Print this Article


බුදුරජාණන් වහන්සේ දැක ගන්නට නම් ...

බුදුරජාණන් වහන්සේ දැක ගන්නට නම් ...

"උපුල් , නෙළුම්, සුදු නෙළුම් ආදී මලක් දියෙහි හටගෙන දියෙන් උඩට විත් දියේ නො ගෑවී, දියෙන් වෙන්ව පවත්නේ යම් සේ ද, එසේ බුදුරදුන් ද මිනිස් ගොහොරුවේ ම ඉපදී ක්‍රමයෙන් ඉන් වෙන්ව යළි ඒ මිනිස් ගොහොරුවේ නො ගෑවී නො ගැටී සිටින ආශ්චර්යවත් මනුෂ්‍යයෙකි"

“අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං
භාවෙතබ්ඛං ච භාවිතං
පහාතබ්බං පහීනං මෙ
තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ”

“අවබෝධ කරගත යුතු දේ අවබෝධ කර ගතිමි. වැඩිය යුතු දේ වැඩුවෙමි. අත්හළ යුතු දේ අත් හළෙමි. එහෙයින් බ්‍රාහ්මණය මම බුද්ධ නම් වෙමි.”

මෙතෙක් බිහි වූත්, විෂයය වූත් පදවි තානාත්තරාත්තරයේ උත්තරීතර පදවිය නම් සම්බුදු පදවිය හෙවත් බුද්ධත්වය ම වන්නේ ය. එකී උත්තරීතර වූ බුදු පදවිය කවරකාර වූවක් ද යන්න පිළිබඳව මෙහි දී විමසා බැලීමට භාජනය කෙරේ. අදින් වසර 2600 කට පෙරාතුව දඹදිව නේරංජනා නදිය අසබඩ හෙවත් වර්තමානයේ බුද්ධගයාව යන නමින් හැඳින්වෙන අතිශය නිසංසල වූත් මනරම් භූමි භාගයක පිහිටි අශ්වත්තන වෘක්ෂ මූලයේ දී ලොවේ පවත්නා සියල්ල , යථා ස්වභාවය ඉතා මැනවින් වටහාගත් සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අභිමුඛයෙහිහොත් සේල නම් බ්‍රාහ්මණයා විසින් “ඔබ කවරෙක් වන්නේ දැයි” විමසු පැනයට දුන් පිළිතුර ම මෙහි දී බුදු පදවිය විමසීමෙහිලා උපයෝගී කරගත හැකි ය. පූර්වෝක්ත ගාථාවේ පිළිබිඹු වන පරිදි ‘බුද්ධත්වය’ යන වදන ඉතා සරල ලෙසත්, ගැඹුරු ලෙසත් විවරණය කොට තිබේ. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පුරණයට පමුණවන ලද පාරමිතා ධර්මවලින් ද අවසන් අත්බැව්හි ලැබූ සංකීර්ණ අත්දැකීම්වලින් ද මනා ලෙස මෙහෙය වන ලද සිදුහත් බෝසතුන්ගේ අසම සම ප්‍රඥාව කූටප්‍රාප්තිය ලබනුයේ බුද්ධත්වය නම් වූ උත්තරීතර පදවියට සම්ප්‍රාප්ත වීමෙනි. ඒ වනාහි අවබෝධ කරගත යුතු දේ අවබෝධ කර ගැනීමෙහිත්, වැඩිය යුතු දේ වැඩීමෙහිත්, අත්හළ යුතු දේ අත්හැරීමෙහිත් අවසාන ප්‍රතිඵලයයි.

අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං යන්නෙන් ප්‍රකට වන්නේ සිද්ධාර්ථ ගෞතම බුදුපියාණන් වහන්සේ අවබෝධ කරගත යුතු දෑ මනා සේ අවබෝධ කොට වදාළ හෙයින් සම්බුද්ධ නම් වන බවකි. මෙහි දී සම්බුද්ධත්වය පිළිබඳව කර්මානුගත විවරණය සැපයීමට මත්තෙන් ව්‍යාකරණ නිරුක්තිගත අර්ථ විවරණයක් සැපයීම අර්ථාවබෝධයට උපකාරී වනු ඇත.

බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ, බුදුරජාණන් වහන්සේට අදාළ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ සර්වඥයන් වහන්සේ ආදී අර්ථ විස්තර දක්වා තිබේ. මෙහි දී ලෙව්හි සියල් සද්, අසද්, ජීවී , අජීවී කරන්නා පිළිබඳ නිවැරදි අවබෝධය අදහස් කෙරේ. එකී අවබෝධය කෙසේවී ද යත් පෙර කී පරිදි ලෝ පවතින සියලු දේ නිත්‍ය නොවන බවයි. නිත්‍ය නොවීම නිසා දුක් සහගත වන බවත්, මම ය මාගේ ය යනුවෙන් ඇලීම් ගැටීම් නොවන බවත් ය. ඒ පමණකුදු නොව සත්ත්වයා භවයෙන් භවය උපදිමින් සසර දුක් විඳින්නේ තෘෂ්ණාව නිසා බව ය. එසේම සසරට ඇති ඇල්ම සම්පූර්ණයෙන් දුරු කිරීම තුළින් සියලු කෙලෙසුන්ගෙන් මිඳිය හැකි බව හෙවත්, නිවීම නම් නිර්වාණය සාක්ෂාත් කරගත හැකි බවත් ය. එකී අවබෝධයෙන් තොර තැනැත්තා නැවත නැවත සසර උපදිමින් දුක් විඳියි. සක්කා දිට්ඨි ආදී වශයෙන් දක්වන ලද දශ සංයෝජනයන් ප්‍රමුඛ කොට ඇති මිනිස් සිතෙහි උපදනා අප්‍රමාණ කෙලෙස්කර ධර්මයන් නිසා සසර ඇල්ම හෙවත් ආශාව හට ගනී. මෙලොව ඇතිතාක් සියල්ල නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් උපාදානය කර ගනී ද, මේ මිථ්‍යාවෙන් මිදී ත්‍රිලක්ෂණය පදනම් කරගත් අවබෝධය සත්ත්වයා සසර දුකින් මුදවන බව උන්වහන්සේ අවබෝධ කරගත් සේක.

දීපංකර පාද මූලයේ ඇතිකරගත් ප්‍රාර්ථනානුගතව පටිච්චසමුප්පාදය, කර්මය, පුනර්භවය, චතුරාර්ය සත්‍ය ආදී පරම දේශනාවන් තුළින් තමා අවබෝධ කොට ගත් ධර්මය නිවැරැදිව, නිසි ක්‍රමානුගතව සමාජයට ඉදිරිපත් කළහ. එසේ ම ඒ ආකාරයෙන් ධර්ම ශ්‍රවනයේ නියුක්ත වූවෝ දහස් ගණනින් විමුක්ති බලය ලදහ. කෙලෙස් මලින් ආර්ද්‍ර වූ අපට සම්බුද්ධත්වය ලද නොහැකි මුත් තථාගතප්පවේදිත ධර්මානුසාරයෙන් නිවන් ඵල ලැබීමේ සත්‍යතාව නොඅඩුව ලැබී ඇත. එසේ ම මදින් මද වුව ලබන ධර්මාවබෝධය සසරෙ කෙදිනක හෝ නිවන පිණිස ම හේතු වනවා ඇත.

“භාවෙතබ්බං ච භාවිතං” යනුයෙන් දේශනා කළ පරිදි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩිය යුතු යහපත් ධර්මයක් වී නම්, ඒ සියල්ල වඩන ලදී. ස්වකීය චිත්ත අභ්‍යන්තරයෙහි අත්‍යත්තයන් වඩා ගත යුතු අධ්‍යාත්මික වූත්, යහපත් ධර්මයන් සිය ජීවිතය තුළින් ම පෙන්වා වදාළ උන්වහන්සේ එකී ගුණ වැඩීමේ ආනිශංසයන් ද නිරන්තර වශයෙන් පෙන්වා දුන්හ. එසේ බුදුන් වහන්සේ වැඩු ගුණ දම් අතර මහා කරුණාව, මහා ප්‍රඥාව මුල්කරගත් මෛත්‍රීය පරහිතකාමීත්වය ඉවසීම, පරමාදර්ශී නායකත්වය, රහසින්වත් පව් නො කිරීම, ගිලානෝපස්ථානය, පිහිට විය යුත්තන්ට පිහිට වීම, ලාභසත්කාරයන්ට ලොල් නොවීම, තාදී ගුණික බව, කළගුණ සැලකීම, නො පසු බස්නා වීර්යය, දානදී පාරමිතා යනු එකී ගුණයන්ගෙන් කිහිපයකි. මිනිස් ගොහොරුවේ ම ජනිතව අන් සියල්ලන්ට වඩා උදාර මනුෂ්‍යයෙකු ලෙස ලෝක යථාර්ථය මනා අවබෝධ කොටගත් බුදුරජාණෝ මානව වර්ගයාට පමණක් නොව විශ්වයේ සියල්ලන්ටම මෙත්, කුළුුණු පැතිරවීමට තරම් සිත දියුණු කර ගත්හ. අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ සඳහන් වන පරිදි,

