බෝසත් දරුවන්ට:
අසිරිමත් සම්බුදු තෙමඟුල
මහනුවර හන්තාන
සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ සුධම්ම හිමි
පින්වත් දරුවනි, සිංහල බෞද්ධ දරුවන් වන අපට නිවැරැදිම අවුරුද්ද උදාවී තිබෙන්නේ
වෙසක් පෝය දවසට යි. අවුරුදු මනින විවිධ කෝණයන් තිබෙනවා. චන්ද්‍රයා ගමන් කරන ආකාරය
අනුව මනින අවුරුදු ක්‍රමයට අප කියනවා චන්ද්‍ර මාස ක්‍රමය කියලා. සූර්යයා ගමන් කරන
ආකාරයට මනින අවුරුදු ක්‍රමයට කියනවා සූර්යය මාස ක්‍රමය කියලා. ඒ වගේ ම ඉංගී‍්‍රසි
ජාතිකයන් ජනවාරි, පෙබරවාරි වශයෙන් ක්‍රිස්තු වර්ෂ ක්‍රමයට මනිනවා. ඒත් දරුවනේ අපි
අවුරුද්ද මනින්නට ඕනෑ බුද්ධ වර්ෂ ක්‍රමයට යි. ඉතින් මේ අද දවස එළඹී තිබෙන්නේ 2562
වැනි බුද්ධ වර්ෂය යි. ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණය සිදු වී හරියටම අවුරුදු 2562 ක්.
බුද්ධාංකුරයන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ බොහොම කලාතුරකින්. දරුවන් දන්නවා ද?
මේ මහ පොළොව කම්පා වන අවස්ථා ගණනාවක් තිබෙනවා. ඒ තමයි බෝසතාණන් වහන්සේ නමක් දරුවෙක්
ලෙස මේ ලෝකයට පහළවන විට මේ මහ පොළොව කම්පා වෙනවා. ඊළඟට සම්මා සම්බුද්ධත්වයට පත්වන
විටත් මහ පොළොව කම්පා වෙනවා. ඊළඟට උන්වහන්සේ පළමුවැනි ධර්ම දේශනාව පවත්වන විටත් ,
ආයු සංස්කාරය අත්හරින විටත්, පරිනිර්වාණය සිදුවන විටත් මහ පොළොව කම්පා වෙනවා.
ඉතින් දරුවනේ, ලුම්බිණි සාල වනෝද්‍යානයට එදා හරිම ලස්සන දවසක් උදාවුණා. මේ ලොව
වාසනාවන්ත ම මවුපිය දෙපළ තමයි. සුද්ධෝදන මහ රජතුමා සහ මහාමායා දේවිය. මේ දෙදෙනාගේ
තිබුණු උතුම් ප්‍රතිපත්ති ගරුකබව, යහපත් හැසිරීම නිසා ම වාසනාවන්ත දරු උපතකට මුල
පිරුවා. දරුවෙක්, ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට මතක් වෙන්නේ තමන්ගේ ආදරණීය අම්මා.
ඉතින් මහාමායා දේවියට මතක් වුණෙත් ආදරණීය මෑණියන්ම යි. ‘මා ලැබෙන්නට ඉන්නා කාලෙ මගෙ
අම්මා මොන තරම් සතුටු වෙන්න ඇතිද? හරියට මම අද සතුටු වෙනවා වගේ’ මහාමායා දේවිය
සිතුවා. ඉතින් මහාමායා දේවිය තීරණය කළා තමන්ගේ මෑණියන් දකින්නට යන්න. ඒ යන අතරයි
ලුම්බිණි සාල වනෝද්‍යානය හමු වෙන්නේ. එදා ලුම්බිණි සල් උයනේ හැම ගහක ම මල් පිපිලා,
කොළ පාටට අලුත් කොළ හැදිලා. වතුර පිරුණු විල්වල මල් පිපිලා. මුළු පරිසරය ම අසිරිමත්
සිදුවීමකට සූදානම් වෙලාවගේ. පුදුම රමණීය බවක් තිබුණා. සිත්කළු බවක් තිබුණා. ඉතින්
දරුවනේ මහාමායා දේවිය මේ මනරම් උද්‍යානයේ, සල් උයනේ විවේක ගන්නට නතර වුණා. ඒ
අතරතුරයි බෝසත් උපත සිදුවුණේ.
මේ අසිරිමත් සිදුවීම සිදු වූ මොහොතේ කතා කරන්නට බැරි අයට කතා කරන්නට පුළුවන් වුණා.
