වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන
නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 24:
සිත නැති කය
දිරාගිය දර
කැබැල්ලක් බඳු ය
ත්‍රිපිටකාචාර්ය,
අභිධර්ම විශාරද
දිගන සුගතවංශ හිමි
තථාගතයන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයෙහි, සතිපට්ඨාන දේශනාවන්හි දුක කියන්නේ
කුමක් දැයි පැහැදිලි කරනවා. මොකක් ද මේ දුක. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ
දුක ඊළඟට ප්‍රිය පුද්ගලයන්ගෙන් ඈත්වීමේ දුක, අප්‍රිය පුද්ගලයන් හා එකතුවීමේ දුක,
කැමති දේ නොලැබීමේ දුක. පංචස්කන්ධ දුක. ඔය එක පැත්තකින් දුක තෝරපු අවස්ථාව.
ජාති කියන්නේ මොකක් ද?
ඉපදීම. එනම් හට ගැනීම, දරුවෙක් විදිහට මව්කුසේ කෙනෙක් උපදිනවා ද, මව්කුසෙන්
බිහිවෙනවා ද? අංග විකල මන්ද බුද්ධික නැතුව ඇස් කන් ආදී ඇතුව උප්පත්තිය ලබනවා නම්
සර්ව සම්පූර්ණ පංචස්කන්ධයක උපදිනවා නම් අපි කියනවා ජාතියක් ලැබුවා, උප්පත්තියක්
ලැබුවා, ඔය වාගේ ම තිරිසන් ගත සත්වයෙක් වුණත් මව්කුසක උපදින්න පුළුවන්. එය ජාතිය.
ඉපදීම දුකක් වෙන්නේ කොහොම ද? අර එකට ගුලිවෙලා, එක සිරකූඩුවක හිරකරලා තියෙන්නා සේ
මව් කුසේ එකට හිරවෙලා ගුලිවෙලා ඉන්නවිට පුදුමාකාර දුකක්. නමුත් ඉපදෙන අපට එය
තේරෙන්නේ නෑ. අප ළඟ අවිද්‍යාව මෝහය වැඩියි. නමුත් මේ දරුවෝ උපද්දවන්ට යන මව්තුමියට
මොන තරම් දුකක් ද? ගබ්භ පරිහරණ දුක, ඒ වාගේ ම දරාගැනීමේ දුක, බිහිකරන දුක, ඔය
විදිහට මව්තුමියට ඇතිවනවා දුක. එතකොට ජාති දුක කියන්නේ කෙනෙකුගේ උප්පත්තිය.
ඊළඟට ජරාව කියා කියන්නේ මොකක් ද? ජරාව කියා කියන්නේ දිරාපත්වීම. නැතිනම් වයසට යාම
කියා කියන්න පුළුවන් වයසට යෑම කියන්නේ ජරාවට පත්වීම. කැඩි කැඩී බිඳි බිඳී යෑම, හම
කෙස් පැලීම, හම රැලි වැටීම, ආයුෂ ගෙවි ගෙවී යෑම ආදිය යි. කුඩා කාලයේ දුවන පනින අපේ
ශරීරය. තරුණ වියේ දී ටිකක් අමාරුයි. අත පය රිදෙන්නට පටන් ගන්නවා. පපුව රිදෙන්න
ගන්නවා. බරක් උස්සන්න බැහැ. ගමනක් යන්න බැහැ. කන්දක් නඟින්න බැහැ. මහන්සියි. දාඩිය
දානවා. බරක් උස්සගෙන යන්න බැහැ හති දානවා. අබල දුබලයි. ඉන් අනතුරුව තව ටික දිනක් යන
විට අත උස්සන්ට බැහැ. කකුල උස්සන්නට බැහැ. එක තැනක වාඩිවෙන්න බැහැ. එහේට ඇඹරේ.
මෙහේට ඇඹරෙනවා. ටික ටික කැඩි කැඩී බිඳි බිඳී යනවා. එයයි ජරාව.
අවසානයේ සමහර වේලාවට කුඩා දරුවෙක් වගේ එක්තැන් වෙනවා. ඇඳේ වකුටු වෙනවා. තව
කෙනෙකුගේ උදව්වක් උපකාරයක් ඇතිව තමයි හැමදේම සිද්ධ වෙන්නේ. අපේ ජීවිත පවත්වාගෙන
යන්න.
ව්‍යාධිය යනු කුමක් ද? ලෙඩ, ව්‍යාධි ඇතිවෙන ක්‍රම කීපයක් තියෙනවා. ගිරිමානන්ද
සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා, ක්‍රම අටකින් අප ලෙඩ වෙන්න පුළුවන් කියා.
එනම් වාතය කිපීම නිසා අප ලෙඩ වෙනවා. පිත කිපීමෙන් අපි ලෙඩ වෙනවා. වමනය යනවා. ඒ වගේ
ම ඔළුවේ කැක්කුම හැදෙනවා. සෙම් කෝප ඇතිවීමෙන් ලෙඩ වෙනවා. සන්නිපාතිකා ආබාධා කියා
කියන්නේ මේ තුන් දොස්මයි. වාත, පිත, සෙම යන මේ තුනම මිශ්‍ර ව කිපිලා අප ලෙඩ කරනවා.
