උතුම් තත්ත්වයට පත් නොවූ,වාදයෙන් නොසෙල්වන ශ්‍රමණ යැයි පනවමි. එසේ වුවත් හේ, මේ බාල වූ උඩුකුරුව හෝනා ළදරු කුමරු වෙසෙසා (යටකොට) සිටියි.”

මෙන්න මේ අවස්ථාව තාවකාලික පිරිසුදුතාවයට පත්වන ධ්‍යාන සුවයයි. එසේ වුවත් සම්පූර්ණ කුසල් නැහැ. උතුම් බවට පත්වුණේ නැහැ. නමුත් ඒ ‘ධ්‍යාන කාලය තුළ වාදයෙන් නොසෙල්වෙනවා’. ඒ අවස්ථාවත් ‘තාවකාලිකව’ සිත පිරිසුදු තැනක්. නමුත් අර බාල වූ උඩුකුරුව හෝනා ළදරුවාට ඉදිරියෙන් සිටිනවා. ඒ කුමක් නිසාද?

‘යම් වීරියකින් ඒ තත්ත්වයට පත් වුණේ.ළදරු අවස්ථාවේ දී පිරිසුදුකම පැවතුණේ ,‘අනුසයන් තවම සංග්‍රහ නොවුණු නිසයි’ නමුත් ‘අනුකරණය වන අවස්ථාවට අනුසයන් සංග්‍රහ වුණා. මෙහි දී යම් වීරියකින්’– කුසල සිතේ එකඟ බවකින් ධ්‍යාන වඩා, ‘තාවකාලිකව හෝ නීවරණ යටපත් කොට පිරිසුදුකම හදාගත්තා.

ඒ පෙන්වන්නේ මේ “පෘථග්ජන භාවයේ ම සිටිමින් සමථ භාවනාවක් වඩා රූප ධ්‍යාන, අරූප ධ්‍යානවලට පත් වූ අවස්ථාව ගැනයි. මේ ආකාරයට සිතීමේ දී, මේ ලෞකික ධ්‍යාන සිත ද නීවරණ යටපත් වීමෙන් අනුසය සංග්‍රහ නොවන, ‘තාවකාලික’ පිරිසුදු බවක් බව පැහැදිලි වෙනවා.

මේ බව යි, තං අස්සුතවා පුථුජ්ජනො යථාභූතං නප්පජානාති–අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ ඒ තත් වූ පරිදි නොදනී. ‘කිලිටිවන සැටි’ තත්වු පරිද්දෙන් නොදනී. තස්මා අස්සුතවතො පුථුජ්ජනස්ස චිත්ත භාවනා නත්ථි ති වදාමි – ඒ හෙයින් අශ්‍රැතවත් පෘථග්ජනයා හට ‘චිත්ත භාවනාවක් නැතැයි’ වදාරමි. එයින් පෙන්වන්නේ – විදර්ශනා චිත්ත භාවනාවක් නැති බවයි.

මෙතන ‘විදර්ශනා භාවනාව තමයි චිත්ත භාවනාව කියා පෙන්වා තිබෙන්නේ. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. “වඩුදෙටුව, මම දස කරුණකින් සමන්නාගත පුරුෂ පුද්ගල සම්පූර්ණ කුසල් ඇති, උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත්, වාදයෙන් නොසැලෙන ශ්‍රමණ යැයි පනවමි”.

මේ අවස්ථාව ගැන ආරම්භයේ පටන්ම – කෙලෙස් තවත් වීර්යයෙන්, ‘සම්‍යක්, ප්‍රඥාවෙන් යුත් සිහිය’ යෙදී, ‘සම්මාදිට්ඨියෙන් වන පිරිසුදුභාවයක් ගැනයි වදාරා තිබෙන්නේ. එනම් “වඩුදෙටුව, මම

‘අකුසල සීලය’ (දුශ්ශීල ස්වභාවයෝ) දත යුතුයි කියමි.

‘අකුසල සීලය සරාග සිතින් උපදී” යයි දත යුතුයි.

‘මෙහි අකුසල සීලයෝ නිරවශේෂයෙන් (ඉතිරි නැතිව) නිරුද්ධ වෙතැයි’ දත යුතුයි. ‘මෙසේ පිළිපන්නේ අකුසල සීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වේ’ යැයි දතයුතුයි යැයි කියමි.” අකුසල සීලය නම් – අකුසල කාය කර්මය. අකුසල වචී කර්මය සහ ලාමක ආජීවයයි.

අප පැහැදිලි කළා අකුසල ක්‍රියා ඇතිවන්නේ කෙසේද? කියා. ආශ්වාස වාතය සහ ලේ ධාතුව පෙණහැල්ලේ දී සංයෝග වී, ‘වත්ථු රූපයේ ක්‍රියාකාරිත්වය ද හේතුකොට උණුසුම සහ ශක්තිය ඇති වෙනවා.

