සමන් දෙවි කරුණාව
සමනල අඩවියට ගමන් කරන කිසිම කෙනෙකුට අනතුරක් සිදු නොවන්නට සමන් දෙවියෝ වග බලා
ගනිති. අප ගෞතම බුදුරජාණන් වහන්සේ දැක ශ්‍රී පාද අඩවියේ දී ම සෝවාන් ඵලයට පත් වූ
සුමන සමන් දෙවියන්ගේ කරුණාව නිරතුරුව ම කාටත් ලැබෙන්නේ ය.
ශ්‍රී පාද වන්දනා වාරය තුළ සිදුකරන සුවිශේෂී ම පින්කමක් වන්නේ ‘මැදින් පොහෝ’ දින
පින්කම ය. 1992 වසරේ මැදින් පොහෝ දා පින්කම ද සුවිශේෂී එකක් විය. එම පින්කම සුවිශේෂ
වන්නේ ශ්‍රී පාද පද්මය අභියස සිට මුළු ශ්‍රී ලංකාවට ම ඇසෙන සේ පිරිත් දේශනා කිරීමය.
සංඝයා වහන්සේලා විශාල පිරිසක් සහභාගී වන මෙම පිරිත් පින්කම ශ්‍රී ලංකා ගුවන් විදුලි
සංස්ථාව රැය මුළුල්ලේ ම රටපුරා විසුරුවා හැරියේ ය.
එම පින්කමට එදා එළැඹියේ රටේ ම පැවති නියං තත්ත්වයක් මැද ය. පෙහෝ දින රැය පුරා ම කළ
පිරිත් සජ්ඣායනාව අවසානයේ දී එවකට ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා
සංඝරත්නය රටට වැසියන්ට සෙත් පතා ශ්‍රී පාද පද්මය සුවඳ පැනින් දෝවනය කළහ. අනතුරුව
සමනල ගිරි මුදුනට ද, සමනල කන්දෙන් ගලා බසින සිව්මහා ගංගාවන්ට ද, ඒවායෙහි දියබෙත් ම
ප්‍රදේශයන්ට ද ඇතුළු කඳුකරයේ මහා ජලාශවලට ද පිරිත් පැන් මුසු කරන ලදී.
එදා උන්වහන්සේලා සිරිපා ගිරෙන් ආපසු වැඩියේ ද තුන්සරණය සජ්ඣායනා කරමිනි. ඒ වගේ ම
දහස් ගණනක් වූ වන්දනා කරුවන්ගේ ද ප්‍රාර්ථනාව වූයේ වර්ෂාවයි. පසුදින සවස ශ්‍රී පාද
අඩවියට මහ වැසි ඇද හැලෙන්නට වූයෙන් සිව් මහා ගංගා පිරී ඉතිරී යන්නට විය.
සොබා දහමේ අසිරිමත් නිමැවුම් විසිරී ඇත්තේ මිහිමඬල මත පමණක් ම නොවේ. පොළෝ ගැබ තුළ
සඟවා සුරක්ෂිත කරගත් සුන්දර නිර්මාණ රැසක් ද පවතී.
සිරිපා රක්ෂිතයට මායිම් ව පිහිටා ඇති සොබාදම් මවගේ මේ සුන්දර දායාදය ‘වන හපුවේ රූප
ගල්ලෙන’ නමින් හැඳින්වේ. එහි සුන්දරත්වය වටිනාකම ඉහළ නංවන හේතුව වන්නේ එය ගැමියන්ගේ
පූජනීයත්වයට, ගෞරවයට පාත්‍ර වූ ගුප්ත හාස්කම් කැටිකොටගත් තෝතැන්නක් ද වීම නිසා ය.
මෙය සොයා ගිය ගවේෂකයෙක් ඒ පිළිබඳව මෙසේ විස්තර කොට තිබුණි. වනවාසී කුඩාවේ පේමාලෝක
හිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් මෙම ස්ථානය සොයා ගිය ද, මං සලකුණු කීප විටක් ම
වැරැදිනි. මං මුලා වූ මොහොතක ගැමියෙකුගේ උපකාරයෙන් ගල්ලෙන සොයා ගැනීමට හැකි විය.
ඉන් අනතුරුව යම් ස්ථානයක වූ ලෙන් දොරකින් ඇතුල් වී පොළෝ ගැබට කිඳා බැස්සෙමි. අතට
අසුවන මානයේ වූ ස්වභාවික නෙරුම් මත එල්ලී යාන්තමින් රූටා ගොස් අවසානයේ එරීයන තෙත
බරිත බිම් කඩක පා තැබුවෙමි.
තවත් යටට බිත්තියේ ඇති නෙරුම් මත පියවර තබමින් එල්ලී පැද්දී, අඩි විස්සක් විසිපහක්
පමණ පහළින් වූ වේදිකාවක් මතට පිවිසුණෙමි. වහළයේ සිට පහළට එල්ලෙන සුදිලෙන තල සහිත
උල් හැඩැති නෙරුම් රැසකි. ගුහාව ඈත කෙළවර පියාපත් විදාගත් ප්‍රාග් ඓතිහාසික යුගයේ
පක්ෂියෙකි. මෙම දර්ශන දැකීමෙන් හදවත මොහොතකට නැවතුණා සේ දැනුණි. මෙම ගුහාව තුළින්
ගලායන දිය දහර නිසැකව ම ප්‍රධාන ගංගාවක් වන කළු ගංගාවේ ප්‍රධාන පෝෂක දිය දහරාව විය
යුතුය.
‘මෙය කොපමණ ගැඹුරු ද දන්නේ නෑ නේද?’ පසෙකින් අවුලාගත් ගල් ගෙඩියක් ජල ධාරාව පතුළට
පෙරළමින් මා සමඟ ගමනට එක් වූ අයෙක් ඇසී ය. ‘මේ ස්ථානයේ පතුළට ගල් පෙරළුවා ම හොඳට ම
වැසි වහිනවා’ වැසි නැති කාලයටයි අපි මේකට ගල් පෙරළන්නේ කෙනෙක් කීවේ ය.
ගල්ගුහාවෙන් එළියට පැමිණ ටික වේලාවකින් මහ හඬින් ගුගුරවමින් ගිනි දවාලයේ විදුලි
කෙටී ය. හැමුවේ තද සුළඟකි. හිරු ද සැඟවුණි. පාවී ආ කළු වළා අහස අරක්ගත්තේ ය. කඳු
මුදුන් මත මී දුම් වළා කැටි ගැසිණි. මොහොතකින් හෙණ හඬ නංවමින් අනෝරා වැස්සක්
ඇදහැළුණි.
- දීපා පෙරේරා |