බුද්ධාගම හා සමාජ සේවය
මහාචාර්ය
වල්පොල රාහුල හිමි
බුද්ධාගමේ අත්තිවාරම පරාර්ථ සේවය යි. දීපංකර පාද මූලයේ දී සුමේධ තාපසයෝ තමන් “අතට
පත් නිවන් සසර සේ පියා සතුන් සඳහා විඳුනා සසර දුක් නිවන් සේ ගෙන” ලෝකයට සේවය කරන්නට
අධිෂ්ඨාන කරගත්හ. සැබෑ බෞද්ධයකුට තමාගේ නිවන් සැපය පවා අනුන් සඳහා අත්හැරීමට ශක්තිය
තිබිය යුතු ය.
බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වූ භික්ෂූන්ට එක තැනක පදිංචිව නො සිට ගමින් ගමට
ගොස් ලෝකයාගේ යහපත පිණිස අනුශාසනා කරමින් චාරිකාවේ හැසිරෙන්නට අවවාද කළ සේක. ඒ අනුව
බුදුන් වහන්සේත් භික්ෂු සංඝයාත් වර්ෂාව නිසා ගමනට බාධා වූ වස්තුන් මාසය හෝ හාර මාසය
හැර අවුරුද්දේ ඉතිරි නව මාසය හෝ අට මාසය තුළ ගමක් පාසා යමින් මිනිසුන්ගේ දෙලෝ
දියුණුව පිණිස වුවමනා කරන අදහස් කියා දෙමින් රටවැසියාගේ යහපත සඳහා ක්‍රියා කළ සේක.
ඒ කාලයේ දඹදිව භික්ෂූන් ගමක් පාසා ගොස් මිනිසුන්ට කියා දුන් අදහස් මොනවාදැයි සොයා
බැලීම වටී. සාමාන්‍යයෙන් ම ගම් වැසියෝ දිළිඳු ය. නූගත් ය. පිරිසුදුකමින් හා
නිරෝගිකමෙන් අඩු ය. ඔවුනට නිර්වාණය ගැන හෝ අභිධර්මය ගැන කරන ගැඹුරු දේශනාවලට වඩා
වුවමනා කෙළේ ලෞකික දියුණුවට අදාළ සාමාන්‍ය ලිහිල් අදහස් ය. එබඳු ගිහි ජනයාට කියා
දුන් අදහස් ත්‍රිපිටකයේ නො එක් තැන්වල දක්නා ලැබේ.
දුප්පත්කම අපරාධයන්ට, දුෂ්චරිතයන්ට මුල්වන බැව් දීඝ නිකායේ චක්කවත්ති සීහනාද
සූත්‍රයේ පැහැදිලිව ම දක්වා තිබේ. මේ සත්‍යය තේරුම් ගැනීම නිසා ධනය සැපයීමේ
අගය,ආර්ථික දියුණුව මනුෂ්‍යයාගේ යහපතට අවශ්‍ය බව, බුදුන් වහන්සේත්, භික්ෂූන්
වහන්සේලාත් රටවැසියන්ට කියා දුන්හ. දඬුවම් කිරීමෙන් සොරකම් ආදි අපරාධ නැවැත්විය නො
හැකි බවත්, ඒවා හරි ආකාර නතර කිරීමට නම් මිනිසුන්ට තම තමන්ගේ රැකී රක්ෂා හොඳින්
කරගෙන සැපසේ ජීවත්වීමට වැඩ පිළියෙළ කළ යුතු බවත් , දීඝ නිකායේ ම කූටදන්ත සූත්‍රයෙන්
පැහැදිලි වෙයි.