මේ රූප ධර්මයේ ශක්තිය ප්‍රත්‍යකොට ‘අනුසය’ කෙලෙස් (නිදිගත් කෙලෙස්) අවදි වී අනුකරණය වු ආකාරයට එකතු වී, උණුසුම නිසාම ආයුෂය පැවැත්වෙන සතර මහා ධාතුවෙන් යුක්ත වූ මේ කය, ‘චේතනාව මුල් කොට ක්‍රියා වෙනවා. එලෙස – ‘හේතු නිසා ඵල’ වශයෙන් පහළ වුවත්, ‘එහිම නිරුද්ධ වූවත්’, මේ ‘රූපය , සිත, සිතිවිලි එකිනෙකට ප්‍රත්‍යව‘ සිදුවෙන හේතුඵල නිරෝධය’ නුවණින් නොදැක,

රාග, ද්වේෂ, මෝහ ධර්මයන් එකතුව අකුසල කාය කර්මයක් වෙනවා.අකුසල වචන කථා කිරීමක් වෙනවා. අකුසල ආජීවයක් ( දිවි පැවැත්මක) වෙනවා. ඒ නිසයි ‘මේ අකුසල සීලය සරාග සිතින් උපදිනවා’ යැයි වදාළේ. මේ අකුසල සීලයන්ගේ ‘මූලය’ නා නා විධ වු, නා නා ප්‍රකාර වූ

‘රාග, ද්වේෂ, මෝහ සහිත සිත ම යි’ ‘මේ පහළ වන සිත’ ආශ්වාස වාතය, අනුසය ධර්ම, අනුකරණය ආදි ‘රූප නාමයන්’ හේතුකොට පහළව, නිරුද්ධ වන බවට නුවණින් යුත් සිහිය පිහිටීම නිසා ‘නැවත’ අකුසල සිත් පහළ වීමට හේතුවන ‘අනුසය’ නොවෙනවා. ‘අතීතය අනුසය – නිදිගත් කෙලෙස් ‘ ක්ෂය වෙනවා.

මේ පහළ වන ක්‍රියා කෙරෙහි ‘හේතු ඵල නිරෝධ ධර්මයෙහි නුවණින් යුත් සිහිය පිහිටීම නිසාම – නැවත නැවතත් අකුසල සිත් පහළ වීමට ප්‍රත්‍ය වෙන අනුසය ධර්ම ක්ෂය වෙනවා.

මේ නිසා කාය දුශ්චරිතය හැර, වචී දුශ්චරිතය හැර, සම්මා ආජීවයෙන් යුක්ත වෙනවා. මේ ක්‍රමයෙන් අකුසල සීලයන් ඉතිරි නැතිව නිරුද්ධ වෙනවා. මේ කරුණුවලින් අපට පැහැදිලි වෙන්න ඕනේ. මේ අකුසල ක්‍රියාවන් ‘සිත මුල් කොට ඇතිවන විටම ඒ ක්ෂණයේ ම – ‘හේතු ඵල නිරෝධයක් බව ඒ ‘ක්ෂණික දැකීමක්. එය නොසලකා හැරියහොත් – තණ්හා උපාදානයෙන්’ කටයුතු කරන විට ඒ ඒ අවස්ථා ඇතිව නැති වුවත්, නැවත නැවත අකුසල සිත් පහළ වීමට ‘හේතුවක්’ වෙන බව .

ඒ හේතුන් නිසා,ආරම්භයේ දී ම කාය කර්මය, වචී කර්මය නොවෙයි උපදින්නෙ, මනෝ කර්මයයි. අකුසල සිත යි උපදින්නේ , රාග, සිත, ද්වේෂ සිත, මෝහ සිතයි.

‘ඒ මනෝ කර්මය’ වාර ගණනාවක් ක්‍රියා වී නිරුද්ධ වන විට ඒ ගතිය වැඩෙනවා. එවිට තමයි කාය කර්මය, වචී කර්මය, මිථ්‍යා ආජීවයටත් එන්නෙ.

එය ක්ෂණිකව සිදුවන දෙයක් නිසා, කෝටි වාරයක් මේ සිත් ඇති වී නැතිවී යනවා කියන එක අපට පැහැදිලි බවක් නැති නිසා – එක පාරට, ‘එක ක්ෂණයක’ සිදුවන දෙයක් ලෙස සිතෙනවා. එම නිසා – “වීර්යයෙන් යුත් සම්‍යක් ප්‍රඥාවේ යෙදෙන්න ඕනෙ. සිත කෙරෙහි ‘හේතු ප්‍රත්‍යයෙන් පහළට නිරුද්ධ වන ස්වභාවය කෙරෙහි’ සිහිය පිහිටුවීමෙන්. නූපන් අකුසල ධර්මයන්ගේ නූපදවීම පිණිස වෙනවා. වෑයම් කරනවා, වීර්යය පත්වනවා. දැඩි උත්සාහ කරනවා. පධන් වීර්යය – බලවත් උත්සාහය කිරීම වෙනවා.