Print this Article


සාමකාමී සමාජයක් සඳහා ...

සාමකාමී සමාජයක් සඳහා ...

සමස්ත මනුෂ්‍ය වර්ගයා අතර සාමකාමී සහජීවනයක් ගොඩනගා ඒ තුළින් ලෞකික හා ලෝකෝත්තර සම්පත් උදාකර දීම සඳහා සම්බුදු රදුන් ගත් පියවර රාශියක් පිළිබඳව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. අවිආයුධ අමෝරා ගෙන දරුණු ලෙස සටන් වැදීමට සූදානම් වූ පිරිස් හමුවට උන්වහන්සේ වැඩම වීමෙන් වෙන්නට තිබූ දරුණු හිංසා හා මනුෂ්‍ය ඝාතන නතර කළ අවස්ථා ඇත්තේ එකක් දෙකක් පමණක් නොවේ.

බුද්ධත්වයෙන් පස්වන වසරේ දී ලංකාවේ නාගදීපයට බුදුරදුන් වැඩම වන අවස්ථාව වන විට චූලෝදර හා මහෝදර යන නාග ගෝත්‍රික නායකයෝ දහස් ගණන් ජනයා එකතුකොට ගෙන සටනකට සූදානම්ව සිටියහ. මැණික් පුටුවක් අරබයා මේ සටන සිදු කරන්නට හේතු වූ බව ඓතිහාසික ග්‍රන්ථ සඳහන් කරයි. රාජ්‍යත්වය උදෙසා තිබූ වටිනා පුටුවක් මුල්කොට මෙම සටන හටගන්නට හේතු වූ බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. එහිදී වට්ටක ජාතකය, කාකෝලූක ජාතකය, ලටුකික ජාතකය ආදී කතාවස්තු ඇතුළත් ධර්මය දේශනා කිරීම තුළින් සෑම දෙනාම සමගි සම්පන්න භාවයට පත්ව තෙරුවන් සරණ ගියහ. අරගලයට හේතු වූ මැණික් පුටුව බුදුරදුන්ට පූජා කළ අතර එය නිදන් කොට පසුව නාගදීප චෛත්‍යය ඉදිකර වූහ.

ජලය පිළිබඳ ප්‍රශ්නයක් මුල්කොට අවි අමෝරාගෙන රෝහිණි නදිය වෙත රැස් වූ ශාක්‍ය හා කෝලිය දෙපිරිස අතරට වැඩම වූ බුදුරදුන් ඔවුන් වෙත දහම් දෙසීමෙන් සාමකාමී තත්ත්වයක් ගොඩනැගුණ බව ප්‍රසිද්ධ කරුණකි. එහිදී ප්‍රසාදයට පත් පන්සියයක් පමණ කුමාරවරු පැවිදි බිමට පත්වූහ. තවත් අවස්ථාවක ලිච්ඡවීන් සමූල ඝාතනය කිරීම උදෙසා යුද වැදීමට සැරසුන අජාසත් රජතුමාට සප්ත අපරිහානිය ධර්ම ඇතුළත් ධර්මය දේශනා කිරීම නිසා වෙන්නට තිබූ බිහිසුණු ලේ වැගිරීම් නතර කිරීමට බුදුරදුන්ට හැකි විය. එපමණක් නොව ශාක්‍යයන්ට විරුද්ධව යුද වැදීමට සූදානම් වූ විඪූඩභ වාර කිහිපයක දී ම වළකාලීමට උන්වහන්සේ සමත් වූහ.

සිය ගණන් ජනතවට පමණක් නොව සාමාන්‍ය අරගල, මතභේද හා හිංසාවන්හි යෙදීමට සූදානම් වූ සුඵ පිරිස් අතරට පවා වැඩම කළ බුදුහු ශ්‍රේෂ්ඨ අන්දමින් ඒ සියල්ල සමනය කිරීමට කටයුතු කළහ. කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි භික්ෂූන් දෙකොටසක් අතර මුල දී විනය ප්‍රශ්නයක් මුල්කොට හටගත් මත ගැටුම බලවත් කෝලාහලයක් දක්වා වැඩිදියුණු වීමට පටන් ගැනීමත් සමග බුදුහු සැමදෙන සුවපත් කිරීම සඳහා ඉදිරිපත්ව අනුශාසනා කළහ. අංගුලිමාල වැනි මිනීමරු මනුෂ්‍යයන් අතරත්, ආලවක වැනි දරුණු යක්ෂයන් අතරත් තිබූ දරුණු තත්ත්වයන් පහකොට ශාන්ත දාන්ත අය බවට පත්කළහ. ශාස්තෘන් වහන්සේ නමක් වශයෙන් සාමකාමී සමාජයක් ගොඩනැගීම සඳහා ඉහත දැක් වූ අන්දමට ගන්නා ලද පියවර ලාංකික අපට පමණක් නොව ලෝකවාසී සියලු සටන්කාමීන්ටම කදිම පාඩමක් කියා දෙයි.

