Print this Article


සුගති ගමන - 18: මහා භද්‍ර කල්පයේ අන්තඞකල්පය

සුගති ගමන - 18:

මහා භද්‍ර කල්පයේ අන්තඞකල්පය

තුන්වන අන්තඞකල්ප හැට හතරේ ආභස්සර නමින් සත්ත්ව කොටසක් අහසේ පාවෙමින් ජීවත් වෙනවා. හතරවන අන්තඞකල්ප හැට හතරේ නැවත පෘථිවිය, ලෝකධාතු, දිව්‍ය ලෝක, අපාය සකස් වෙමින් පවතිනවා. එය දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙයි.

නැවත පෘථිවි තලයක් සැකසෙන විට මුලින් ම පෘථිවියේ ස්වභාවය කිරිවල යොදය වගෙයි ලු. ආභස්සර නමින් අහසේ පාවී සිටින මේ සත්ත්වයන් කිරිවල යොදය වගේ තිබෙන පෘථිවියට ළඟාවී, ඒ අය පෘථිවියේ සුවඳ ආඝ්‍රාණය කරනවා. කාලයක් යනවිට පොළොව රසවත් බවට පත් වෙනවා. ඊටපසුව ඒ අය පෘථිවි රසය දිව ගා බලා එය ආහාරයට ගනියි. එලෙස කාලයක් යද්දී පෘථිවිය සැකසෙද්දී අහසේ පාවී සිටිය පිරිසගේ සිරුරු ක්‍රමයෙන් ඝන වී යයි. ඔවුන් පොළොව මට්ටමේ දිවි ගෙවන්න පටන් ගනියි. මෙලෙස නැවත පෘථිවියක් සෑදෙන අයුරු, දිව්‍ය ලෝක, සතර අපාය නිර්මාණය වන ආකාරය හතරවන අන්තඞකල්ප හැට හතර පුරාම පෘථිවි තල සකස් වී පවතියි.

මෙලෙස අන්තඞකල්ප හැට හතරේ ඒවා සතරක් එකතුවන තැන මහා කල්පයක් ඇති වෙයි. මෙහි පළමු අන්තඞකල්ප හැට හතර ගැන පමණක් බලමු. එනම්, සත්ත්වයන් ඉපදී ගමන් කරන දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සතර අපාය ආදිය පළමු අන්තඞකල්ප හැට හතරෙන් අප බුදුන් වහන්සේ පස් නමක් පහළ වෙති. මේ මහා භද්‍ර කල්පයේ පහළ වන කල්පය ‘මහා භද්‍ර කල්පය යි.’ මේ අන්තඞකල්ප හැට හතරේ හතරවන අන්තඞකල්පය තුළ අප දැන් ජීවත් වනවා. එතන එක අන්තඞකල්පය යි. ඒ වගේ අන්තඞකල්ප හැට හතරක් ගිය විට මනුස්ස වාසයේ ඇති අන්තඞකල්ප අවසන් වෙයි.

එවිට එක අන්තඞකල්පයක් වීමට නම්, ජීවත් වන මනුස්ස ලෝකයේ මනුස්සයන්ගේ ආයුෂ අවුරුදු දහයේ සිට ක්‍රමයෙන් ආයුෂ වැඩිවී අවුරුදු වලින් අසංඛ්‍යෙය දක්වා වැඩි විය යුතු යි. අවුරුදු අසංඛ්‍යෙයට ආයුෂ වැඩිවන කාල ගැන දේශනාවල සඳහන් වෙයි. එතැන විස්තර වෙනවා අවුරුදු අසංඛ්‍යෙයක් යනු එකයි බිංදු එකසිය හතළිහක් බව. එවිිට ඔබ හිතන්න, මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් වැඩිවෙමින් එකයි බිංදු එකසිය හතළිහක් දක්වා ම ආයුෂ වැඩිවන කාලයක් එනවා. හැබැයි, මෙවැනි දීර්ඝ ආයුෂ ඇතිවන විට මනු ලොව ඇත්තේ මෙවැනි ස්වරූපයෙන් නොවෙයි.

අසංඛ්‍යෙය දක්වා වැඩිවන ආයුෂ එතැන් සිට ක්‍රමයෙන් අකුසලයෙන් ආයුෂ පිරිහෙන සත්ත්වයාගේ කෙලෙස් බලවත් ව ආයුෂ පිරිහෙනවා. මෙලෙස මිනිස් ආයුෂ අවුරුදු දහය දක්වා ම පිරිහෙනවා. එවිට කෙලෙස් උත්සන්න වීම තුළ අන්තඞකල්ප විනාශය සිද්ධ වෙනවා. ගින්නෙන්, ජලයෙන්, සුළඟින් , අවි ආයුධ වලින් මේ කියන කාරණා තුළ අන්තඞකල්ප විනාශය සිද්ධ වෙලා ඒ සත්ත්වයන්ගෙන් විශාල පිරිසක් මරාගෙන ලේ විලක් බවට පත්ව සුළු පිරිසක් පමණක් ජීවිත බේරා ගන්නවා. එසේනම්, පළමු අන්තඞකල්පය අවසන් වන්නේ මෙලෙස යි.

