Print this Article


පූජාච පූජනියනං

දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනු නා හිමි

මහනුවර මල්වතු මහා විහාරාධිවාසී, ඓතිහාසික වල්ගම්පාය රාජමහා විහාරය, ගැරැප්පිටිය – රණවන පුරාණ විහාරද්වය යන විහාරයන්හි අධිපති, ගෞරව ශාස්ත්‍රවේදී දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප්‍රේල් මස 16 වන දින සැත්තෑ සත්වන විය සපුරමින් සැත්තෑ අටවන වියට පා තබති.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩහේවාහැට දිඹුල්කුඹුර ග්‍රාමයේ බජ්ජල වලව්වේ දී 1941 අප්‍රේල් මස 16 වන දින ජන්ම ලාභය ලැබූ අනු නා හිමිපාණෝ දිඹුල්කුඹුර කනිටු විදුහලින් මූලික අධ්‍යාපනය ලබා ඉනික්බිතිව මහනුවර මල්වතු මහාවිහාරයීය ශ්‍රී සංඝ රාජ පිරිවෙනට ඇතුළත්ව ශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතුවල නිරත වූහ. ශ්‍රී ලංකාද්වීපයේ අධ්‍යාතන සම්බුද්ධ ශාසනෝද්දිපනියෙහි පුරෝගාමී වූ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝ රාජ මාහිමියන් වහන්සේගේ ඤාති ශිෂ්‍ය වූ, මල්වතු මහාවිහාර පාර්ශ්වයේ සය වැනි මහා නායක ධුරප්‍රාප්ත වැලිවිට සරණංකර මහ නා හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් මාත්ගමුවේ ධම්මාලෝක නා හිමි, ඉලුක්වත්තේ ධම්මානන්ද නා හිමි සහ වතුරකුඹුරේ ඤාණවිමල නාහිමිපාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් 1965 දෙසැම්බර් මස 30 වන දින පෙරවරුවේ මල්වතු මහා විහාරයේ දී ප්‍රවෘජ්ජා සම්පත් ලබා එදින ම සන්ධ්‍යාවේ දී අමුණුගම රාජගුරු විපස්ස්‍යාභිධාන මහ නා හිමියන් උපාධ්‍යාය කොට රඹුක්වැල්ලේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ රත්නින්දේ අනෝමදස්සි නා හිමියන්ගේ කර්මාවාගාචාර්යත්වයෙන් උපසම්පදාවට පත් වූහ.

1970 දී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පෙරදිග ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිය හිමි කරගනිමින් ඉනික්බිතිව ධර්මාචාර්යයන් වහන්සේ නමක සහ විදුහල්පති ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක ලෙස දීර්ඝ කාලයක් කටයුතු කොට විශ්‍රාම ලැබූහ. ස්වකීය ආචාර්යයන් වහන්සේලාගේ අපවත් වීමෙන් පසු යටිනුවර ගැරැප්පිටිය සහ පිළිමතලාවේ රණවන යන විහාරද්වයෙහි ආධිපත්‍යයට පත් වූ අනු නා හිමිපාණෝ දීර්ඝ කාලයක් කර්මවාගාචාර්යයන් වහන්සේ නමක සහ උපාධ්‍යායයන් වහන්සේ නමක ලෙස මල්වතු මහාවිහාරයේ වාර්ෂික උපසම්පදා විනය කර්මයන් සඳහා දායකත්වය සැපයූහ. අවස්ථා ගණනාවක දී ශ්‍රී දළදා වහන්සේගේ තේවා කටයුතු සඳහා ද දායකත්වය ලබා දුන්හ. 2004 වර්ෂයේ සිට මල්වතු මහාවිහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවියෙහි කටයුතු කරමින් සිටින අතරතුර 2009 දී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ මල්වතු මහාවිහාරයේ විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන්, අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ ප්‍රඥාශේඛර අනු නා හිමියන් අපවත්වීමෙන් පුරප්පාඩු වූ මල්වතු මහාවිහාරයීය අනුනායක පදවියට පත් වී වදාළ සේක. 2016 දී දෙහිදෙණියේ ශ්‍රී සිද්ධාර්ථ රතනසාර නාහිමියන් අපවත් වීමෙන් පුරප්පාඩු වූ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ විංශත් වර්ගික කාරක සංඝ සභාන්තර්ගත දන්තුරේ ඓතිහාසික වල්ගම්පාය රාජමහා විහාරාධිපති පදවිය ද අනුනාහිමියන් වෙත පැවැරුණි.

