Print this Article


ලෝ සත සසරින් එතෙර කළ සේක

ලෝ සත සසරින් එතෙර කළ සේක

වෙසක් පොහෝදා ධර්ම දේශනය “දිවා තපති ආදිච්චො රත්තිං ආභාති චන්දිමා සන්නද්ධො ඛත්තියො තපති ඣායි තපති බ්‍රාහ්මණො අථ සබ්බ මහොරත්තිං බුද්ධො තපති තෙජසා” “සූර්යයා දහවල් කාලයේ දිලිසෙයි. සඳ රාත්‍රියේ දිලිසෙයි. රජ තෙමේ සිවුරඟ සේනාවෙන් හා ආභරණයන්ගෙන් සමන්විතව දිලිසෙයි. පව් බැහැර කළ බමුණු තෙමේ (රහතන් වහන්සේ) ධ්‍යානයට සමවැදීමෙන් දිළිසෙයි. නැවත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දිවා රාත්‍රි දෙකේ දී ම බුද්ධ තේජසින් දිළිසෙයි.

” ඛුද්දක නිකායේ ධම්මපද පාලියේ බ්‍රාහ්මණ වර්ගයට අයත් ඉහත ගාථා ධර්මයෙන් ඒ ඒ පුද්ගලයන්ගේ තේජස මෙන්ම බුදුරජාණන් වහන්සේගේ තේජස පිළිබඳ ආනන්ද හිමියන්ට බුදුරදුන් දේශනා කළ ධර්මයෙහි අඩංගු වී ඇත. අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ අසංඛෙය්‍ය කල්ප ලක්ෂ හතරක් මුළුල්ලේ දස පාරමිතාවන් සමතිස් ආකාරයෙන් පූරණය කොට ලුම්බිනි සල් උයනේ දී සිද්ධාර්ථ ගෞතම වශයෙන් උප්පත්තිය ලැබීමත්, ගිහිගෙයි ඇති දුක් කරදර බාධක සියල්ල අවබෝධකොට මහාභිණිෂ්ක්‍රමණය කොට සය අවුරුද්දක් මුළුල්ලේ අපරිමිත දුෂ්කර ක්‍රියා කොට තණ්හා රතී, රගා යන මාර දූවරුන් හා දස මාර සේනාව පරාජය කරමින් ඇසතු බෝ රුක් මුල දී උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වූයේත්, පන්සාළිස් වසක් මුළුල්ලේ සකල ලෝක සත්ත්වයා සංසාරයේ භයංකර බවින් මිඳවීම සඳහා අසූහාරදහසක් වූ ධර්මස්ඛන්ධයන් දේශනා කොට කුසිනාරා නුවර උපවත්තන නම් වූ සල් උයනේ දී පිරිනිවන් පා වදාළේත් අද වැනි උතුම් වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනක දී ය.

බුදුරජාණන් වහන්සේ අනන්ත තේජසින් යුක්ත වන නිසා සියලු දෙනා කෙරෙහි දහම් ආලෝකය ලබා දී සසරින් එතෙර කරවීම සඳහා දහම් දෙසූහ. සම්බුදුරජාණන් වහන්සේට එම තේජස සීල, ගුණ, පඤ්ඤා, පුඤ්ඤ හා ධම්ම යන පස් වැදෑරුම් ලාභයන් නිසා ලැබුණකි. ‘සබ්බදා සීල සම්පන්නෝ’යන බුද්ධ දේශනාවට අනුව සැමදා සිල්වත්ව සිටීම දෙව් මිනිස් ආදීන්ගේ වන්දනාමානයට හේතු වෙයි. දිනක් අහසින් ගිය ශක්‍ර දේවේන්ද්‍රයා ඓරාවණ හස්ති රාජයාගේ පිටින් බිමට බැස නමස්කාර කළ අවස්ථාවේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ රියදුරු වූ මාතලී දිව්‍ය පුත්‍රයා විමතියෙන් විමසා සිටියේ කවුරුන් හට නමස්කාර කරන්නේ ද යනුවෙනි.

