Print this Article


පවෙහි සැහැසි බව පෙන්වන පේත කථා-14: දවල් දුක් විඳ රැයෙහි සැප විඳීන විමාන ප්‍රේතයෝ

දවල් දුක් විඳ රැයෙහි සැප විඳීන විමාන ප්‍රේතයෝ

" නොදැන සිදුවෙන ප්‍රාණඝාතය හැර දැනුවත්ව සිදුකෙරෙන සෑම පරපණ නැසීමකට එයට අනුරූපි විපාක ඇත. බුදුසමය මේ සියල්ල විග්‍රහ කරන්නේ චේතනාව පදනම් කර ගෙන ය. ඒ අනුව සචේතනිකව සිදුවන සෑම ප්‍රාණඝාතයක් ම අකුශලයක් වේ."

භාග්‍යවතුන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි මිගලුද්ද නම් ප්‍රේතයා අරභයා මෙම පේත කථාව දේශනා කළහ.

රජගහ නුවර වාසී එක්තරා මුව වැද්දෙක් දිවා රෑ දෙකෙහි මුවන් මරා ජීවිකාව ගෙන ගියේ ය. තෙරුවන් සරණ ගිය එක් දැහැමි උපාසකයෙකු මුව වැද්දා හා මිත්‍රව වාසය කළ අතර ඔහු නිතරම මුව වැද්දාට පවින් වළකින ලෙසට අවවාද කළේ ය. කොතෙක් කරුණු කීවත් මුව වැද්දා තම ව්‍යාපාරය නතර නොකළේ ය. එක් දිනක් මුව වැද්දා ඇමතු උපාසකයා හැකිනම් රාත්‍රී කාලයෙහි පමණක් වත් මුවන් මැරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියේ ය. උපාසකයාගේ ඉල්ලීම පරිදි මුවවැද්දා දවල් කාලයේ මුවන් මරා ජීවිකාව ගෙනගිය අතර රාත්‍රී කාලයේ උපාසකයා සමඟ පින්කම්වලට සහභාගි විය.

මුවවැද්දා ටික කලකින් කළුරියකොට රජගහ නුවර සමීපයේ විමාන ප්‍රේතයෙක් ව උපන්නේ ය. දවල් කාලයේ මුවන් මරා ජීවත් වූ හෙයින් එයට අනුරූපි විපාක වශයෙන් ඔහු දිවාකාලයේ මහත්සේ දුක් විඳ රාත්‍රී කාලයේ දිව්‍යමය පංචකාම සම්පත් අනුභව කළේ ය. එක් දිනක් නාරද මහ තෙරුන්වහන්සේ එම විමාන ප්‍රේතයා දැක රාත්‍රී කාලයේ දිව්‍ය පුත්‍රයන් හා දිව්‍යාංගනාවන් පිරිවරා පංචකාම සම්පත් විඳීමින් සතුටු විමටත් දවල් කාලයේ මහත් දුක් ගොඩක් විඳීමන් වේදනාවට පත්වීමටත් හේතුව කවරේදැයි විමසී ය.

නාරද මහා තෙරුන්ට පිළිවදන් දුන් විමාන ප්‍රේතයා තමා පෙර ආත්මයේ නිතර ලේ වැකුණු අත් ඇතිව කිසිවෙකු සමගත් විරුද්ධත්වයක් නැති කැලෑවෙහි සිටි අහිංසක මුවන් මරා ජීවිකාව ගෙන ගිය බවත් මිතුරු උපාසකයෙකුගේ මගපෙන්වීම අනුව රාත්‍රියෙහි පාපයෙන් වැළකී කටයුතු කළ හෙයින් විමාන ප්‍රේතයෙකුව ඉපදී දිවාකල දුක් විඳින බවත්, රාත්‍රියෙහි පින් කළ නිසා සැප විඳින බවත් ප්‍රකාශ කළේ ය. එපමණක් නොව දිවා කාලයේ තමා සපා කෑමට රංචු පිටින් පැමිණෙන සුනඛයන් නිසා ද බලවත් දුකකට හා වේදනාවකට පත්වන බවත් දැන්වී ය. ඉක්බිති නාරද තෙරණුවෝ මෙම විමාන ප්‍රේතයා පිළිබඳ කථාව බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්න හ. තථාගතයන් වහන්සේ එය පදනම්කරගෙන දම්සභා මණ්ඩපයට රැස් වූ පිරිසට දහම් දෙසූහ. ප්‍රාණඝාතයේ ආදීනව ප්‍රකට කෙරෙන මෙම ප්‍රේත කථාවෙන් විමාන ප්‍රේතයෙකුගේ ස්වභාවය පැහැදිලි වේ. විමාන ප්‍රේතයන්ට බලපාන පොදු තත්ත්වය නම් පින් පව් දෙකම එකවර විපාක දීම යි. මෙම කථාවේ එන මුව වැද්දා රාත්‍රිකාලයේ පවින් වැළකීම නිසා දිව්‍යමය සැපතකට උරුමකම් කීව ද, දවල් කාලයේ සිදු කළ ප්‍රාණඝාත අකුශලය නිසා දුක් වේදනා විඳීන්නෙකු බවට පත්වි ය. මේ වනාහි විමාන ප්‍රේතයන්ගේ ස්වභාවය යි. පංච ශීල ශික්ෂා අතර පළමු වැන්න ප්‍රාණඝාතය යි.