කයෙහි අසුභ දැකීම, ආහාරයෙහි පිළිකුල් බව වැඩීම, ලොව සියලු දේ කෙරෙහි අනභිරතිය වැඩීම, සියලු සංස්කාරයන්හි අනිත්‍යතාව වැඩීම, මරණ සංඤාව වැඩීම, යන කාරණා පස භාවිත කිරීමෙන්, බහුලව, වැඩීමෙන් ඒකාන්තයෙන් ම නිබ්බිදාව, විරාගය, නිරෝධය, උපසමය, අභිඤ්ඤාව සම්බෝධිය, නිවීම පිණිස හේතු වන බව දැක්වේ. ඒ ආකාරයෙන් වූ වැඩිය යුතු යහපත් වැඩීම් සියල්ල උන්වහන්සේ වැඩූ නිසා බුද්ධ නම් වන සේක. එසේ නො වැඩිය යුතු ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ලෝභය, රාගය, ද්වේෂය, මෝහය, මාන්‍ය මදය ආදිය නො වැඩූ සේක. එමතු ද නොව වැඩි සියලු ගුණ ප්‍රකට කළ සේක. ඒ අනුව විමසා බලන කල යමෙක් තම දිවියේ යම් සද් දහමක් වැඩීමට කැමති වන්නේ නම්, හෙතෙම ඒකාන්තයෙන් ආදර්ශයට ගත යුතු චරිතය අන් කිසිවෙක් නොව බුද්ධ චරිතය බව වටහා ගත යුතු ය.

“පහාත බ්බං පහීනං” යනුවෙන් දැක්වූ පරිදි සර්වප්‍රකාරයෙන් අත්හළ යුතු දේ අත්හළ බව සිදුහත් බෝසත් චරිතයේ මුල සිටම මනාව දිස් වේ. මෙලොව වසන පෘථග්ජන සියලු දෙනාම ආශාවෙන් රැස්කළ දේ අත්හැරීමට නො කැමැත්තාහ. අත් හරිතත් හුදෙක් තමාට අප්‍රයෝජනාවක් දෙයක් මැ. එහෙත් අප බෝසතාණෝ කළ උතුම් අත් හැරීම් රාශියක් ම සිදුහත් බෝසත් චරිතයේ ඇත. ඒ බව සිය පි‍්‍රයාදර ස්වාමි දියණිය වූ යශෝදරාව, සුකොමල පුත් වූ රාහුල ආදී නෑ හිතාදරයන් අතැර කළ අභිණිෂ්ක්‍රමණය ම නිදසුන් ලෙස සැලකුව හැකි ය. එමතු ද නොව උන්වහන්සේ පාරමී පුරණ අවධියේදී ද ස්වකීය ඇස්, ඉස්, මස්, ලේ මෙන් ම අඹු දරුවන් ද මතු ලෝකාර්ථචරියාව සලකා අත්හළ සේක. අත්හැරීම පුරුදු වන විටත් තමා සතු සැප සම්පත් හලයකු බව සක්විති රාජ්‍යාදිය අත් හැරීමෙන් ම පෙනේ. ඒ අත්හැරීම වනාහි හුදෙක් ලෝ වැසියන්ගේ හිත සුව පිණිස වූ නිසා තව තවත් උසස් අත්හැරීමක් ම වන්නේ ය. එහෙයින් බුදුන් වහන්සේ යනු බැඳීම් අත්හැරීම් පිළිබඳ මේ ලෝක සත්ත්වයාට ජීවිතාදර්ශයෙන් පෙන්වා වදාළ මහා ශාස්තෘවරයාණෝ ය.

උපුල් නෙළුම්, සුදු නෙළුම් ආදී මලක් දියෙහි හටගෙන දියෙන් උඩට විත් දියේ නො ගෑවී දියෙන් වෙන්ව පවත්නේ යම් සේද, එසේ බුදුරදුන් ද මිනිස් ගොහොරුවේ ම ඉපදී ක්‍රමයෙන් ඉන් වෙන්ව යළි ඒ මිනිස් ගොහොරුවේ නො ගෑවී නො ගැටී සිටින ආශ්චර්යවත් මනුෂ්‍යයෙකි. ‘බුද්ධ’ යනු කිසියම් යක්ෂ, දේව, ගාන්ධර්ව ගණයකට අයත් වූවෙක් නොව උතුම් ආශ්චර්යවත්, මනුෂ්‍යයෙක් බව මෙහිලා වටහා ගත යුතු ය. මේ ආදී වශයෙන් විමසා බලන කල බුදුරදුන් කවරෙක් ද යන වග කෙනෙකුට මනාව අවබෝධ කරගත හැක. පෙර කී කාරණාවන්ට අනුව විමසා බලන කල බුද්ධත්වය නම් අවබෝධයෙන් ගුණ දම් වැඩීමෙන්, ආශා බැඳීම් දුරු කිරීමෙන් ලබන ශ්‍රේෂ්ඨ අධිගමයකි. ඒ අධිගමනය බුදුරදුන් තරම් ඉහළින් නො මැති වුව ද මෙලොව බුද්ධිමත්ව සිතන්නට හැකි සියලු දෙනාටම ළඟා විය හැකි තත්ත්වයකි. බුදුරජාණන් වහන්සේ දකින්නට නම් උන්වහන්සේගේ දහම නිවැරැදිව වටහාගත යුතු ය. එකී ධර්මාවබෝධය මේ ජීවිතයේ දීම ලබන්නෙමුයි සියලු බොදුනුවන් එක්සත්ව, එක්සිත්ව අදිටන් කර ගැනීම ම සම්බුද්ධත්ව ජයන්තිය අර්ථවත් කිරීමට බෙහෙවින් ඉවහල් වනු නො අනුමාන ය.