තමන් වහන්සේ හමුවට පැමිණෙන කාහටත් අනතිමානී බවින් හා සමානාත්මතාවයෙන් යුතුව සත්කාර සම්මාන සිදු කරන අනු නාහිමිපාණෝ මල්වතු මහාවිහාර පාර්ශ්වයට අයත් ප්‍රාදේශීය විහාරස්ථානවල කටයුතු සඳහා ද ස්වකීය දායකත්වය ලබා දෙමින් මහාවිහාර සම්ප්‍රදාය හා බද්ධ වූ චාරිත්‍ර විධි නොකඩ කොට පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන අන්දම ප්‍රශංසාර්භ වෙයි. රටෙහි අර්බුදකාරී අවස්ථාවන්හි දී නොපැකිල තම මතය ප්‍රකාශ කරමින් බෞද්ධ අබෞද්ධ සැමගේ ගෞරවාදරයට පත්ව වැඩ වසන සුප්‍රතිපන්න සෘජුප්‍රතිපන්න ආදී සංඝ ශෝභන ගුණයන්ගෙන් සමන්විත අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට ශතවර්ශාධික කාලයක් ලෝක ශාසනික අභිවෘද්ධි සාධනය පිණිස නිරෝගි සම්පත් සාධනය වේවා.


ඇන්දානේ දයානන්ද නා හිමි

රත්නපුර ඇන්දාන ගම් පෙදෙසේ ජේ.එම්. මොහොට්ටි ජයසුන්දර හා වීරසිංහ පොඩි හාමිනේ දම්පතින්ට දාව 1925 පෙබරවාරි 16 උපත ලැබ මඩලගම රජයේ පාසලේ මූලික අධ්‍යාපනය ලද්දේ ය. 1940 සැප්තැම්බර් 25 දින ගිණිහිරියේ සිද්ධාර්ථෝදය පරිවේණාධීශ්වර දෙමළපෝරුවේ ශ්‍රී ධීරානන්ද මහා නායක හිමි සහ පරිවේණාධ්‍යක්ෂ මිල්ලපිටියේ පියනන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි විය.

තත් පිරිවෙනින්ද, අම්බලන්ගොඩ විද්‍යාලෝක පිරිවෙනින්ද, කොළඹ විද්‍යෝදය පිරිවෙනින්ද ධර්ම ශාස්ත්‍ර ඥානය ලත් දයානන්ද හිමි 1951 දී රාජකීය පණ්ඩිත උපාධිය හිමිකර ගත්හ. 1946 දී බලපිටියේ වැලිතර ස්වේජින් සීමාමාලකයේ දී උපසම්පත්තිය ලැබූහ. 1945 සිට විද්‍යාලෝක පිරිවනේ ගුරුවරයකු වූ උන්වහන්සේ උප පරිවේණාධිපති ධූරය ද හොබවා 1960 සිට තිස් වසරකට අධික කාලයක් පරිවේණාධිපතිත්වය හෙබවූහ.

සිංහල, පාලි, සංස්කෘත භාෂාත්‍රයෙන් අද්විතීය දැනුමෙන් පිරිපුන් උන්වහන්සේ ජින චරිත සංඛ්‍යාව, සිංහල පරාජිකා පාලිය, ලකුණු සර විවරණය, ජනරංජන ධර්ම, දයාමාලිනි (පද්‍ය) ආනාපානසති භාවනාව ආදී බොහෝ ගැදි පැදි පොත් රැසක් රචනා කළහ.

1957 දී නිකායේ ලේඛකාධිකාරී, 1968 දී අධිකරණ සංඝ නායක, 1974 දී අනු නායක, 1986 දී මහා නායක වූ උන්වහන්සේ ගහල්විටියේ සුමංගල මහානායක හිමියන්ගේ අපවත්වීමෙන් පසු එතෙක් දෙකඩව පැවති එක්නැලිගොඩ විහාර පාර්ශ්වය ඒකාබද්ධ කොට වර්ෂ 1993 දී යළිත් මහානායක ධූරයට පත් වූහ. සංඝ සාමගි‍්‍රය සඳහා උන්වහන්සේගෙන් වූ සේවාව විශිෂ්ටය.

අම්බලන්ගොඩ පොල්වත්ත ජයබෝධි විහාරය, කැටන්තොට සුමනමාතාරාමය ආදී විහාර ගණනාවක අධිපති අම්බලන්ගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩල සභාපති දයානන්ද හිමියෝ ලෝ සසුනට මහත් හිඩැස් තබමින් 2000 මාර්තු 14 දින අපවත් වූහ. උන්වහන්සේගේ ශිෂ්‍ය ශාස්ත්‍රපති යටියන සීවලී හිමියන්ගේ අනුශාසකත්වයෙන්, දයානන්ද හිමියන් පිළිබඳ දහ අටවන ගුණානුස්මරණ මහා පුණ්‍යෙීත්සව කටයුතු පොල්වත්ත ඕකන්ද ජයබෝධි විහාරස්ථානයේ දී සිදු කෙරිණි. රාජකීය පණ්ඩිත ඇන්දානේ දයානන්දාභිධාන මහානායක හිමිපාණන් වහන්සේට නිවන්සුව ලැබේවා.


