ලෝකයට නිවැරැදි ඇසක් පහළ වූ වගයි
වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන්
රාජමහා විහාරාධිපති
තුඹුල්ලේ
සීලක්ඛන්ධ නා හිමි
බුදුරජාණන් වහන්සේ බෞද්ධයන් වශයෙන් අපේ අසහාය නායකයාණන් වහන්සේ යි. උන්වහන්සේ
හැඳීන්වීමට අපේ බෞද්ධ සාහිත්‍යයේ විවිධ සමාන නාම හෙවත් පර්යාය නාම යොදා තිබෙනවා.
බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පැහැදිලි කරමින් අපේ සාහිත්‍යයට විවිධ තේමා යටතේ මහා
ධර්ම ග්‍රන්ථ එකතු කිරීමට අපේ පැරැණි හෙළ ගත්කතුවරු පෙරමුණ ගත්තා. ඒ අනුව
බුදුරජාණන් වහන්සේගේ “පුරිසදම්ම සාරථි” ගුණය විස්තර කිරීමට පමණක් ම පොළොන්නරු
රාජධානි සමයෙහි “අමාවතුර” නම් ග්‍රන්ථය එවක විසූ ගුරුළුගෝමි නම් පඬිවරයා විසින්
රචනා කළා.
දඹදෙණි රාජ්‍ය සමය වනවිට එකල වැඩ විසූ මයුරපාද පරිවෙණාධිපති බුද්ධපුත්‍ර
හාමුදුරුවන් වහන්සේ “පූජාවලිය” නම් මහා බණ පොතක් ලියා ඉදිරිපත් කළා. ඔය ආකාරයට
පමණක් නොවේ. අපේ බුදුහාමුදුරුවෝ කවුරුද කියා අපට පෙන්වා දෙන්නට අපේ විවිධ පැරැණි
දැන උගත් හාමුදුරුවරු ගිහි උතුමන් නොයෙක් ආකාරයෙන් මහා බණ පොත් ලියා අප අතර දැනුත්
පවතිනවා. මේවායෙහි විවිධ අර්ථ දක්වමින් බුදුරජාණන් වහන්සේ ගැන හඳුන්වා දෙන්ට ඒ
ගිහිපැවිදි උතුමන් ක්‍රියා කරලා තිබෙන ආකාරය දිහා අපි මොහොතක් කල්පනා කරලා බලමු.
බුත්සරණ
දැන් අපි “බුත්සරණ” නම් වූ මේ මහා බණ පොත ගත්තොත් එය ලියා තිබෙන්නෙත් අපේ ලංකාවේ
විසූ “විද්‍යාචක්‍රවර්ති” නම් පඬිවරයෙක් පොළොන්නරු රාජ්‍ය සමයෙහි දි යි. මෙම මහා බණ
පොතේ විස්තර කරලා තිබෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නව ය යි. ඒ විදිහට
විස්තර කරලා බුදුන් සරණ යාමේ වටිනාකම යි පහදා දෙන්නේ. ඉතින් බුත්සරණ බණපොත පටන්
ගන්නා කොට ම බුදුරජාණන් වහන්සේ කවුරුදැ යි කීමට විවිධ තේමාවන් ඉදිරිපත් කරනවා.
“සුවයෙහි මිහිර දන්නා, දුක්හි දැඩිකම් දන්නා, සදෙව් ලොව්හි අයත්නයෙන් විදුනා කැමති,
බුදු පසේබුදු මහරහතුන් විඳී නිවන්පුර වැද සැනහෙනු කැමති, නිරැහි නම් නොසනු කැමති,
තිරිසන් යෝනියෙහි හකුල් හෙළනු කැමති, ප්‍රේතව වින්දැ යුතු වසන් පිටු දක්නා කැමති,
අසුර කායයෙහි මහවියවුල් මුල් සිඳුනා කැමති, තමහට සෙනෙහැති, අබුද්ධෝත්පාදයෙහි නො ලබන
අමා රසයකින් ළය සනහනු කැමති, මිනිස් වැ සිටැ දෙව් බඹුන් නො ලබන සිත් සැනසුම් රස
විඳුනා කැමති, රාජභය චොරභය ආදි භයෙන් රෝමකූපමාත්‍රයකට දු උපද්‍රව නො වැද්ද දෙනු
කැමති..........” ආදි විදිහට බුදුරජාණන් වහන්සේ හඳුනා දීමට උත්සාහ දරා තිබෙනවා.
සද්ධර්මරත්නාවලිය
දඹදෙණි කාලයෙ ලියවුණු ඉතා ප්‍රසිද්ධ බණපොත තම යි “සද්ධර්මරත්නාවලිය”. නුවණ යම්
පමණකට අඩු වුණත් කුසල් කිරීමේ අරමුණ තදින් බලපවත්වනා නම්, එවැනි පිරිස්වලට අපේ බුදු
හාමුදුරුවන්ගේ බණ දැන ගන්නට යම් ආකාරයකින් උපදෙස් ලැබෙනවා නම්, ඒ අය ඒ බණ දැනගෙන
නිවන් මග හදා ගන්නවා නම්, ඒ අරමුණ ඇති ව මේ මහා බණ පොත ලියන බව ඒ බණ පොත ලියූ
ධර්මසේන නම් මා හිමියන් වහන්සේ මුලදී ම ප්‍රකාශ කර තිබෙනවා. එතන දී උන්වහන්සේ ත්
බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුන්වා දෙන්නට උපමා රූපක මාර්ගයෙන් විස්තර දීර්ඝ
වශයෙන් මහත් භක්තියෙන් ඉදිරිපත් කර තිබෙනවා. “මහ පොළොව සේ තුන් ලොවට පිහිට ගුණ ඇති,
මහමුහුද සේ ගැඹුරු ගුණ ඇති, ආකාශය සේ අනන්ත ගුණ ඇති, සඳමඩල සේ සෞම්‍ය ගුණ ඇති,
මහමෙර සේ සාර ගුණ ඇති, ඉරු මඩල සේ තේජස් ගුණ ඇති, සඳ’ මඩල සේ සෞම්‍ය ගුණ ඇති,
කරුණාවෙන් සිහිල් වූ සිත් ඇති, අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ” යන මේ ආකාරයෙන්
බුදුරජාණන් වහන්සේගේ එක් එක් ගුණ ඔස්සේ උන්වහන්සේ කවුරු වාගේ කෙනෙක් දැයි විස්තර කර
දෙන්නට උත්සාහයක් ගෙන තිබෙනවා.
මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ එක් එක් ගුණයක් හෝ උන්වහන්සේ ගැන හෝ විස්තර වශයෙන්
හඳුන්වා දීමට අපේ පැරණි බණපොත් ලියූ හාමුදුරුවරු වගේ ම ගිහි උදවිය විවිධ අර්ථ ගෙන
දෙන වාක්‍ය යොදා විස්තර කර තිබෙන ආකාරය අපේ පැරැණි පොතපත කියවන විට ඕනෑතරම් සොයා
ගන්නට පුළුවන් කම තිබෙනවා. ඇයි එහෙම නම් බුදුරජාණන් වහන්සේ කෙබඳු පුද්ගලයෙක් ද
කියලා එක ම වචන සමූහයකින් විස්තර කරන්නට බැරිව තිබෙන්නේ ? එයට දෙන්නට පුළුවන්
පැහැදිලි ම පිළිතුර ම තමා බුදුගුණ කාටවත් කියලා ලියලා බුදුහාමුදුරුවෝ කවුද? කියලා
පෙන්වා දෙන්නට පුහුදුන් ජීවිත ලත් අපට නො හැකි බව. උන්වහන්සේ ඒ තරම් ශ්‍රේෂ්ඨත්වයට
පත් වූ උතුමෙක්.
පූජාවලිය
උන්වහන්සේ ගැන ගුණ කියා වන්දනා කරන අපි බුදුගුණ නවයක් ප්‍රකාශ කරලා වන්දනා කරනවා.
ඉතින් මේ නවයට අයත් වන “අරහං” යන පළමු වැනි ගුණය ගැන පැහැදිලි කරන්නට තමා
“පූජාවලිය” කියන මහා බණ පොත ලීවේ. ඉතින් එහෙම නම් අනිකුත් බුදුගුණ ගැන කියලා
බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන්නට යාම මොන තරම් දුෂ්කර කාරණාවක් වෙනවා ද කියන එක
අපට පහසුවෙන් ම තේරුම් ගන්නට පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි,
මේ ලෝකයෙහි කොච්චරවත් මිනිස්සු උපදිනවා. ඒ උපදින දෙවි මිනිසුන් අතර එක ම එක
පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා ලෝකයේ ජීවත්වන අනෙකුත් බොහෝ දෙවිවරුන්ට, මිනිසුන්ට
ඔවුන්ගේ දියුණුව හිත පිණිස, සැපයට හේතුවන ආකාරයෙන් ක්‍රියා කරනවා. කවුද? ඒ එකම එක
පුද්ගලයා කියනවා නම් ඒ උත්තමයාට කියනවා තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ
කියලා. එයින්ම කියවෙනවා උන්වහන්සේ තමන් වහන්සේ විසින් ම අවබෝධ කර ගත් සම්බෝධිය ඇති
බව, සියලු කෙලෙසුන් නසා රහත් බවට පැමිණි බව.
