කායික මානසික සුවයට ඔසුවක්
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
මිනිස් සිරුරේ ධාතූන් වෙනස් වූ විට එනම්, තේජෝ ධාතුව වැඩි වූ විට උණ හට ගනියි. ආපෝ
ධාතුව වැඩි නම්, සැරව ගලනවා. සෙම්ප්‍රතිශ්‍යාව, තුවාලයක් හැදුණොත් වේලෙන්නේ නැහැ.
පඨවි ධාතුව වැඩි වුණොත් ශරීරය ගණ වෙනවා. වායෝ ධාතුව වැඩි වුණොත් සිරුර ඉදිමෙනවා. මේ
සතර එහෙ මෙහෙ වූ විට කවුරුත් රෝගී වෙනවා. බුදුන් වහන්සේ වදාළේ, මේ ධාතු සම මට්ටමකට
තබා ගත යුතු බව යි. යමෙක් ඖෂධ භාවිත කරන්නේ ධාතූන් සම මට්ටමට ගැනීමට යි.
පෙර ලිපි මඟින් කායගතාසතිය සමඟ ධාතු මනසිකාරය පහදා දුන්නා. එය කොටස් විසි දෙකකින්
මෙනෙහි කළා. (මේ කයෙහි කේශයෝ වර්ණයෙන් පිළිකුල් ය... යනුවෙන්) එසේනම්, කායගතාසතියේ
කොටස් තිස්දෙකම ධාතු මනසිකාරයට යොදා ගත යුතු යි. පඨවි ධාතුවට කේශාදී කොටස් විස්සක්
තිබෙයි. ආපෝ ධාතුවට පිත, සෙම, සැරව ආදී කොටස් දොළහකි. තේජෝ ධාතුවට කොටස් සතරක් ද,
වායෝ ධාතුවට කොටස් හයක් ද වෙයි. එවිට සියල්ල හතළිස් දෙක යි. මේ හතළිස් දෙක ම ධාතු
මනසිකාරයට ගත යුතුයි.
මේ කොටස් හතළිස් දෙක ඉහත මතකයට නගා, කොටස් විසි දෙකට අන්තර්ගත කර, හොඳින් මෙනෙහි
කරන්න. එවිට ධාතු මනසිකාරය හොඳට දියුණු කරන්න පුළුවනි. ගැඹුරට යන්න අපහසු නම් මේ
කයෙහි කේශයෝ පඨවි ධාතුව ය. ආපෝ ධාතුවය, තේජෝ ධාතුව ය, වායෝ ධාතුව ය යනුවෙන් මෙනෙහි
කරන්න. කේශා කොටසෙහි පඨවි, ආපෝ, තේජො, වායෝ ධාතු කොටස් සතරම වෙයි. කෙස් තද ගතිය
නිසා පඨවි ධාතුව පමණක් බව සිතන්න. මේ ධාතු සතරම නැත්නම් කෙස් ගසක් පවතින්නේ නැහැ.
තවත් උදාහරණයක් සඳහන් කළොත්, මැටි ටිකක් ඇණීමේ දී ජලය වැඩි වුණොත් එය භාවිතයට ගන්න
අපහසු යි. සිමෙන්ති ටිකට ජලය වැඩි වුණොත් එය සම මට්ටමට ගැනීමට නැවත වැලි යෙදිය යුතු
යි. එලෙසම ශරීරයෙත් ධාතු කොටස් සම මට්ටමට ගත යුතු යි. වැලි කැටය එලෙස පවතින්නේ ධාතු
සතරම සම නිස යි. ගඩොල් කැටය පිළිස්සී වේලී ගඩොල් කැටයක් ලෙස පවතින්නේ ධාතු සතර සමව
පවතින නිස යි.
තේජෝ ධාතුව ගැන සඳහන් කිරීමේ දී එය උෂ්ණ ස්වභාවයෙන් සමන්විත යි. එනම් උණුසුම් ගතිය
යි. කන බොන දේ කරණ කොට ගෙන දිරවීම, පැසවීම, ආදී අවස්ථාවල දී උපයෝගී වන සිරුරේ උෂ්ණ
ගතිය තේජෝ ධාතුව යි. තේජෝ ධාතුව යමක් කරණ කොටගෙන තැවෙනවා ද? එය ‘සන්තප්පති’ තේජෝ
ධාතුව යි. යමක් කරණ කොටගෙන දිරවනවා ද? එය ‘ජිරීයතී’ තේජෝ ධාතුව යි. යමක් කරණ කොට
ගෙන දැවෙනවාද? එය ‘පරිදයිහිති’ තේජෝ ධාතුව යි. යමක් කරණ කොටගෙන කන බොන දේ සියල්ලක්
ම පැසවනවා ද? එය ‘තේජෝ’ ධාතුව යි. ‘අසිත පීත කායිත්ථ සාහිත සම්මා පරිණාමං ගච්ඡති’
තේජෝ ධාතුවේ ක්‍රමය යි. එනම් තේජෝ ධාතු කර්මස්ථානය හේතුකොටගෙන තමන්ගේ සිරුරේ තිබෙන
උෂ්ණයෙන් දැවෙන තැවෙන බව දිරවන බව මෙහි ලක්ෂණ යි. ඒවා හොඳට වටහා ගෙන ඉදිරියට මෙනෙහි
කරන්න. එවිට තේජෝ ධාතුව පිළිබඳ තමන්ට මනාකොට වැටහීමක් වෙයි.