දෙනෙත් නො පෙනෙන අයගේ දෙනෙත් පෙනෙන්නට වුණා. කන් ඇසෙන්නේ නැති සත්ත්වයන්ගේ කන්
ඇසෙන්නට වුණා. ගෙඩි නො සෑදෙන ගස්වල ගෙඩි හැදුණා. ඒ මොහොතේ මෙවැනි අසිරිමත් සිදුවීම්
රැසක් සිදු වූ බව දරුවො අසා තිබෙනවා නේද? බෝසත් උපතක අසිරිමත්ක ම මොනතරම් ද?
දෙවියන්, බඹුන්, මිනිසුන් හැම දෙනා ම මේ පුංචි කුමාරයා පිළිගත්තා. ලෝකයට අර්ථයක්
සිදු කරන නිසා, ලෝකයට වටිනාකමක් දෙන නිසා සිද්ධාර්ථ කියන නම තැබුවා. බෝසතාණන්
වහන්සේ මේ ස්වභාව, ධර්මය ගැන, ලෝකය ගැන දීර්ඝ කාලයක් තිස්සේ දැන සිටියා. ඒ නිසා
මහලු කෙනෙක් දකින විට මමත් මහලු වෙනවා කියා දැන ගත්තා. ලෙඩෙක් දකින විට මමත් ලෙඩ
වෙනවා කියා දැන ගත්තා. මියගිය කෙනෙක් ගෙන යනවා දුටු විට මමත් කවදා හෝ මිය යනවා යි
දැන ගත්තා.
පැවිදි රුවක් දුටු විටදීයි සිතට සැනසීමක් ලැබුණේ. මමත් මේ මාර්ගයේ යනවා කියලා
අදිටන් කර ගත්තා. සතර පෙර නිමිති දුටු බෝසතාණන් වහන්සේ තීරණය කළා මේ සසර හරිම භයානක
බව. ලෙඩ වෙනවා නම්, වයසට යනවා නම්, මිය යනවා නම් බේරෙන්න ක්‍රමයක් තිබෙන්න ඕනෑ.
උන්වහන්සේ ඒ මාර්ගය සොයන්නට පටන් ගත්තා. එයට කියන්නේ දුකින් මිදෙන මාර්ගය කියලයි.
දරුවනේ සිදුහත් කුමරු සියලු සැප අතහැර යන්න තීරණය කළා. ‘අම්මා තාත්තගේ , යශෝදරාවගේ,
රාහුල පුංචි පුතාගේ බලාපොරොත්තුවත් මම තමයි. මම නැති දාට ඒ අය හඬයි. වැළපෙයි. දුක්
වේදනා විඳියි. ඒත් ඒ ටික කාලයකට යි. මම ඒ අයට සදාකාලික සැනසීමක් ලබා දෙනවා. ඒ නිසා
ගිහිගෙය අතහැර යනවා’යි සිතා සියලු සැප අත් හැර සත්‍ය සොයාගෙන ගියා.
රජ සැපත හැර ගියේ සියලු දුක් නසන්නයි
රජ බිසව හැර ගියේ සියලු දුක් නසන්නයි
බිළිඳු පුතු හැර ගියේ සියලු දුක් නසන්නයි
එදා සිට වෙහෙසුණේ සැමගේ දුක් නසන්නයි
සත්‍ය සොයා ගිය බෝසතාණන් වහන්සේ විවිධ ගුරුවරු මුණ ගැසුණා. බොහෝ දේ ඉගෙන ගත්තා. සය
අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. ශරීරයට අධික දුක් දී හෝ අධික සැප ලබා දීමෙන් නිවන්
මඟ අවබෝධ කර ගන්නට නො හැකි බව තේරුම් ගත්තා. ඉතින් දුවේ, පුතේ ඉන්පසු සිදුවුණේ
ලෝකයේ විශිෂ්ටත ම සොයා ගැනීම. එනම් දුකින් මිදෙන මඟ සොයා ගැනීම යි. ආර්ය අෂ්ටාංගික
මාර්ගය යි. මැඳුම් පිළිවෙත, මධ්‍යම ප්‍රතිපදාව මේ හැම විදියකින් ම හඳුන්වන්නේ නිවන්
මඟ යි. ඒ නිවන් මඟ සොයාගත් දවස හරිම ලස්සන දවසක්.