වෙළෙන්දෙකු තම රක්ෂාවෙන් දියුණුවීමට නම්, උදේ, දවල් ,සවස යන හැම වේලේ ම ඒ ගැන
උනන්දුවෙන් ක්‍රියාකළ යුතුයි. විකිණිය හැකිබඩු හඳුනන්නකු විය යුතුයි. මේ බඩුව මෙ
පමණ මිලට ගෙන මෙ පමණ මිලට විකිණිය හැකියැයි සිතා ගන්නට සමාර්ථයකු විය යුතුයි.බඩු
සුලභ තැන්වලින් මිලට ගෙන දුර්ලභ තැන්වලට විකිණීමට දක්ෂ විය යුතුයි. හොර තරාදියෙන්
කිරා මිනිසුන් රැවටීම ආදි වංචා නො කළ යුතුයි. අධාර්මික වෙළෙඳාම් නො කළ යුතුයි.
රැකීරක්ෂා පිළිබඳ මේ ආදි වැදගත් අදහස් අංගුත්තර නිකායේ නො එක් තැන්වල ප්‍රකාශ වෙයි.
ධනය ඇතිකම (අත්ථිසුඛය) ඒ ධනය නිසි පරිදි පාවිච්චි කිරීම (භෝග සුඛය) ණය නැතිකම (අනණ
සුඛය) නිවැරැදි ජීවිතයක් ගත කිරීම (අනවජ්ජසුඛය) යන මේ කරුණු සතර ගිහියකුට අයිති සැප
බැව්ද, තමා කරන රක්ෂාවේ දක්ෂකම (උට්ඨාන සම්පදා) වස්තුව රැකගැනීම (ආරක්ඛ සම්පදා)
යහපත් මිත්‍රයන් ආශ්‍රය (කල්‍යාණ මිත්තතා) ආදායමට අනුව වියදම් කිරීම (සමජීවිකතා) යන
මේ සතර මිනිසුන්ගේ මෙලොව හිත පිණිස පවත්නා බැව්ද අංගුත්තර නිකායේ දැක්වෙයි.
උපයාගත් වස්තුවෙන් හතරෙන් එක් කොටසක් එදිනෙදා වියදම සඳහා ගැනීමටත්, දෙ කොටසක් ධන
සැපයීම සඳහා කර්මාන්තවල යෙදීමටත්, හතරවැනි කොටස හදිසියක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා
තැන්පත් කොට තැබීමටත්, අවවාද කොට තිබේ. උපයාගත් ධනය විනාශවිය හැකි ක්‍රමද පැහැදිලිව
පෙන්වා තිබේ.
ධනය උපයාගත් පවුලක් නො පිරිහි වාසනාවන්තව ජීවත්වීමට නම්, ඒ ගෙදර නැතිවූ විනාශ වූ දේ
නැවත සපයා ගත යුතු බවත්, කැඩී බිඳී දිරාපත් වූ දේ ප්‍රතිසංස්කරණය කළ යුතු බවත්,
කෑම් බීම් ආදියට සීමාව ඉක්මවා වියදම් නො කළ යුතු බවත්, අයහපත් ගති පැවතුම් ඇති
දුස්සීල ස්ත්‍රියක් හෝ පුරුෂයකු පවුලේ ප්‍රධානියා නො විය යුතු බවත් අංගුත්තර නිකායේ
චතුක්ක නිපාතයෙහි සඳහන් වෙයි.
තමන්ගේ දියුණුව සඳහා අලස නැතිව උත්සාහයෙන් ක්‍රියාකළ යුතු බව නො එක් තැන්වල
දැක්වෙයි. නිරෝගිකම මනුෂ්‍යයාට ඇති පරම ලාභය බවත්, එය ලබා ගැනීමට උත්සාහ කළ යුතු
බවත්, ‘ආරෝග්‍යපරමා ලාභා” ආරෝග්‍ය මිච්ඡෙ පරමං ච ලාභං’ යනාදියෙන් පැහැදිලි වෙයි.
සමාජයේ යහපත් පැවැත්ම සඳහා වුවමනා කරන අදහස් නො එක් තැන්වල නිතර නිතර දැක්වෙයි.