ඒ උතුම් පුද්ගලයාගේ ඉපදීම දුර්ලභ බව දෙවැනි කරුණ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා
දෙනවා. ඒ ඉපදීම දුර්ලභ වන්නා සේ ම උන්වහන්සේ අසිරිමත් වූ පුද්ගලයකු බවත් බුදුරජාණන්
වහන්සේ තෙවැනි කාරණය විදියට පෙන්වා දෙනවා. ඒවගේ ම තමා මේ අනුත්තර වූ බුදුරජාණන්
වහන්සේගේ කාල ක්‍රියාව හෙවත් පරිනිර්වාණය දෙවි මිනිසුන් හැම දෙනෙකුට ම මහත්ම වූ
අලාභයක්, තැවීමක් පිණිස ම හේතු වෙනවා.
එක් සක්විති රජකෙනෙකුගේ අභාවය බලපැවැත් වෙන්නේ එක සක්වලක් සඳහා පමණයි. එහෙම නොවේ
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය අනන්ත අප්‍රමාණ මේ දසසහ ශ්‍රී ලෝක ධාතුව ඉක්මවා
කම්පාවට පත්කරන, අලාභයට තැවීමට හේතුවක් වෙනවා. ඒ හතර වැනි කරුණ යි. පස්වැනි කාරණය
ලෙස සම්මා සම්බුදුරජාණන් වහන්සේ කවුරුද කියා පැහැදිලි කරන කරුණ වන්නේ මේ කියන
උත්තමයාට සමාන කරන්නට කිසිම සත්ත්වයෙක් මේ ලෝක ධාතුවෙහි ඇත්තේ ම නැහැ. ඒ නිසා ම
උන්වහන්සේ අද්විතීය වෙනවා. උන්වහන්සේ මයි සියලු ම සත්ව ප්‍රජාව අතර පළමු වැන්නා.
අසහාය වන්නා. ඒ නිසා අප්‍රතිසම වෙනවා. අප්‍රතිභාග වෙනවා. අප්‍රතිපුද්ගල වෙනවා. දෙපා
ඇති සියලු සත්ත්වයන්ට සැනසීම පිණිස ම උපදිනවා.
මේ පස්වැනි ව උන්වහන්සේ සම්මා සම්බුදුජාණන් වහන්සේ පිළිබඳ ව පෙන්වා දුන් අනන්‍ය
ලක්ෂණය යි. ඉන් පසු උන්වහන්සේ තවදුරටත් පෙන්වා දෙනවා මේ එක ම එක බුදුරජාණන්
වහන්සේගේ පහළවීම මුළු ලෝකයට ම ඇසක් පහළ වුණා වගෙයි කියලා. මොක ද? එතෙක් ලෝකයේ ජිවත්
වූ මිනිසුන් මේ ලෝකය නිවැරදිව දැක තිබුණේ නැහැ.
ඔවුන් අන්ධකාරයේ අතපත ගාමින් ඉඳල යි ඇත්තේ. ලෝකයේ ඇත්ත ඇති විදියට දකින්ට නමි ඒ
ඇත්ත බුදුවරයෙක් විසින් ම ලෝකයට කියා පෙන්වා දිය යුතු වෙනවා. ඒ දක්වා ලෝකය
අන්ධකාරයෙන් වැහිලයි තිබුණේ. ඒවගේ ම ප්‍රඥාවේ ආලෝකය හැම තැන ම පැතිරෙනවා. ජනතාව
මෝහාන්ධකාරයෙන් වැහිලයි හිටියේ. ඒ අඳුර දුරු කරලීමට ප්‍රඥා ලෝකය ලෝකයේ විහිදුවා
ලූයේ බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙනු යි. ඒ බුදුරජාණන් වහන්සේගේ පහළවීම නිසා
උන්වහන්සේ දැකීමෙන් පමණක් ම උත්තරීතර දර්ශන සම්පත්තිය බුද්ධකාය තුළින් ඕනෑම
සත්වයෙකුට ලැබෙනවා.
