Print this Article


සීහළවත්ථු කතා : වස්ත්‍රයක් පුදා ලද අනුසස්

සීහළවත්ථු කතා :

වස්ත්‍රයක් පුදා ලද අනුසස්

අතීත කාලයෙහි හෙළ දිවයිනේ සිදු වූ සත්‍ය සිදුවීමක් ලෙස සීහළවත්ථු කතාවෙහි මෙසේ සඳහන් ය.

අනුරාධපුරයෙහි ධන සම්පත් ඇති පවුලක් විසී ය. ඒ පවුලෙහි මහත් බලැති පුත්‍රයෝ සත් දෙනෙක් ද, එක් දියණියක් ද විය. ඒ නුවර එක් කලෙක දුර්භික්ෂයක් හටගත්තේ ය. එකල්හි ඒ පවුලේ මවුපියෝ, මිත්‍රයෝ, නෑයෝ ආදී බොහෝ දෙනා පරලොව ගියහ.

මෛත්‍රිය සිතැති පි‍්‍රයශීලි වූ එක් තෙරුන් වහන්සේ නමක් දිනපතා ඒ නිවසට පිඬු පිණිස වැඩියහ. පවුලේ අය ඒ තෙරුන් වහන්සේට බොහෝ කලක් සංග්‍රහ කළහ. කාල විපත්තිය නිසා රෝග දුර්භික්ෂාදි භය තුනක් හටගත් විට මේ සිංහල ද්වීපය බොහෝ සේ පීඩිත විය. වැසියෝ දුකට පත් වූහ. ගමේ මිනිසුන්ට තිබූ ධ්‍යාන අවසන් වූ නිසා ආහාර සොයමින් කඳුරටට ගියහ.

යට කී පවුලේ දරුවෝ අටදෙනා ද සාගතයෙන් පීඩිත වූවාහු තෙරුන් වහන්සේ ද පෙරටු කොටගෙන මහ වනයට පිවිසිය හ. වනයේ ඇති මල්, මුල්්,ගෙඩි ආදිය සොයාගෙනවුත් පළමුව තෙරුන් වහන්සේට පුදා පසුව ඔවුහු අනුභව කරමින් ජීවිකාව කරගෙන ගියෝ ය.

ඔවුහු මහ වනයේ ම අවුරුදු දොළොසක් පුරා ජීවත් වූහ. ඔවුන්ගේ ආහාර වූයේ අල,ගෙඩි, පලතුරු ආදිය පමණි. දිරාගිය වැරහැලි ඇඳගෙන උන්හ. දිග් වූ නියපොතු, දිග් වූ ලොම් ද ඇති කෙට්ටු වූ සුදුමැලි වූ සිරුරු ඇති ඔවුහු පේ‍්‍රතයන් මෙන් භයානකව පෙනුණි. එක්තරා මිනිසෙක් දිනක් ඔවුන් සිටින වනය මැදින් එහා නුවරට යන විට මොවුන් දැක බියට පත්ව තමාගේ අතේ තිබු අලුත් වස්ත්‍රය ද අනෙක් දේ ද බිම දමා දිව්වේ ය. ඔවුහු ඒ වස්ත්‍රය ගෙන කඩමලු ඇඳ සිටි, නො වැසුන සිරුරු ඇති තම සොහොයුරියට මෙය සුදුසුයැයි සිතා ඇයට දුන්හ. ඇය එය රැගෙන තැබුවා ය. එදින ම තෙරුන් වහන්සේ පිඬු පිණිස අවුත් නිවස ඉදිරියෙහි වැඩ සිටිය හ.