දානය,පි‍්‍රය වචනය,අනුන්ගේ යහපත සඳහා ක්‍රියාකිරීම සමානාත්මතාව යන මේවා සතර සංග්‍රහ
වස්තු හැටියට ප්‍රසිද්ධ ය. සමාජයේ දියුණුව සඳහා වුවමනා නො එක් අදහස්, පවුලේ සහ
සමාජයේ ඔවුනොවුන් කෙරෙහි පැවැත්විය යුතුයුතුකම් ද සූත්‍රවල කියවෙයි. අනෙකක් තබා
ස්වාමිපුරුෂයා විසින් භාර්යාවට අලංකාර ඇඳුම් පැළඳුම් තෑගි කිරීමෙන් ඈ සතුටු කළ යුතු
බැව් පවා සිඟාල සූත්‍රයෙහි දක්වා තිබේ.
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයෙහි ඇතැම් රජවරු මහජනයා පෙළා අධර්මයෙන්
රාජ්‍යය කළෝ ය. එබඳු අධාර්මික රජුන්ගේ රටවල අධික අයබදු සහ දරුණු දඬුවම් ආදියෙන්
පීඩාවට පත් මනුෂ්‍යයන් දුටු තථාගතයන් වහන්සේ ඔවුන් කෙරෙහි මහත් කරුණාවෙන්,
රටවැසියන්ට හිංසා පීඩා නො කොට ධර්මානුකූල ආණ්ඩු ක්‍රමයක් ඇතිකිරීම පිළිබඳ බරපතළ
දේශපාලන ප්‍රශ්නයට සිත් යොමු කළ බැව් ධම්මපදට්ඨ කථාවෙහි සඳහන් වෙයි.
දේශපාලනය දශරාජ ධර්මයෙන් යුක්තව, එනම් දානය, ශීලය, පරිත්‍යාගය, ඍජු ගතිය, මෘදු
ගතිය, තපස්කම, ක්‍රෝධ නො කිරීම, හිංසා නො කිරීම, ඉවසීම, අවිරුද්ධතාව යන ගුණ දහයෙන්
යුක්තව, කළ යුතු බැව් බුද්ධාගමේ ඉගැන්වීම යි. මගධයේ රාජාණ්ඩුව ලිච්ඡවීන්ගේ
සමූහාණ්ඩුවට විරුද්ධව සටන් කරන්නට සුදානම්ව සිටියදී, ඒ සටන සඵලවේදැයි මගධ ආණ්ඩුවේ
නියෝජිතයන් බුදුන් වහන්සේගෙන් විචාළ කල, ලිච්ඡවීන් අතර සප්ත අපරිහානිය ධර්මයන් ඇති
බවින් යුධයෙන් ඔවුන් පැරදවිය නො හැකි බැව් උන්වහන්සේ වදාළහ.
මේ ආදි වශයෙන් රටවැසියාගේ නිරෝගිකම, පිරිසුදුකම, ධන සැපයීම, අන්‍යෝන්‍ය සම්බන්ධය,
සමාජයේ යහපත් පැවැත්ම, ධාර්මිකව, දේශපාලනය කිරීම ආදිය ගැන ඉතා වැදගත් අදහස්
උගන්වමින් බුදුන් වහන්සේත්, භික්ෂු සංඝයාත් ගමින් ගම චාරිකාවේ හැසුරුණාහ.
අප බුදුරජාණන් වහන්සේ දඹදිව පමණක් වැඩ කිරීමෙන් නො නැවතී වියවුල් සන්සිඳවීම් ආදි
මහජන සේවය සඳහා ලක්දිවට ද වැඩම වූ සේක. එපමණක් නොව අතීතයේ විසු බුදුවරුන්ද
ගිලානෝපස්ථානය සඳහා, සමාජ සේවය සඳහා, කෝලාහල සංසිඳවීම සඳහා ලක්දිවට වැඩම වූ බැව්
සමන්තපාසාදිකා විනය අටුවාවෙහි සඳහන් වෙයි.
(භික්ෂුවගේ උරුමය ග්‍රන්ථයෙනි)
|