ඇසතු බෝ රුක මුලට වැඩිය බෝසතාණන් වහන්සේ දස බිම්බරක් මාර සෙනඟ පරදවා, කෙලෙසුන් නසා
, සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ අද වගේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනක යි. ඉතින්
දරුවනේ, සම්මා සම්බෝධියට පත් වූ දවසේ සිට ම බුදුරජාණන් වහන්සේ සමඟ අමනාප පුද්ගලයෙක්
සිටියා. ඒ මාරයා. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මාරයා උන්වහන්සේට පරිනිර්වාණය කරන්න
ආරාධනා කළා. ඒ ඇයි දන්නවාද? මාරයා පැවසුවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නාතුරු
උන්වහන්සේගේ පිරිස වැඩිවෙන බවත්, තමන්ගේ පිරිස අඩුවෙන බවත් ය. දේවදත්ත ගල් පෙරළු ද
අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල තුවාල වුණා. ඒ වෙලාවෙත් මාරයා ආවා ‘දැන්
ඉතින් තුවාලයකුත් සිදුවෙලානේ. දැන් පරිනිර්වාණය කරන්න’ කියලා මාරයා කීවා. ඒ වෙලාවේ
බුදු හාමුදරුවෝ වදාළේ.
ව්‍යක්ත, විශාරද, ධර්මධර බහුශ්‍රැත භික්ෂු පිරිසක් බිහිවෙනතුරු තමන් වහන්සේ
පරිනිර්වාණ නො කරන බවයි.
ඉතින් දුවේ, පුතේ උන්වහන්සේ ගම් නියම් ගම් පාසා පයින් වැඩම කර බොහෝ දෙනාගේ හිත සුව
පිණිස ධර්ම මාර්ගය කියා දුන්නා. උන්වහන්සේ සැතපුණේ දිනකට පැය දෙකයි. අනෙක් හැම
වෙලාවක ම පොදු ජනතාවගේ හිත සුව පිණිස කටයුතු කළා.
දැන් බුදුහාමුදුරුවන්ට වයස අවුරුදු අසූවයි. බේළුව ගමට වැඩම කළ උන්වහන්සේ, වෙහෙස
නිසා ම වෘක්ෂ මූලයක් යට දෙපට සිවුර අතුරන ලෙස ආනන්ද හාමුදුරුවන්ට පැවසුවා. එහි ටික
වේලාවක් විවේක ගත්තා. ඉන්පසු ආනන්ද හාමුදුරුවන් අමතා ‘ආනන්ද දැන් මම දිරා ගිය බර
කරත්තයක් වගේ වයෝවෘද්ධයි’ යැයි වදාළා . ඒ වෙලාවේත් මාරයා පැමිණියා. ‘දැන් ඉතින් ඔබ
වහන්සේ දිරාගිය බර කරත්තයක් වගේනේ.” ඒ නිසා පරිනිර්වාණය කරන සේක්වා’යි ඉල්ලා
සිටියා.
ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් අමතා ‘සතර සෘද්ධි පාදයන් වර්ධනය කර
තිබෙන බුදු කෙනෙකුට කල්පයක් ආයුෂ අරගෙන වැඩ ඉන්නට පුළුවන්” බව පැවසුවා. ඒත් ආනන්ද
හාමුදුරුවන්ට එය ඇසුණේ නෑ. මාරයා ආනන්ද හාමුදුරුවන්ට එය අහන්නට දුන්නේ නෑ. දෙවැනි,
තුන්වැනි වතාවේත් එය ශ්‍රවණය වුණේ නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ මාරයාගේ ආරාධනාව
පිළිගත්තා. තව තුන් මාසයක් ඇතුළත තමන් වහන්සේ පරිනිර්වාණය කරන බව මාරයාට පැවසුවා. ඒ
අනුව මල්ලව රජදරුවන් සාල වනෝද්‍යානයේ දී බුද්ධ කෘත්‍ය අවසන් කළ අපේ බුදුහාමුදුරුවෝ
පරිනිර්වාණය කළා. ඒ අසිරිමත් සිදුවීම සිදුවුණේත් අද වගේ වෙසක් පුර පසළොස්වක පොහෝ
දිනක යි. මේ ලෙස එකම දවසක උපත ලැබූ, සම්බුදු පදවිය ලැබූ, පරිනිර්වාණය කළ එකම
ශාස්තෘන් වහන්සේ නමක් පමණයි මේ ලොව ඉන්නේ. ඒ අපේ බුදුහාමුදුරුවෝ.
ඉතින් දරුවනේ තෙමඟුල සමරනවා කියන්නේ මේ කියන කරුණු තුනටයි. ලබන 08 දා වෙසක් අව අටවක
පෝදා පුවත්පතින් මේ දරුවන්ට කියා දෙන්නේ බුදුරජාණන් වහන්සේ අපට කියාදුන් අධ්‍යාපන
ක්‍රමය පිළිබඳවයි.
- රමණී සුබසිංහ
|