උතුපරිනාමජා ආබාධා - ඍතු විපර්යාසයෙන් සීතල වැඩිවන විට, වැස්ස වැඩිවෙන විට, උෂ්ණ
වැඩිවෙන විට අප ලෙඩ වෙනවා. විසමපරිහාරජා ආබාධා - වස විස සහිත ආහාර ගැනීමෙන් අප ලෙඩ
වෙනවා. ඔපක්කමිකා ආබාධා - අපේ නොසැලකිලිමත් කමෙන් රිය අනතුරට පත් වෙනවා. එක එක
කරදරවලට භාජනය වෙනවා. කම්ම විපාකජා ආබාධා- පෙර සංසාරේ කරගත්ත අකුසල කර්මයන්ගේ විපාක
වශයෙන් බරපතල ලෙඩ හැදෙනවා. පිළිකා රෝග, බගන්දරා වැනි රෝග කර්ම විපාක රෝගයි. මේ
ආකාරයෙන් කෙනෙක් ලෙඩ වන ක්‍රම අටක් තියෙනවා. එවිට ව්‍යාධි කියා කියන්නේ ලෙඩවීම,
මේකත් අපට දුකක්.
මරණය යනු කුමක් ද? මරණය කියා කියන්නේ චුත වෙනවා. ඒ කියන්නේ දැන් මේ ජීවිතයෙන් චුත
වෙනවා නම් ඉවත් වෙනවා නම් අප කියන්නේ මරණය කියා යි. චවනතා - යනු පහවෙලා යනවා කියන
අදහසයි. මේ ජීවිතෙන් ඉවත් වෙලා යනවා නම් අප කියන්නේ මරණය කියා යි. ඛන්ධානං භෙදෝ -
මේ අපේ ශරීර කූඩුව බිඳිලා යනවා නම් කියන්නේ මරණය කියා යි. අන්තරධානං - මේ ශරීර
කූඩුව මෙතනින් අතුරුදහන් වෙනවා නම් කියන්නේ මරණය කියා යි. මච්චුමරණං - මරණයට
පත්වෙනවා නම් අප කියන්නේ මරණය කියා යි. කළුරිය කරනවා, එනම් කාලය ගෙවීමෙන් වන මරණය
කාලකිරියා කියා යි. කලේබරස්ස නික්ඛේපෝ - මේ පණ තියෙන ශරීරය මෘත ශරීරයක් බවට පත්
වෙනවා. එතකොට කියන්නේ මරණය කියා යි. ජිවිතින්ද්‍රියස්ස උපච්ඡේදො -මේ කියන ජීවිත
ඉන්ද්‍රිය සම්පූර්ණයෙන් ම නැතිවෙලා යනවා. කැඩිලා බිඳිලා නැතිවෙලා විනාශ වෙලා යනවා.
ඒ මරණය යි. එතකොට එහෙනම් මේ මරණය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරද්දී පැහැදිලි කරන
අවස්ථා ගොඩක් තියෙනවා.
‘අචිරං වතයං කායෝ - මේ කය ඒකාන්තයෙන් ම නොබෝ දවසක් යන්න කලින් ‘පඨවිං අධිසෙස්සති’ -
පොළොවට ඇද හැලෙනවා. හරියට කොහොම ද? දිරාගිය දර කැබැල්ලක් පොළොවට ඇද හැලෙන්නා සේ මේ
ශරීරයෙන් සිත වෙන්වෙලා යන්නේ කවදා ද එදාට අපේ ශරීරය මහ පොළොවට ඇද වැටෙනවා. දිරා යන
දර කැබැල්ලෙන් කාටත් ප්‍රයෝජනයක් තියෙනවා ද? ලිපේ දාන්න පුළුවන් ද? ගිනි මොලවන්න
පුළුවන් ද? බෑ දිරා ගිහින් අපේ මේ ජීවිතයත් මේ පණ ටික ඉවර වුණාම කිසිම ප්‍රයෝජනයක්
නැහැ. වල දානවා හැර. සමහරක් වෙලාවට මිහිදන් කළේ නැත්නම් සතෙකුට අහාරයක් වෙන්න
පුළුවන්. එහෙනම් මරණය කියන්නේ මහ දුකක්.
මරණය තවදුරටත් විස්තර කළ විට, ඛණික මරණ, සම්මුති මරණ කියා දෙකක් තියෙනවා. ඛණික මරණ
– කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා අප මැරෙනවා. ඒක පිළිගන්නවා ද? මොහොතක් මොහොතක් පාසා
අප මැරෙනවා. දැන් බලන්න කුසල් සිත පහළ වෙනවා. ඇතිවෙලා නැතිවෙලා යනවා. මරණයට
පත්වුණා. වේදනාවක් ඇතිවෙනවා. පවතිනවා. නැතිවෙලා යනවා. දුකක් ඇතිවෙනවා. පවතිනවා.
නැතිවෙලා යනවා. ශෝකයක් හටගන්නවා පවතිනවා නැතිවෙලා යනවා. මෙලෙස ක්ෂණයක් පාසා මරණයට
පත් වෙනවා. මොහොතක් මොහොතක් පාසා මැරෙනවා.
නමුත් අපට මේක පෙනෙන් නැහැ. ඉන්පසු මොකද වෙන්නේ සම්මුති මරණ කියනා විට තමයි ආයුක්ඛය
මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, උපච්ඡේදක මරණය කියා කියන්නේ. ආයුෂ ගෙවීමෙන්
මරණයට පත්වෙනවා. කර්මය ගෙවීමෙන් මරණයට පත්වෙනවා. මේ ආයුෂයයි, කර්මයයි දෙකම ගෙවීමෙන්
මරණයට පත්වෙනවා. උපච්ඡේදක මරණය කියා කියන්නේ, යම් කිසි අනතුරකට පත්වෙලා ඒ අතරතුර දී
ජීවිතය නැතිවෙලා යනවා. |