සීහළවත්ථු කථා
පිනෙහි
සොඳුරු විපාකය
හෙළ දිවයිනේ රුහුණු දනව්වේ මහාගාම නමින් ප්‍රදේශයක් තිබුණි. එකල එහි සද්ධාතිස්ස රජු
රාජ්‍ය කළේ ය. ඒ මහාගාම ගමේ ලෝකුරුකුත්ත නමික් ප්‍රකට රන්කරුවෙක් සහ ඔහුගේ පවුලේ අය
ජීවත් විය.
දිනක් සද්ධාතිස්ස රජු මේ රන්කරුවා ගෙන්වා රත්‍රන් ප්‍රමාණයක් දී ‘මේ රන් තලා තලියක්
සාදා ගෙන එන්නැ යි’ අණ කළේ ය. රන්කරුවා එය බාර ගත්තේ ය.
එහෙත් රජ අණ ගැන නො තැකු ඔහු ඒ රන් විකුණා මත්පැන් බී සියල්ලම විනාශ කළේ ය. දිනක්
රජු ඒ රන් තලිය ගෙන එවයි පණිවිඩ කරුවෙකු රන්කරුගේ නිවසට යැවී ය. පණිවිඩකරු දුටු ඔහු
බියට පත් වී බිරිඳ අමතා “මම වහා ස්වර්ණභූමියට ගොස් රන් සොයාගෙන එමි. වහා බතක්
පිළියෙල කොට දෙවයි” කීවේ ය.
බිරිය සකසා දුන් කෑම රැගෙන ඔහු වේගයෙන් ගමන් කළේ ය. අසල මගක දී ගසක් දැක ආහාර
ගැනීමට එතැන සුදුසුයැයි සිතා ඒ ගස අසල හිඳ ගත්තේ ය. එදා ඒ අසල වනයෙහි නිරෝධ
සමාපත්තියට සම වැදී සිටි එක් රහතන් වහන්සේ නමක් එයින් නැගිට පිඬු පිණිස යාමට ගමට
ඇතුලු වූහ. රන්කරුවා ආහාර ගැනීමට වාඩි වූ ගස අසල දී උන්වහන්සේ නැවතුන සේක. තෙරුන්
වහන්සේ දැක මහත් වූ සතුටට පත් වූ ඔහු ඇඳගිලි බැඳ වැඳ මහත් වූ පැහැදීමකින් මෙසේ
සිතන්නේ ය.
"ස්වර්ණ භූමියට රන් ලබා ගැනීමට යාමේ දී නොයෙක් අන්තරායෝ පැමිණෙති. දැන් තෙරුන්
වහන්සේ නමක් මා ඉදිරියට පැමිණ සිටිති. මට දීමට යමක් ද තිබේ. ඒ නිසා මේ ආහාරය මම
උන්වහන්සේට පූජා කරමියි" සිතා, සිත පහදාගෙන ඒ ආහාරය පිරිසුදු සිල් ඇති ඒ රහතන්
වහන්සේට පිළි ගැන්වී ය. උන්වහන්සේ එය පිළිගෙන අසල ගසක් මුල හිඳ දානය වළඳා ඉතිරි
ආහාර ඔහුට දෙනු කැමැතිව “උපාසකය, මේ විලට බැස විල මැද තිබෙන නෙළුම් කොළයක් කඩා
ගෙනවුත් මේ ඉතිරි ආහාරය ගෙන අනුභව කරනුයි” වදාළ සේක. ඒ ඇසු රන්කරු විල මැදට ගොස්
නෙළුම් කොළයක් දණ්ඩෙන් කඩා ගත්තේ ය. එය කැඩු විගස ම රැස් විහිදුවන මනරම් රන් තලියක්
විය. ඒ තලිය ගෙන හෙතෙම තෙරුන් වෙතට ආහ.
උන්වහන්සේ ඉතිරි ආහාර ඒ භාජනයට දමා “උපාසකය, නුඹගේ පිනෙන් හට ගත් මේ රන් තලියෙන්
පළමුව නුඹ බත් අනුභව කොට පසුව සෝදා එය රැගෙන යනුයි” කී හ.
ඔහුද එසේම කොට නිවසට ගියේය. බිරියට සියල්ල පවසා ඒ රන් තලිය වස්ත්‍රයක ඔතා රැගෙන
ගොස් රජුට වැඳ තලිය දුන්නේ ය. දිලිසෙන ගින්නක් මෙන් රැස් ඇති බොහෝ සුන්දර ඒ වටිනා
රන් තලිය දුටු රජු “මේ මම නුඹට දුන් රන් නොවේ නේද?” නුඹට ද මෙවැනි වටිනා රන් නො
මැත. මෙය කො තැනින් ලද්දේදැයි” විමසී ය. රන්කරු සිදු වූ සියල්ල පැවසූ කල්හි “නුඹ කළ
පිනට එහි විපාක ලෙස මෙය ලැබුනෙකි. මම ද නුඹට භෝග දෙමියි කියා රථයක් ද, ගම් හා
ජනපදයන් ද තෑගි ලෙස ලබා දුන්නේ ය.
එතැන් පටන් ඔහු මහා ධනපතියෙකු විය. ඔහු විසින් මහා විහාර කරවන ලදී. එහි වැඩසිටි
සියලු භික්ෂූන්ට සිව්පසයෙන් උපස්ථාන කළේ ය. තෙ වරක් සියලු සංඝයා වහන්සේට තුන් සිවුර
බැගින් පූජා කළේ ය. මරණින් මතු සුගතියේ උපත ලැබී ය. ගුණවතුන්ට දන් පුජා කිරීමෙන් නො
සිතු විපාක ගෙන දෙන්නේ ය. එය මෙලොව මෙන් ම පරලොව දී ද විපාක ගෙන දේ.
නයනා නිල්මිණි |