Print this Article


අමාවතුරෙන් සසර තරණය කළ අංගුලිමාල

අමාවතුරෙන් සසර තරණය කළ අංගුලිමාල

මහා කාරුණික ලෝකනාථ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සමාජයේ විවිධවූත් ,විෂමවූත් පුද්ගලයන් දුටුවහ. පිහිට විය හැකි සෑම දෙනෙකුටම සරණ වූහ. එම සෑම අවස්ථාවක දී ම උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණත්, පුරුෂධම්ම සාරතී ගුණයත් ඉස්මතු විය. පරෝපකාරී බවත්,මෛත්‍රි කරුණා ගුණයත්, පුරුෂයන් දමනය කිරීමත් අතිශයින්ම පිළිඹිබු විය. අංගුලිමාල දමනය එවැනි අවස්ථාවකි.

අංගුලිමාල දමනය පිළිබඳ ත්‍රිපිටක ධර්මසාහිත්‍යයෙහි බොහෝ තැන්වල සඳහන් වෙයි. විවිධාකාරයෙන් පාඨක සිත් පැහැරගන්නා අයුරින් කතාව වර්ණනා කර ඇත. අමාවතුර කර්තෘ ගුරුළුගෝමි පඬිවරයා ද, තමාට අභිමත පරිදි අඟුල්මල් කතාව පාඨක සිත් පැහැරගන්නා පරිදි පෙන්වා දුන්නේය. තමාට හමුවන මිනිසුන් මරා එක් ඇඟිල්ල බැගින් අරගෙන මාලයක් සේ සාදා කරේ බැඳගෙන සිටි නිසා අංගුලිමාල යන නාමය ප්‍රසිද්ධ විය . අංගුලිමාල වනාහි කුඩා කල සිටම අනුන්ට හිරිහැර කිරීමෙන් වැළකී සිටියේ ය. ඊට ගැලපෙන පරිදිම කොසොල් මහ රජුගේ පුරෝහිතයා වූ භාර්ග බමුණා හා මව වූ මන්තානි බැමිණියත්,නම තැබුවේ අහිංසක කියා ය. දරුවා කෙරෙහි සෙනෙහස දැක්වූ මව්පියෝ අධ්‍යාපනය ලබාදීම සඳහා තක්සලා නුවර ඉතා සුප්‍රසිද්ධ වූ දිසාපාමොක් නම් ආචාර්යතුමා වෙත යවන ලදී . ඔහු කුඩා කල සිටම කොයි කාටත් ප්‍රියමනාප විය. කූර කපටිකම්විලින් වියුක්ත විය. ගුරුතුමා කෙරෙහි අපමණ ගුරු භක්තිය ස්නේහය ඇති වූ අතර අහිංසක පින් කළ පුද්ගලයෙක් ද විය. ගුරුතුමාගේ සැලකිල්ලට බඳුන් විය. යහළු මිත්‍රයන් කෙරෙහි ද අසීමිත ගෞරවාදරයක්, දැක්වූ අහිංසක තරුණ කුමාරයාගේ උතුම් ක්‍රියාකලාපය ගුරුගෙදර සිටි අනෙක් හිත මිතුරෝ අගය නො කළහ. ගුරුතුමා ඔහුට දැක්වූ සෙනෙහස අනුමත නො කළහ. ඒ වෙනුවට ඔවුන් තුළ ඇතිවූයේ තදබල ඊ්ර්ෂ්‍යාවකි. ශිෂ්‍යයෝ කොටස් තුනකට බෙදේ.