එවිට පැවසූවේ සිල් රකින, භාවනා කරන, සීලවන්ත උපාසකයා අරභයා වන්දනා කළ බවයි. එසේ නම් බුදුරදුන්ගේ සීල තේජස අපරිමිත වන්නේම ය. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි බුදු කෙනෙකුගේ ගුණ සමුදාය තවත් කෙනෙකුට කියා නිම කළ නොහැකි ය. ලොවුතුරා බුදු කෙනෙකුගේ ගුණ වර්ණනා කළ හැක්කේ තවත් එවැනි ම බුදු කෙනෙකුට පමණි. දිනක් ප්‍රාඥයින් අතර අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ බුදුරදුන් වෙත පැමිණ “භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තරම් ගුණසම්පන්න කෙනෙකු මේ තුන් ලෝකයේ ම නොවූ විරූය” යනුවෙන් ප්‍රකාශ කළවිට එසේ ප්‍රකාශ නොකළයුතු බවත් පෙර බුදුවරයන් වහන්සේලා ද මේ ගුණයන්ගෙන් ම යුක්ත වූ බවත් වදාළ සේක. බුදුවරයෙකු තුළ ඇති ගුණ සමුදාය තවත් බුදුවරයෙක් වර්ණනා කළ ද දීර්ඝ වූ කල්පය ගෙවී ගියත් බුදුගුණ නොගෙවෙන බව උන්වහන්සේ ම වදාරා ඇත.

ප්‍රඥාවේ ඉහළටම වැඩි උන්වහන්සේ හා සමාන කළ හැකි කිසිවෙකුත් ලොව පහළ වූයේ නැත. බුද්ධත්වයට පත් වීමෙන් පසු උපක ආජිවක අරභයා ප්‍රකාශ කර සිටියේ තමා හා සමාන කෙනෙකුත් තමන්ට ප්‍රතිවිරුද්ධ කෙනෙකුත්, ලොව නොමැති බවයි. ඒ ප්‍රඥා බල මහිමය නිසා ය. පුඤ්ඤ සම්පත්තිය උන්වහන්සේට ලැබුණේ දාන පාරමිතාව, පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී වශයෙන් තමන් සතු වස්තු සම්භාරය, ඇස් හිස්, මස්, ලේ ආදිය මෙන්ම අවසානයේ ජීවිත පරිත්‍යාගය පවා සිදු කළ බැවිනි. සියලු ලාභයන් මෙන්ම ධන්‍ය පුණ්‍ය සම්පත්තියෙන් යුත් දෙතිස් මහා පුරුෂාදී දේහ ලක්ෂණයන්ගෙන් යුක්ත වූයේත් සසරේ කරන ලද පාරමිතා බලයෙනි. ලොව පවතින සියලු යහපත් ධර්මයන් මෙන්ම අයහපත් වූ ධර්මයන් පිළිබඳ අවබෝධය ළඟා කරගෙන අයහපත් ධර්මයන්ගෙන් මිදී යහපත් මාර්ගයේ ගමන් කළයුතු යැයි පෙන්වා දෙමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලොවට හෙළි කළහ. සසරේ ඇති භයංකර බව, ජීවිතයේ ඇති අස්ථිර බව, දුක් කරදර, බාධක ඇති වීම හා ඊට පෙන්වා දුන් පිළියම් අප විසින් අවබෝධ කර ගත යුතු වන්නේ ය. ‘තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරො තථාගතා‘ යන බුදුවදන අනුව සසර දුකින් එතෙර වී නිවන් මග යාම සඳහා විරිය වැඩිය යුත්තේ තමන් විසින්ම ය.

බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වන්නේ ඒ මග කියා දීමට ය. නිවන් මග අවබෝධ කර ගැනීමේ දී පිළිපැදිය යුතු ක්‍රමවේදය වන්නේ අතීතය පිළිබඳ මෙනෙහි නොකිරිමත් එනම් අතීතයේ මට මෙවැනි රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක් හා විඤ්ඤාණයක් තිබුණේ යැයි කල්පනා කොට, දැන් මට එවැනි තත්ත්වයක් නැතැයි කියා දුක් වීම, කණගාටුව ඇතිකර ගැනීම සිදු කිරීම නොව බවුන් වැඩීමයි. එසේම අනාගතයේ ද මට එවැනි රූප වේදනා ආදිය තිබිය යුතු යැයි ප්‍රාර්ථනා නොකොට වර්තමාන ධර්මයන් තුළ සිටිමින් විදර්ශනා භාවනා වඩා උතුම් රහත් මාර්ගය පිණිස කටයුතු කිරීම සුදුසු ය. එහෙත් බොහෝ පුහුදුන් සත්ත්වයෝ නිතර කෙලෙස් ධර්මයන් වර්ධනය කෙරෙන කටයුතුවල නිරත වෙමින් කුසලාකුසල කර්මයන්හි නොයෙදී, බණ භාවනාදී පිළිවෙත් පිරීම කල් දමමින් එදිනෙදා කටයුතු කෙරෙහි පමණක් සිත් යොමු කරමින් සිටිති. බොහෝ අය මේ සඳහා යොමු වන්නේ ජීවිතයේ අවසාන අදියරය වන වයසට පැමිණීමෙන් පසුව ය.