ඒ අනුව බෞද්ධ පිළිවෙත් පුරන්නෙකු මොනම ආකාරයේ වුව ප්‍රාණඝාතයක් කරන්නෙකු හෝ එයට අනුබල සපයන්නෙකු නොවි ය යුතු යි. අප කැමැති වුවද නැත ද බුදුදහමට අනුව එය වරදකි. එසේම බෞද්ධ ප්‍රතිපත්ති පුරණ ගිහියෙකු ප්‍රාණඝාතය හා සම්බන්ධ ව්‍යාපාරවලින් ද වැළකිය යුතු යැයි උපාසක අකරණීය සූත්‍රයේ ඇතුළත් වේ. පැවිදි සමාජයට මෙය අමුතුවෙන් කිව යුත්තක් නොවේ. පැවිදි ශීලය තුළ එයට කිසිදු ඉඩක් නොමැත. මෙම ශික්ෂා පදය තරම් විවාදයට ලක් වුණු වෙනත් ශික්ෂාවක් නොමැත. ඒ ගැන දීර්ඝ ලෙස කරුණු දැක්වීම අනවශ්‍ය ය. බුදුරදුන්ගේ ධර්මය සර්වසත්ව හිතවාදී චින්තනය කි. එය හුදෙක් මිනිසාගේ යහපත ගැන පමණක් කථා කරන ආගමික ඉගැන්වීමක් නොවේ. සියලු ජීවීන්ගේ ජීවත්වීමේ අයිතියට ගරු කරන එය උසස් කොට සළකන සම්පූර්ණයෙන් ම අවිහිංසාවදී ආගමික චින්තනයකි.

ජෛන සමය මෙන් ප්‍රාණඝාතය සම්බන්ධයෙන් අන්තවාදී පිළිවෙතක් අනුගමනය නොකළත් නොදැන සිදුවෙන ප්‍රාණඝාතය හැර දැනුවත්ව සිදුකෙරෙන සෑම පරපණ නැසීමකට එයට අනුරූපි විපාක ඇත. බුදුසමය මේ සියල්ල විග්‍රහ කරන්නේ චේතනාව පදනම් කර ගෙන ය. ඒ අනුව සචේතනිකව සිදුවන සෑම ප්‍රාණඝාතයක් ම අකුශලයක් වේ. එබැවින් එයින් වැළකී සියලු ජීවින් කෙරෙහි මෙත් සිත වැඩීම කළ යුතු වේ. මිතුරු ආකල්පයකින් ලොව බලන්නෙකුගේ සිතෙහි ද්වේෂය පදනම්කරගත් සිතිවිලි ඇතිවීම විය නොහැක්කකි. සියලු ජීවින් කෙරෙහි පමණක් නොව අජීවී පරිසරය ගැන ද හිතවාදී ආකල්පයකින් ක්‍රියාත්මක වීමේ වැදගත්කම වර්තමාන ලෝකයේ අවධානයට ලක්ව තිබෙන කරුණකි. මෙම පසුබිම යටතේ මිනිස් අයිතිවාසිකම් පමණක් නොව සෙසු ජීවීන්ගේ අයිතිවාසිකම් ගැන ද සාකච්ඡා කරනු ලැබේ. බොහෝ බටහිර රටවල සතුන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමෙහිලා පෙරමුණ ගන්නා සංවිධාන බිහිව තිබේ. ලක්වැසි බෞද්ධයන් මෙය අතීතයේ සිට ම ක්‍රියාවට නැංවූ බව බෞද්ධ ඉතිහාසයෙන් සනාථ වේ. පැරැණි ලංකාවේ බොහෝ රජවරු සත්ව හිංසනය වළක්වන මාඝාතය වැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හ.