අහිංසක බිඳවීමට ඔහුට විරුද්ධව ආචාර්යවරයා වෙත ගොස් කේළාම් කීහ. ගුරුබිරිය සමඟ අනියම් සබඳකමක් ඇති බවද,ප්‍රකාශ කළහ. ගුරුතුමා කේලාම් කී ශිෂ්‍යයන්ට මුලා වී අහිංසක පිළිබඳ සිතූ ආකාරය පාඨකයාගේ සිත් සතන් කම්පාවෙන ආකාරයට අමාවතුර කතුවරයා කියා පාන්නේ මෙපරිද්දෙනි. "ආචාර්ය ඔවුන් තමා ඇතිවන් සනා වැ බණන සේ දැකැ ඇය හා ඔහු සසඟ ඇති සේය යි බිදී මරමි සිතී." කේලාම් කී සිසුනට හොඳටම රැවටී කීකරු ගෝලයා අනුන් ලවා මැරවීමට සිතා මිනිසුන් දහසක් මරා ඇඟිලි මාලයකින් ගුරු පූජාව තබන ලෙස කපටි සෙනෙහසින් දැන්වී ය. අංගුලිමාල ද කැලයට පිවිසෙන මිනිසුන් මරා මාලයක් සකස් කළ අතර සමහර ඇඟිලි සඟවා තිබූ තැන් අමතක විය. මෙම නපුරු පුද්ගලයා කැලය අසල මිනිසුන් හිඟ වූ විට සමීපයේ ඇති පොඩි ගමකට ගොස් රාත්‍රී ගම්මුන් භය ගැන්වීය. ගම්වැස්සෝ සැවැත්නුවරට ගොස් අංගුලිමාල සොරා පිළිබඳ රජුට පැමිණිලි කොට මරණ භයින් හඬා වැලපුනහ. මෙම භයානක අවස්ථාව ගුරුළුගෝමි පඬිවරයා තම ලේඛන ශක්තියෙන් පාඨකයන් බිරාන්තට්ටු වන ආකාරයට හසුරුවා ඇත්තේ මෙලෙසිනි. දර පලා සඳහා වල් යන්නාහු නැති රෑ ගමට වැද පයින් පැහැර දොර ගලවා පියා එහි හොතුවන් මරාපියා එකකෙ දෙකෙකැයි ගැණගෙන යෙයි එකල්හි ගම්වැසියෝ ගම්පියා ගොස් නියම්ගම් වන්හ. නියම්ගම් වැස්සෝ ගොස් නුවර වන්හ. තුන් යොජනක් තැන්හි මිනිස්සු ගේ පියා දරුවන් අත ගෙනැ ගොස් සැවැත්නුවර වටා කඳවුරු බැඳ රාජාංගනයෙහි රැස්වැ මහරජ,තාගේ රට අංගුලිමාල නම්, සොරෙක් වී ය ැ යි කියා වලපිත් ය. අන්තිමට මෙම භයානක ප්‍රවෘත්තිය අංගුලිමාල ගේ මව්පියන්ට ද ආරංචි වෙයි. දරුදුක දරාගත නොහැකි මව අහිංක පුතා රජුන් මරවාවි යැයි, සිතා ඔහු අල්වාගෙන එන ලෙස තම සැමියාට කීවා ය. භාර්ගවූ බමුණා එය ප්‍රතික්ෂේ්ප කොට විශ්වාස කළ නොහැකි කරුණු හතරක් ලෝකයේ ඇති බව කියා පාන්නේ අමාවතුර රචනා කළ තැනැත්තාගේ පෑන් තුඬ මගිනි. මෙම කතා පුවත ඇතුළත් වෙනත් සිංහල කතා ප්‍රවෘත්ති තුළ එසේ දක්නට නො ලැබේ. විශ්වාස නොකට යුතු කරුණු හතර මෙසේ ය.

පෙර කල සිටම මා සමඟ සබඳ යැයි සොරා ගැන විශ්වාස නොකට යුතුයි.

තමා කලින් නිදාහුන් ස්ථානය හෙවත්, කොළ ගොඩ විශ්වාස නොකට යුතු ය.

රජතුමා තමා හා සබඳ යැයි විශ්වාස නොකට යුතු ය.

ස්ත්‍රියක් කලින් තමා හා විසී යැයි විශ්වාස නොකට යුතු ය.

ස්වාමියාගේ ප්‍රතික්ෂේපයෙන් පසුව තමා ම පුතු ගෙන ඒමට මන්තානි බැමිණිය වන රොදට ගියා ය. උදැසන ලොව බලා සිටි බුදුරජාණන් වහන්සේ අගුල්මල් අතින් මව නැතිෙවි යැයි සිතා ඔහු සිටින දිශාවට පියමන් කළහ.