Print this Article


මුනි සිරිපා කරුණා කරන සමය යි මේ: අතුරුදන්වන මාණික්‍ය

අතුරුදන්වන මාණික්‍ය

එකල ඉංග්‍රීසි ජාතිකයන් විසින් සබරගමු පළාතේ තේ වතු වගා කරනු ලැබීය. දිනක එක් එවැනි සුදු ජාතිකයෙක් අසු පිට නැග සමනල කඳු පාමුල ගිරි දුර්ග ඔස්සේ විනෝද ගමනක් ගියේ ය.

එසේ යන විට ඔහුට හදිසියේ එක් තැනෙක දී විශාල මැණික් ගොඩක් දකින්නට ලැබුණි. මැණික් ගොඩ ළඟට ගිය ඔහු ආශාවෙන් මැණික් ගොඩ අත ගෑවේ ය. මෙතරම් වූ මැණික් ගොඩකින් එකක් දෙකක් ගෙන යෑමෙන් කුමන අලාභයක් දැයි සිතූ, සුදු ජාතිකයා අසුපිට නැග සමනල අඩවියෙන් පහළ මායිමේ තිබූ ඔහුගේ තේ වත්තේ බංගලාව වෙත පිම්මේ ගියේ ය. එසේ ගිය ඔහු සේවකයන් කිහිප දෙනෙකු සමඟින් ගෝනි කිහිපයක් ද රැගෙන එක පිම්මේ යළි මැණික් ගොඩ වෙත නැවත පැමිණියේ ය. නමුත් ඔහු පෙර දුටු මැණික් ගොඩ එහි නොවී ය.

ගිරිදුර්ග සහිත සමනල මිටියාවත සුදු ජාතිකයාට ඉතා හොඳින් හුරු පුරුදු ය. මැණික් තිබූ තැන ඔහුට හොඳට මතක ය. එසේ වුව ද, මැණික්ගොඩ එහි නොතිබීම නිසා ඇති වූ බලවත් ශෝකයෙන් මෙම සුදු ජාතිකයා ඒ අසල ම වූ ගිරි කුලෙන් පහළට පැන සියදිවි නසාගත්තේ යැයි විශ්වාසයක් පවතී.

එම සුදු ජාතිකයා අසුපිටේ සිටිමින් අසු මෙහෙයවා ගිරි කුලෙන් පහතට පැන්න නිසා එම ගිරිකුල මත ඔහු අසු පිටේ හිඳගෙන සිටින ආකාරයෙන් පිළිරුවක් පිහිටුවා ඇත. එම පිළිරුව අද ද තිබෙන බව පැවසේ.

සමනල අඩවිය පුරා මැණික් දකින්නට ලැබෙන බවත් ඒවා සමන් දෙවියන්ට අයිති මැණික් නිසා එම මැණික් පිළිබඳව තණ්හාවක් ඇති කර නොගත යුතු බවත් කාගේත් විශ්වාසය යි. මෙම සමනල කන්දේ මැණික් ආරක්ෂා කිරීමට වෙනම ම බහිරවයෝ කොටසක් සිටින බව ද විශ්වාසයේ පවතී.

මේ බව සනාථ වූ අවස්ථා අනන්ත ය. දිනක් සමනල අඩවියේ මැණික් ගරන්නට ගිය කිහිප දෙනෙක් මැණික් ගරන්නට පටන් ගත් මොහොතකි. ඊට ඈතින් වෙනත් කාර්යයක නිරතව සිටි සගයකු හදිසියේ ම කෑ ගසාගෙන දිව යන්නට පටන් ගත්තේ පොසිලියෙන් එන බව කියමිනි. කලබලයට පත් වූ අනික් පිරිස ද දුටුවේ පොලිසිය කඩා පනින බවකි. මෙම දසුනින් බියට පත් සියලු දෙනා ම බලා ගියහ. මෙම සිදුවීමෙන් අනතුරුව වතු අධිකාරීවරයෙක් මේ පිළිබඳව සොයා බලන කල දැනගන්නට ලැබී ඇත්තේ පොලිසියෙන් පැමිණීමක් සිදු නොවූ බවය. විශ්වාස කෙරෙන්නේ මේ මැණික් ආරක්ෂා කරන බහිරවයන්ගේ ක්‍රියාවක් ලෙසට යි.

තවත් වරෙක සමනල අඩවියේ ගල් ගුහාවක් වෙත කට්ටඩි මහතෙක් සමඟ කිහිප දෙනෙකු ගියේ නිධානයක් සම්බන්ධයෙන් කරුණු සොයන්නට ය. කට්ටඩි මහතාගේ මැතිරීමෙන් පසු එම ගල් ගුහාවේ දොරටු හතක් විවෘත විය. කට්ටඩි මහතා දක්ෂයකු බැවින් සියලු දෙනා ම බියෙන් සැකයෙන් තොරව ගල් ගුහාව තුළට ගියහ. දොරටු හතෙන් ම ඇතුළට ගිය පසු එහි මැද කොටසේ කුඩා පොකුණක් විය. පොකුණ අයිනේ ඉතාමත් මිටි කාලවර්ණ පුරුෂයෙකු හිඳගෙන සිටියේ ය. මොහු බහිරවයෙකු බව කට්ටඩි මහතා දැනගත්තේ ය. මේ පිරිස දුටු බහිරවයා ගුහාවෙන් පිටතට දිව යන්නට විය.

එම මොහොතේ ක්ෂණික තීරණයක් ගත් කට්ටඩි මහතා ද තමා සමඟ සිටි පිරිස සමඟ බහිරවයා සමඟින් ම ගල්ගුහාවෙන් එළියට දිවයන්නට විය. බහිරවයා ගල්ගුහාවෙන් එළියට යනවාත් සමඟ ම ගල්ගුහාවේ දොරටු සතම වැසී ගියේ ය.