බුද්ධදාස වැනි නරපතියන් මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද ප්‍රතිකාර කොට ඇත. සත්ත්ව ඝාතනය මුළුමණින් ම බැහැර කළා පමණක් නොව ඔවුන්ට ආහාර පාන සැපයීමෙන් ද (බලුකපුටු දානය) අනුග්‍රහ දැක්වූහ. අසරණ සතුන් කෙරෙහි කාරුණික වූ බෞද්ධයා තම ආගමික වතාවත් අවසානයේ සියලු ජීවීන්ට පින් අනුමෝදන් කළේ ය. සතුන්ට පින් අනුමෝදන් විය හැකි ද නොහැකි ද යන්න බෞද්ධයා ට ගැටලුවක් නොවී ය. පුණ්‍යානුමෝදනය සඳහා පුද්ගලයා මෙහෙයවනු ලබන කාරුණික ආකල්පය පමණි ඔහුට වැදගත් වූයේ. මෙම කථාවෙහි එන උපාසකයා කල්‍යාණ මිත්‍රයෙකි. තම මිතුරා වන මුවවැද්දා පවින් වැළැක්වීම පිණිස දැඩි උත්සාහයක නිරත විය. අවසානයේ මුළුමණින්ම කෙසේ වෙතත් හරි අඩකින් හෝ මුවවැද්දා ප්‍රණඝාතයෙන් වැළැක්වීමට ඔහුට හැකියාව ලැබුණි. එවැනි කල්‍යාණ මිත්‍රයන් දක්නට ලැබෙන්නේ කලාතුරකින් ය. බොහෝවිට දක්නට ලැබෙන්නේ පාපයට හා දුරාචාරයට පොළඹවන යහළුවන්ය. තමනුත් පාපයෙන් වැළකී, අන් අය ද එයින් වළක්වන්නා සත්පුරුෂයෙකි. එවැනි සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් පාපයෙන් හා අකුශලයෙන් වැළකිය හැකි ය. විමාන ප්‍රේතයන් වැනි මිනිසුන් ද අප අතර දක්නට ලැබේ. ධනයෙන් හා වංශවත් බවින් ආඪ්‍ය පරිසරයක උපන් ඇතැම් අයට තම වැරැදි ජීවන පිළිවෙත නිසා දිළින්දන් ලෙස ජීවත්වීමට සිදුව තිබේ. අංග සම්පූර්ණ සිත් ගන්නා සුළු පෙනුමකින් යුක්ත ඇතැම් තරුණ තරුණියන් මතට හා දුරාචාරයට යොමු වී තම සුන්දර පෙනුම දුර්වර්ණ කරගත් අවස්ථා දක්නට ඇත. උසස් අධ්‍යාපනයක් ලද ඇතැම් වැදගත් වෘත්තිකයන් අල්ලසට හා දුරාචාරයට යොමුවී තම වෘත්තීය ජීවිතය කිලිටිකරගත් අවස්ථා එමට ය. නිදහසේ හා මානසික සංහිඳියාවේ උල්පත වූ පැවිද්දට පත්ව එහි අගය නොදැන පංචකාමය තුළ අතරමං වූ පැවිද්දන් ද දක්නට ලැබේ.

මේ නිදසුන් කීපයෙන් වුව අපේ පියවි ඇසට නොපෙනන විමාන ප්‍රේතයන්ට වඩා මනුෂ්‍ය වේසයෙන් සිටින විමාන ප්‍රේතයන් පිළිබඳ අදහසක් ඇතිකරගත හැකි ය. මේ සියල්ලට තමා කළ පූර්ව කර්මය මුල් වී ඇතැයි සිතිය හැකි ය. එහෙත් මනුෂ්‍යයන් වශයෙන් විඳින දුක සැප සියල්ල පෙර කර්මයේ විපාක ම නොවේ. ඇතැම් විට ඒවා වර්තමානයේ අප කරන බොහෝ පාප කර්මවල දිට්ඨධම්ම වේදනීය විපාක සේ සැළකිය හැකි ය. පංච ආනන්තරිය පාප කර්ම හැරෙනකොට අනෙකුත් පාප කර්මවල විපාක පුද්ගල උත්සාහය මත වෙනස් කරගත හැකි ය. සදාචාරාත්මක හැසීරීමත් ප්‍රඥා සම්පන්න ජීවන පිළිවෙතත් සත් පුරුෂ ආශ්‍රයත් ඒ සඳහා උපයෝගී කරගත හැකි ය. මෙම කථාවෙහි එන උපාසකයාගේ උපදෙස් පිළිපැදීම නිසා මුවවැද්දාට තමා කළ පාප කර්මයේ විපාක අඩකින් අඩුකරගත හැකි විය. දහමට අනුව ජීවිතය දෙස ගැඹුරින් සිතා බලන්නෙකුට නිවන් අවබෝධය තෙක් වන තම සංසාර ගමන සුවදායී මෙන් ඵලදායී චාරිකාවක් බවට පත් කර ගත හැකි ය.