බටුවන්හේනේ මෙත්තාරාම නා හිමි

පසුගිය දා අපවත් වී වදාළ අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ අනු නායක බටුවන්හේනේ මෙත්තාරාම නාහිමිපාණන් වහන්සේගේ තෙමස් පූර්ණ පුණ්‍යානුමෝදනය අප්‍රේල් මස 27 දිනට යෙදී ඇත.

ගාලු දිස්ත්‍රික්කයෙහි බෙන්තර ඇල්පිටිය බටුවන්හේන ග්‍රාමයෙහි පදිංචිව සිටි පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් දියෙස් අප්පුහාමි හා වන්නිආරච්චි කංකානම්ගේ බබුන්නෝනා හාමිනේ යන දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1919 ජනවාරී මස උපත ලැබූ එම කුමරු දසවැනි වියේ දී 1929 ඔක්තෝබර් 18 දින ගොලුවාමුල්ලේ දීපාරාම නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ප්‍රවෘජ්ජා භූමියට පත් විය.

මෙත්තාරාම නාහිමියන් අම්බලන්ගොඩ ශාස්ත්‍රෝදය පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබාගත්හ. මගධ සකු හෙළ ආදී (පාචීන) භාෂා පඬිවරයෙකු ලෙස වියත් සභාමැද ගෞරව බහුමානයට පාත්‍ර වූ උන්වහන්සේ 1959 දී ගෞරව ශාස්ත්‍රවේ දී උපාධි ධරයෙකු බවට පත්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයෙනි. බටුවන්හේන ශ්‍රී සුදර්ශනාරාමයෙහි 1947 ජූලි 03 දී ආරම්භ කළ විද්‍යාප්‍රදීප පිරිවණෙහිත්, නාගොඩ මහා විද්‍යාලයෙහිත් සහ ගාල්ල ඕපාත අවිත්තාව නාලන්දා මහා විද්‍යාලයෙහිත් ආචාර්යවරයෙකු ලෙස සේවයකොට ඇති උන්වහන්සේ කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවනෙහි ද සේවය කොට ඇත. ඊට අමතරව අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විද්‍යාපීඨයේ උපාධි නිබන්ධන පරීක්ෂකවරයෙකු ලෙස කලක් සේවය කළ අතර දකුණු පළාතේ නොයෙක් සමිති සංගම්වල සභාපති ධූරයන් හොබවා දැයට අවශ්‍ය ශක්තිය හා නායකත්වය ලබා දුන්හ.

1984 බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිප්‍රාප්ත වූ උන්වහන්සේ බෙන්තර වලල්ලාවිට කොරළයේ (නැගෙනහිර) ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපතිත්වය ද ඉසුලූහ.

මෙත්තාරාම නාහිමිපාණන් වහන්සේ බටුවන්හේන ශ්‍රී සුදර්ශනාරාමයේ විහාරාධිපති ධූරයට පත්වූයේ 1971 දී ය. ආගමික, සාමාජික සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාවගේ කේන්ද්‍රස්ථානය බවට පත්වන ශ්‍රී සුදර්ශනාරාමයෙහි ස්වර්ණමය යුගය වන්නේ මෙත්තාරාම නාහිමිපාණන්වහන්සේගේ යුගයයි. ශාසනික සමාජ මෙහෙවර සිදු කළ සංඝ පීතෘවරයන් වහන්සේ නමකි.

උන්වහන්සේට ගෞරව පිණිස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සමය අධ්‍යයන හා තුලනාත්මක දර්ශන අධ්‍යයනාංශයේ එම විෂය ඉහළින් සමත් වන සිසුන් උදෙසා වාර්ෂිකව සමරු ශිෂ්‍යත්වයක් 2018 වසරේ සිට සෑම උපාධි ප්‍රධානෝත්සවයකදීම ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සමය අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය සමන්ත ඉලංගකෝන් මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ අප විසින් කටයුතු යොදා ඇත.

අමරපුර සිරිසද්ධම්මවංස නිකායේ අනුනායක ධුරන්ධර මහෝපාධ්‍යාය ‘සිරිසුගත ශාසන ශෝධක විනයාචරිය සිරි අභයතිස්ස දීපාරාම වංශාලංකාර විද්‍යොද්‍ය ධර්ම ශාස්ත්‍ර විභූෂණ ශාස්ත්‍රවේදී පණ්ඩිත බටුවන්හේනේ මෙත්තාරාම නාහිමිපාණන් වහන්සේට නිවන් දොර විවර වේවා.