තෙරුන් වහන්සේ දුටු ඇය “මේ අලුත් වස්ත්‍රය මට වඩා වටින්නේ තෙරුන් වහන්සේට” යැයි සිතා නැවත කඩමලු හැඳගෙන ඒ පිරිසුදු වස්ත්‍රය තෙරුන් වහන්සේට පිදීය. උන්වහන්සේ වැඩිය පසු තමා කළ මේ ක්‍රියාවට සොහොයුරන් දොස් කියාවි යන බියෙන් ගෙයින් පිට ගොස් පඳුරක් අතරෙහි සැඟවුණි. තෙරුන් වහන්සේ එය සිවුරක් කොට ඒ සිවුර අතේ තබාගෙන මෙසේ සිතූහ. “වනය මැද වසන දිළිඳු මේ දැරිය අද සොහොයුරන්ටත් නො කියා ඉතා දුෂ්කර දෙයක් කළා ය. පෘතග්ජන වූ මා විසින් මේ වස්ත්‍රය පරිභෝග නො කළ යුතු ය. ආශ්‍රව ක්ෂය නො කර මම මේ ආසනයෙන් නො නැගිටින්නෙමි” යි සිතා ඒ තෙරණුවෝ බවුන් වඩා අරහත්වයට පත් වූ සේක.

දෙදෙව් ලොව රජු වූ සක්දෙවිඳු මේ කාරණය දැක මමෝරම්‍ය දිව්‍ය වස්ත්‍ර පසුම්බියක දමා ගෙනවුත් ඈ නිදි තැන හිස පැත්තේ තබා ගියේ ය. නැගණිය නො දුටු ඒ සොහොයුරෝ මහ වනය පුරා ඇවිදිමින් ඇය සොයන කල්හි පඳුර අතරේ සැඟව සිටි ඇය දැක “නැගණියෙනි, කුමකට භය වූවා ද? සැඟවුණේ කුමකටදැයි? ඇසූහ. ඈ නිදාගත් තැනින් නැගිට සිදු වූ සියල්ල සිය සොහොයුරන්ට විස්තර ලෙස කී ය. එය අසා සොහොයුරෝ ඉතා සතුටින් ඇය කළ පින අනුමෝදන් වූහ. ඉන්පසු ළඟ තිබු පසුම්බ්ය කුමක්දැයි ලිහා බැලු විට විවිධ වර්ණයෙන් යුත් වස්ත්‍ර බව හැඳින එය ඇය අතට දුන්නා ය. ඇගේ දෑතට එය ලැබුණු පසු ඒ වස්ත්‍ර ක්ෂය නො වී නොයෙක් නොයෙක් ආකාරයෙන් පිරුණි. සතුටට පත් සොහොයුරෝ

”නැගෙණියෙනි, මෙය කවුරුන් විසින් දෙන ලද්දක් ද, මේ පසුම්බිය කොහෙන් ලැබුණාදැයි” ඇසූහ.

”අයියණ්ඩි, ඔබලා මට දුන් වස්ත්‍රය මම තෙරුන් වහන්සේට පූජා කර ගත්තෙමි. එය අසා නුඹලා මට දඬුවම් කරයි යන බියෙන් මේ පඳුර අසල නිදා ගත්තෙමි. අයියණ්ඩි, ඒකාන්තයෙන් ම මෙය දෙවියන් විසින් කරන ලද්දකි.”

”නැගණියෙනි, මෙය නුඹ දුන් දානයේ මෙලොව විපාකයකි. අප දන් පූජා කරන තෙරුන් වහන්සේ ඒකාන්තයෙන් ම අරහත්වයට පත්වී ඇති බව ස්ථිරය” යැයි කතිකා කළහ. ඉන් පසු ඔවුන් තෙරුන් වහන්සේට තුන් සිවුරක් පූජා කොට ඔවුන් ද කඩමලු ඇඳුම් ඉවත් කොට දිව්‍ය වස්ත්‍ර ඇඳ ගත්හ. දුර්භික්ෂය නිමා වූ පසු දිව්‍ය වස්ත්‍ර හැඳගත් ඒ අටදෙනා ම තෙරුන් වහන්සේ පෙරටු කොට නගරයෙහි වූ තමන්ගේ නිවස වෙත නැවත පැමිණිය හ.