සිද්ධාර්ථ කුමරු තරුණ වියේ දී සසරේ ඇති භයංකර බව අවබෝධ කරගෙන එදින උපන් පුතණුවන් පිළිබඳ හෝ නොසිතා අභිනිෂ්ක්‍රමණය කළේ උතුම් පරමාර්ථයක් ඇතිව ය. එසේ ම කෙලෙස් ධර්මයන් වර්ධනය වීමට හේතුවන ඇස, කන නාසය දිව ශරීරය ආදි පංච ඉන්ද්‍රියයන් පිනවීම සඳහා නිතර කටයුතු කරන පුද්ගලයාට ඇති වන්නේ මරණය හෝ ඊට ආසන්න උවදුරකට මුහුණ දීමට ය. ‘ඇස පිනවීමට ගිනි දැල්ල කරා යන පළගැටියා එයින් ම මරණයට පත්වේ. රසය සොයා යන මීමැස්සා ඇතුන්ගේ කන් තල මතට රිංගා එයින්ම මරණයට පත් වේ. අනෙකුත් ඉන්ද්‍රියයන් පිළිබඳව ද මෙසේම ය. ඒ අනුව පංචේන්ද්‍රින් තුළින් ලබන්නා වූ සියල්ල පිළිබඳ මෙනෙහි කළ යුත්තේ අස්සාද, ආදීනව හා නිස්සරණ වශයෙනි. අස්සාද යනු රස විඳීම හෙවත් යම්කිසි දෙයක ඇලීමයි. යම් වින්දනයක් ලැබූ විට පංචේන්ද්‍රියන් තුළින් නැවත නැවත එය දකින්නට, අසන්නට, රසවිඳීන්නට ආඝ්‍රාණය කරන්නට හෝ ස්පර්ශය ඇති කරගන්නට උත්සාහ වෙයි. එම තත්ත්වය තාවකාලික හෝ වෙනස්වන ස්වභාවය ඇතැයි සිතා දොම්නස් භාවය ඇති කරගෙන එහි ආදීනව දැකිය යුතු ය. කෙනෙක් පාපී වූ ක්‍රියාවක් කරන්නේ නම් එහි ආදීනව අනිවාර්යයෙන් ම දැකිය යුතු ය. එය ද සාමාන්‍ය මනසින් නොව උසස් වූ ප්‍රඥාවෙන් ම අවබෝධ කරගත යුතු වන්නේ ය. සාමාන්‍ය මනසින් ගත්විට එහි ඇලී ගැලී වාසය කිරීමට සිතන අවස්ථාව වැඩි ය. මෙසේ ආදීනව දැකීමෙන් පසු ඒවා අත්හැරීම නිස්සරණ වශයෙන් දක්වයි. ඒ තුළින් අප වින්දනය කරන්නා වූ දේ පිළිබඳව යථාවබෝධයක් ලබා ගත හැකි ය.

නිත්‍ය නොවන්නා වූ දෙයක් පිළිබඳ සිතමින් කල්පනා කරමින් ඒ කෙරෙහි ඇලී ගැලී සිටින පුද්ගලයා එය සැපයක් යැයි ගනිමින් දුකෙහි නිවාරණය පිණිස උත්සාහ නොගනියි. මෙය ම සංසාර ගමන දීර්ඝ වීමට හේතුවක් වෙයි. එබැවින් බුදුන් දෙසූ ධර්මය මනාව අවබෝධ කර ගැනීම පුද්ගලයා සතු වූවකි. බුදුරදුන් දෙසූ එම උතුම් දහම නිර්වේදය පිණිස (නිබ්බිදාය), නිවීම පිණිස (නිරෝධාය), සංසිඳීම පිණිස (උපසමාය), උසස් ඤාණය පිණිස (අභිඤ්ඤාය), සම්බෝධිය පිණිස (සම්බෝධාය), නිර්වාණය පිණිස (නිබ්බානාය) පවතී. නිවන අවබෝධ කරගත් තැනැත්තා රහතන් වහන්සේ ය. උන්වහන්සේ “සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තෝව චන්දිමා” යනුවෙන් දේශනා කර ඇති පරිදි “ඝන වළාකුලෙන් මිදී ලොව එළිය කරන හිරු මෙන් තේජමාන වන්නේ ය.” මෙම උතුම් පොහෝ දිනයේ දී සියලු කෙලෙස් ධර්මයන්ගෙන් විනිර්මුක්තව සසර ගමනින් මිඳීමට අවශ්‍ය චතුරාර්ය සත්‍යාබබෝධය පිණිස කටයුතු කිරීමට අප සියලු දෙනා අදිටන් කර ගනිමු.

ඔබ සැමට තෙරුවන් සරණයි