ආර්ය ධනය
නාලාගිරි වැනි බිහිසුණු කෝපාවිෂ්ට ඇත්රජු දමනය වූයේ ඒ උතුම් දර්ශනය නිසා ඒ වගේ ම
බුදුබණ අසා සිත් පහන් කරගෙන කොපමණ ජනතාවක් සසර කතරින් එතෙර වුණා ද? ඒ ශ්‍රවණ
සම්පත්තිය මේ මිහිපිට තවත් කෙනෙකුට නැති ශ්‍රවණ සම්පත්තියක් බවයි බුදුරජාණන් වහන්සේ
පෙන්වා දී තිබෙන්නේ. ඒ වගේ ම දහමට පෙළඹුණු ජනතාව ශ්‍රද්ධා, සීල, හිරි, ඔත්තප්ප,
ශ්‍රැත, චාග යන සප්තවිධ ආර්ය ධනයට උරුම කීමට ශක්තිය ඇති කර ගන්නවා. ඒ ධන හතෙන් යම්
අයෙක් ශක්තිමත් වෙනවා නම් ඒ පුද්ගලයා ආර්ය මාර්ගයට වැටුණු උත්තමයෙක් බවට පත්වෙනවා.
එමෙන් ම බුදුවරයන්ගේ පහළවීමෙන් පමණක් අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන ත්‍රිවිධ
ශික්ෂාවන්හි පිහිටීමේ ලාභය උදා කරගන්නවා. ඒ බුදුවරයෙකුගේ පහළවීම නිසාම යි. ඒවගේ ම
බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා උන්වහන්සේට ඇප උපස්ථාන කිරීමේ පරම භාග්‍යය ද
ලැබෙනවා. අදත් අපි මේ පාරිචරියාව හෙවත් බුදුරදුන්නට ඇප උපස්ථාන කිරීමේ භාග්‍යය
ලැබෙනවා කියන හැඟීමෙන් මහත් ශ්‍රද්ධාවෙන් දළදා වහන්සේට කොපමණ නම් ඇප උපස්ථාන කිරීමේ
උනන්දුවකින් ක්‍රියා කරනවාද කියලා සිතා බැලිම වැදගත් වෙනවා. එදා ඒ බුදුරජාණන්
වහන්සේ පිරිනිවන් පාලා අද වෙනකොට අවුරුදු 2562 ක් ගෙවිලත් බුදුගුණ මෙනෙහෙි කරමින්
අපේ සිත් සතන්හි තැන්පත් බවක්, ඒකාග්‍රතාවක්, නිවිමක්, සැනසිමක් ඇති කරගන්නවා ද
කියලා සිතා බැලීමෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳ අනුස්සතානුත්තරිය තුළින් ලබන
ආනිසංසය ලබා ගැනීමට අදත් අප සමත් වෙනවා.
එවගේ ම රූපාදි අටළොස් ධාතූන්ගේ ස්වභාවය අවබෝධ කර ගත හැකි වන්නේ එකම එක බුදුවරයෙකුගේ
පහළ වීම නිසා බවත් බුදුරජාණන් වහන්සේ මෙහි දී පෙන්වා දෙනවා. ඒ වගේ ම අවසාන වශයෙන්
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ එක ම බුදුරජාණන් වහන්සේගේ පහළවීම නිසා තමා
සෝවාන් ඵල, සකෘදාගාමි ඵල, අනාගාමි ඵල, හා අර්හත් ඵල සාක්ෂාත් වන බවට මේ ආකාරයෙන්
බුදුරජාණන් වහන්සේ විසින් ම උන්වහන්සේ කෙබඳු ආකාර ඇති උත්තමයෙක් ද යන්න පැහැදිලිව
දක්වා තිබෙනවා.
උන්වහන්සේ පහළ වූ අවස්ථාවේ තම යි ලෝකයේ “විද්‍යාව” පහළ වුණේ. එය කවරදාකවත් වෙනස්
නොවන සනාථනික විද්‍යාවක්. ඒ නිසා ඒ විද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍යාවබෝධය සිදු වූ
වෙසක් පුර පසළොස්වක් දා හිමිදිරි පාන්දර උන්වහන්සේ ප්‍රකාශ කළා “විජ්ජා උදපාදි” යන
මේ සුපරිසුද්ධ වාක්‍යය.
|