මිනිසුන් අතර ජාති, ආගම් හා කුල භේදයන් ඇති බවට කිසිම සලකුණක් නැත. කවරෙකුගේ හෝ හිසක් හෝ වෙනත් අවයවයක් පෙන්වා ඔහුගේ ජාතිය හෝ කුලය කවරේදැයි පෙන්වා දීමට කිසිවෙකුට හැකියාවක් නැත. සියලු දෙනාම දකින්නේ එකම මනුෂ්‍ය වර්ගයට අයත් අය වශයෙනි. මෙසේ තිබිය දී ජාති, ආගම් මුල්කොට අරගල ඇතිකර ගැනීම ප්‍රඥා ගෝචර නොවේ. තම ආගම ශ්‍රේෂ්ඨය යි සලකන සෑම දෙනාම අන් ආගමිකයන් පෙළා තලා ඔවුන්ට විරුද්ධව ක්‍රියා කිරීම නොව තම ආගමේ උසස් ඉගැන්වීම් ක්‍රම අනුව තමන්ගේ ජීවන පැවැත්ම වඩාත් උසස් ආකාරයෙන් පවත්වාගෙන යාම වැදගත් වෙයි. එසේ නැතිව අන් ජාතික හා අගමික අයට හිංසා පීඩා කිරීම එක් අතකින් තම ආගමටත්, ශාස්තෘවරයාටත් නිගා කරණ කරුණක් බව සැලකිය යුතු ය.

මුලු මහත් ගිහි සමාජය ඉතා උසස් තත්ත්වයට පත් කිරීම සඳහා බුදුරදුන් පෙන්වා දී ඇති පඤ්ච සීල ප්‍රතිපත්තිය මැනවින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් ය. එම කරුණු අනුගමනය කිරීම තුළින් මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම්, සොරකම් කිරීම් ආදී සියලු අපරාධයන් තුරන් වනු ඇත. දූෂණයන්ගෙන් සහ මතින් තොර යහපත් සමාජයක් බිහි වීමට එකී ප්‍රතිපත්ති හේතු වේ. එසේම බුදුරදුන් පෙන්වා දුන් දානය, ප්‍රියවචනය, අර්ථචරියාව හා සමානාත්මතාව යන උතුම් ගුණ ධර්ම හතර යම් කෙනෙක් පිළිපදිත් ද ඔහු මුලු මහත් සමාජයට මහත් සේ සංග්‍රහ කරන කෙනෙක් බවට පත්වන්නේ යැ යි බුද්ධ දේශනාව පෙන්වා දෙයි. මේ උතුම් ගුණ ධර්ම ධර්මද්වීපය යැයි විරුදාවලිය ලත් අප රටෙහි කී දෙනෙකුන් විසින් ක්‍රියාත්මක කරණු ලබන්නේ ද යි සිතා බලන්න.

ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවක ම පරිත්‍යාගයට මුල්තැන දී ක්‍රියාකළ පැරණි සමාජය වෙනුවට අද අන් සන්තක දේ කවර ක්‍රමයකින් හෝ අයත් කර ගැනීමට බොහෝ අය මාන බලන තත්ත්වයක් උදා වී ඇත. අනුන්ට පිහිට වීමට පුරුදුව සිටි ලාංකික සමාජය මේ වන විට අන් අය නැති කොට හෝ තමා යස ඉසුරෙන් උසස් තත්ත්වයට පත් වීම සඳහා දිවා රෑ වෙහෙස වෙමින් ක්‍රියා කරන බවක් පෙනේ. සමානාත්මතා ධර්මයට සම්පූර්ණයෙන් පටහැනිව උස් මිටි භේද ඇති කොට ගෙන මහත් සැනසීමක් ලබා ගැනීමට සමහරුන් යත්න දරමින් පසුවන බවක් පෙනේ. බුදු රදුන් දක්වා වදාළ සතර සංග්‍රහ වස්තු වලට පටහැනි වූ එවැනි ක්‍රියා මේ වන විට වර්ධනය වෙමින් පැවතීම පරිහානිය ළඟා කරන කරුණකි. සැම විටම මගේ යැ යි සලකා අනිසි අන්දමට ක්‍රියා කිරීම ඡන්දයෙන් අගතියට යාමක් සේ බුදුහු පෙන්වා දුන්හ. එසේම තමාගේ විරුද්ධ කරුවන්ය යි ද්වේෂයෙන් ක්‍රියා කිරීමත්, යම් අයෙකුගෙන් විපතක් වේය යි බිය නිසාත්, වැරදි නිගමනයන්ට එළඹ මෝහයෙන් ක්‍රියා කිරීමත් යන මේ කරුණු සතර අගතියට පත්වීමක් කොට ධර්මය මගින් පෙන්වා දී ඇත. ජීවත්වන සෑම කෙනෙකු තුළ ඇති ප්‍රධාන ලක්ෂණ දෙකක් පිළිබඳව ධර්මයේ දැක්වේ. එයින් එකක් නම් සෑම දෙනාම හිංසා හා දඬුවම් ලැබීමට බිය වීමයි. දෙවැන්න සැම දෙන තම ජීවිතය රැක ගැනීමට දැඩි ආශාවක් දැක්වීමයි. එසේනම් සෑම දෙනාම බලාපොරොත්තු වන ඒ ජීවිත ආරක්ෂාවට පටහැනිව අනුන්ට වද හිංසා පැමිණවීම හෝ දිවි තුරන් කිරීම හෝ නොකළ යුතු බව වටහා ගත යුතු වෙයි.