ඒ අවසන් වෙන තැන ජීවිත බේරා ගන්නා අයගෙන් නැවත දෙවන අන්තඞකල්පය ආරම්භව ක්‍රමයෙන් අවුරුදු දහයේ ආයුෂ පරම්පරාවෙන් පරම්පරාවට ටිකෙන් ටික වැඩි වෙවී අවුරුදු අසංඛ්‍යෙය දක්වා ම නැවත වැඩිවන කාලයක් එනවා. ඒ වැඩි වූ ආයුෂ එතැන් සිට පිරිහී අඩුවී අවුරුදු දහයට අඩු වෙනවා.

එසේනම්, මෙලෙස අවුරුදු දහයේ සිට අසංඛ්‍යෙය දක්වා ම වැඩිවෙලා, ඒ වැඩිවුණ ආයුෂ ක්‍රමයෙන් අවුරුදු දහයටම අඩුවෙලා ඒ ඇතිවෙන විනාශයත් සමඟ එක අන්තඞකල්පය යි. ඒවගේ අන්තඞකල්ප හැට හතරක් ගිය තැන මේ මහා කල්පයේ මනුස්ස වාසය තිබෙන සතර අපායේ වැටි වැටී ගමන් කරන අන්තඞකල්ප ප්‍රමාණය අවසන් ව යනවා. එනම් මහා භද්‍ර කල්පය යි. එසේනම්, අප වාසය කරන මහා භද්‍ර කල්පයේ පළමු අන්තඞකල්පය තුළ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසංඛ්‍යෙයට ම වැඩි වෙලා, ඒ වැඩිවුණු ආයුෂ අඩුවීගෙන මිනිසුන්ගේ ආයුෂ අවුරුදු හතළිස් දාහ දක්වා අඩුවූ තැන කකුසඳ බුදුන් වහන්සේ ලොව පහළ වෙනවා. එනම් මහා භද්‍ර කල්පයේ පළමු අන්තඞකල්පයේ ය.

කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වන විට ධර්ම දේශනාවල සඳහන් සේ, එකල මිනිස් ආයුෂ අවුරුදු හතළිස් දාහක් වෙයි. උන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ව හතළිස් දාහේ ආයුෂ අවුරුදු දහයට අඩුවෙලා පළමු අන්තඞකල්ප විනාශය සිදු වෙයි. එතැනින් ජීවිත බේරාගන්නා අයගෙන් දෙවන අන්තඞකල්පය ආරම්භ වෙයි. නැවත මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් වැඩිවෙලා අවුරුදු අසංඛ්‍යෙයටම වැඩිවන කාලයක් එනවා. ඒ වැඩිවුණ ආයුෂ එතැන් සිට පිරිහෙමින් පැවතිලා අවුරුදු තිස්දාහ දක්වා අඩුවූ තැන කෝණාගමන බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා. එවිට මේ මහා භද්‍ර කල්පයේ දෙවන අන්තඞකල්පය තුළ මිනිසුන්ගේ ආයුෂ වැඩිවෙමින් පැවතිලා තිස්දාහ දක්වා අඩුවූ තැන කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. උන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ආයුෂ අඩුවෙලා මිනිස් අවුරුදු දහයට ම අඩුවෙලා දෙවන අන්තඞකල්ප විනාශය සිද්ධ වෙනවා. ඊටපසුව ජීවිත බේරා ගන්නේ ඉතාමත් ම සුළු පිරිසක්. ඒ අයගෙන් තෙවන අන්තඞකල්පය ඇති වෙනවා. එවිට ද මිනිසුන්ගේ ආයුෂ වැඩිවෙලා කාලයක් යද්දී අවුරුදු අසංඛ්‍යෙයට නැවත වැඩිවන කාලයක් එනවා. ඒ වැඩිවුණ ආයුෂ එතැන් සිට ටිකෙන් ටික පිරිහිලා ආයුෂ අඩුවෙමින් පැමිණ මිනිස් ආයුෂ අවුරුදු විසිදාහ දක්වා අඩුවූ තැන කාශ්‍යප බුදුන් වහන්සේ ලොව පහළ වෙනවා.