තම සිරුරේ උණ, දහදිය හට ගැනීම තේජෝ ධාතුවේ ලක්ෂණය යි. සෑම කොටසක ම තේජෝ ධාතුව අඩංගු
වෙයි. එවිට ඒ කරුණු සර්ව සම්පූර්ණව ම ගෙන යා හැකි යි. ශරීරයේ දැවෙන ගතිය ඇති උෂ්ණය,
තේජෝ ධාතුව යනුවෙන් ප්‍රකාශ කරයි. එය සිරුරෙහි වෙනම කොටසක් ලෙස සලකයි. නමුත්
චේතනාවක් නැහැ. එය අචේතනික වූ, හිස්වූ දෙයක්. ඒ නිසා තැවෙන බව, දිරවන බව, දැවෙන බව,
පැසෙන බව එනම්, තැවෙන තේජෝ ධාතුව, දිරවන තේජෝ ධාතුව, දැවෙන තේජෝ ධාතුව, පැසෙන තේජෝ
ධාතුව වෙයි. මේ කොටස් සතර තේජෝ ධාතුව යනුවෙන් ව්‍යවහාර කරයි. මෙය තමන්ගේ සිරුරෙහි
තිබෙන බව හොඳට වටහා ගෙන මෙනෙහි කරන්න.
ආහාර අනුභව කළ විට සියල්ල දිරවාගෙන යයි. ඒ කර්තව්‍යයට සිරුරේ උෂ්ණත්වය අවශ්‍ය වෙයි.
තම සිරුරේ දිරවීමේ ලක්ෂණය හොඳින් පිහිටා තිබෙයි. තේජෝ ගතිය අධික නම්, උණ ගතිය හොඳටම
වැඩි වෙයි. එවිට සිරුර සිසිල් කරවා ඖෂධ ලබා ගත යුතු යි. මෙලෙස සිරුර සම මට්ටමට ගෙන
යා යුතු යි.
මෙසේ පැහැදිලි කරන්නේ තමන්ගේ සිරුරේ ඇති දෙයක් ම බව සිතන්න. චතු සමුට්ඨානික වන
කර්ම, චිත්ත, ඍතු , ආහාර, යනු ධාතූන් හටගන්නා ක්‍රමය යි. එසේනම්, තේජෝ ධාතුව
පිළිබඳව ගැඹුරු නුවණකින් මෙනෙහි කරන්න.
වැලි කැටයේ සිට සෑම දෙයක ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු කොටස් සතරට අන්තර්ගත යි. එය
එකිනෙකට සම්බන්ධ වෙයි. එය උස් පහත් වුණොත් සත්ත්වයාගේ ලෙඩ වීම ඇති වෙයි. සම මට්ටමේ
තිබුණොත් කිසිවක් වන්නේ නැහැ. මේ ගැන හොඳ දැනීමක් ඇති කර ගන්න. සියලු ම දේ හට ගන්නේ
කම්ම සමුට්ඨානං, චිත්ත සමුට්ඨානං, ඍතු සමුට්ඨානං, ආහාර සමුට්ඨානං කොටස් වලිනි.
මෙලෙස ධාතූන් ගැනම මෙනෙහි කිරීම ලොකු ශක්තියක්.
තැවෙන බව අනිත්‍යය යි, දුක්ඛයි , අනාත්ම යි, යනුවෙන් මෙනෙහි කරන්න. දිරන බව
අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. දැවෙන බව අනිත්‍යය යි,
දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. පැසෙන බව අනිත්‍ය , දුක්ඛ, අනාත්ම බව
මෙනෙහි කරන්න. තේජෝ ධාතුවේ ලක්ෂණය උෂ්ණය සහ සිසිලස බව හොඳට වටහා ගෙන, අනිත්‍ය දුක්ඛ
අනාත්ම වශයෙන් මෙනෙහි කර ගැනීම කායික මානසික සුවතාවයට හොඳම ඔසුවක්.
තමන්ට වැටහෙන යම් පමණකින් ද සතිපට්ඨාන භාවනාවට අනුකූල ව හොඳින් දියුණු කළ යුතු යි.
මෙලෙස සිතම දියුණු කළොත් මිනිසා හැදෙනවා. ‘මිනිසා නොහදා ගම හදා ගත නොහැකි යි’
යනුවෙන් කියමනක් ද තිබෙයි. එසේනම්, තමන් මුලින් ම හැදී ගම සාදා රටත් හදන්න. ඒ සඳහා
බුදුන් වහන්සේ පෙන්වා වදාළ භාවනා ක්‍රම මෙනෙහි කරන්න.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |