Print this Article


පූජාච පූජනියනං

 

 

ජුලම්පිටියේ ශ්‍රී ඤාණරතන නා හිමි

අපවත්වීවදාළ භාරත දේශයේ මල්වතු විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක දඹදිව සංකස්සපුර දේවාවරෝහණ මෛත්‍රී බුද්ධ විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සමාගමේ සභාපති ආචාර්ය රාජකීය පණ්ඩිත ජුලම්පිටියේ ශ්‍රී ඤාණරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීම නිමිත්තෙනි.

දකුණු සිරිලක ගිරුවා ගම් දොළොස්දහස් රට මුල්ගිරිගල උඩජුලම්පිටියේ පදිංචිව සිට අභාවයටපත්, ඩී.ජේ. රාජපක්ෂ දම්පතීන්ට දාව 1946 ජූනි 21 වෙනි දින ජන්ම ලාභය ලබා උලහිටියාව පාසලෙන් අධ්‍යාපනය ලබා පසළොස් වෙනි විය ඉක්මවීමත් සමඟ කිරින්ද පුහුල්වැල්ල පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානයට පැමිණ පිළිවෙත් සපුරා, කටුකුරුන්දේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා රාජකීය පණ්ඩිත අපරැක්කේ දේවානන්ද, ගැටමාන්නේ ශ්‍රී පියරතන යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් 1962 දී පැවිදි විය. මූලික භික්ෂු අධ්‍යාපනය පූර්වාරාම පිරුවනින් ලබා 1967 දී මල්වතු මහා විහාරයේ දී උපසම්පදා වූහ.

අනතුරුව මාලිගාකන්ද විදුදය පිරිවෙනින් අධ්‍යාපනය ලබා 1973 දී සාමරාජ ත්‍යාගය ද උන්වහන්සේට හිමි විය.

පූර්වාරාම පිරුවනට වැඩම කොට එහි උප ප්‍රධානාචාර්යවරයාව කටයුතු කරමින් පිරුවෙනෙහි දියුණුවට ඉමහත් සේවයක් සිදු කළ අතර පසුව 1976 දී පැපිළියාන සුනේත්‍රාදේවි පිරිවෙනින් අධ්‍යාපනය හදාරා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගත්හ. පසුව ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව, ශාස්ත්‍රපති උපාධියත්, බරණැස සංස්කෘත විශ්වවිද්‍යාලයෙන් දෙවන ශාස්ත්‍රපති උපාධියත්, ලක්නව් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් ලබා ගත්හ. 1984 වර්ෂයේ සිට කැලණි විශ්වවිද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස ද වසර ගණනක් සේවය කළහ. පසුව 1992 දී එංගලන්තයට වැඩම කොට බර්මින් හැම් අස්වම්, විහාරස්ථානයෙහි ආරම්භක විහාරාධිපතීන් වහන්සේ ලෙස විශාල මෙහෙවරක් සිදු කළහ.

භාරත බුද්ධශාසනයට පුනර්ජීවයක් ලබාදීම සඳහා සකලාංග සම්පූර්ණ විහාරස්ථානයක් දේවාවරෝහණ මෛත්‍රී බුද්ධවිහාරය, නමින් විහාරස්ථානයක් බෞද්ධ ලෝකයාට නිර්මාණය කළහ. උන්වහන්සේගෙන් සිදු වූ සේවාවට ගරු කිරීමක් ලෙස මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක සංඝ සභාව වෙතින් ධර්ම කීර්ති ශ්‍රී ධර්ම විභූෂණ ගෞරව නාමෝපාධිය සහිතව භාරත දේශයේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් ද සම්මානිත කළහ.

උන්වහන්සේගේ සභාපතිත්වයෙන් පවතින ආනන්ද බෝධී සමාගමේ ඉදිරි පැවැත්ම සඳහා කටයුතු නොපිරිහෙලා සිදු කළහ. 2018 මාර්තු 28 අපවත් වී වදාළ උන්වහන්සේට උතුම් නිවන් සැපතම ලැබේවා.


හීනටිගල පියනන්ද නා හිමි

අමරපුර සිරි සද්ධම්මවංස ධීරානන්ද සංඝ සභාවේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ හීනටිගල පියනන්ද නා හිමිපාණන් වහන්සේ අපවත්වන තුරුම අපිරිමිත ආගමික, සාමාජික, ජාතික මෙහෙවරක් ඉටු කළ යතිවරයන් වහන්සේ නමකි.

උන්වහන්සේ වයස අවුරුදු 15 දී පැවිදි දිවියට පත්වූයේ ගාලු කඩවත්සතර හා තල්පෙ පත්තුවේ ද්විතීය සංඝ නායක ඇත්තිලිගොඩ ජිනානන්ද නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා ගාලු පළාතේ ප්‍රධාන සංඝ නායක කලේගානේ පඤ්ඤාලෝක නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙනි.

මූලික වත් පිළිවෙත් තම ගුරු දේවයන් වහන්සේ යටතේ ප්‍රගුණ කරමින් රාජකීය පණ්ඩිත ගාල්ලේ සුමංගල නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1959 ජුනි මස 13 වන දින උපසම්පදා විය.

ගිහි කල කේ.ඒ. පියදාස නමින් හැඳින්වුණු උන්වහන්සේ ගා/කහඳ මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර පැවිදිවීමෙන් අනතුරුව ගාල්ල ගල්වඩුගොඩ ශී‍්‍ර විද්‍යාරාජ මහ පිරිවෙනින් මූළික අධ්‍යාපනය ලබා දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලැබූහ.අනතුරුව කැලණිය විශ්ව විද්‍යාලයෙන් 1964 ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත් හ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු අධ්‍යාපන සේවය කෙරෙහි නැඹුරු වූ උන්වහන්සේ කලක් ගාල්ල ශ්‍රී විද්‍යාරාජ මහ පිරිවෙනේත් බෝපේ ශ්‍රී පියරතන පිරිවෙනෙත්, බෝපේ ශ්‍රී පඤ්ඤාලෝක යෝජිත පිරිවෙනෙත් ආචාර්යවරයෙකු වශයෙන් ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන ගිය අතර පාසල් ගුරුවරයෙකු වශයෙන් 1976 දී පත්වීමක් ලැබුණි. ඒ ප්‍රථම පාසල් පත්වීම මොනරාගල දිස්ත්‍රික්කයේ හොරබොක්ක මහා විද්‍යාලයේ උපගුරුවරයෙකු වශයෙන් වැඩභාරගන්නට සිදු විය. ගමෙහි දු දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීම සඳහා මො /හොරබොක්ක ගම ඔවාගිරි දහම් පාසල ඇරඹූහ.

ගා/ඇත්තිලිගොඩ ශී‍්‍ර සුදර්ශි විද්‍යාලයේ 1995 වර්ෂයේ විශ්‍රාම යන තුරුම එහි නියෝජ්‍ය විදුහල්පතිවරයා වශයෙන් සේවය කළහ.

තම විහාරස්ථානය හා ගාලු ප්‍රදේශය වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිත කාලය කැප කරමින් කරන ලද මෙහෙවර අනල්ප ය. ස්ව ගුරුදේවයන් වහන්සේ වැඩ සිටින සමයේ දී ම ශී‍්‍ර ජිනේන්ද්‍රාරාම දහම් පාසල 1967 දී ආරම්භ කළ අතර උන් වහන්සේ අපවත් වන විට එහි ස්වර්ණ ජයන්තිය සමරමින් ක්‍රියා කළහ. විහාරස්ථානයේ අංගෝපාංග සියල්ලක්ම නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉදිවුණි.

ආගමික හා සමාජ සේවා ද සිදුකරමින් විදුලකර සරසවිය සංවිධානය කළ ‘කනකොලුවග ධර්ම ප්‍රචාරයට එක්වීම 1984 මැයි මස සිටම තම අපවත් වී වදාළ ගුරුදේවයන් වහන්සේ අනුස්මරණය කරමින් වාර්ෂික පින්කම් මාලා සංවිධානය කිරීම, ශී‍්‍ර ජිනානන්ද පුස්තකාලයට අනුබද්ධව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව කියවීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම, 1996 දී ඇත්තිලිගොඩ ශ්‍රී ජිනානන්ද නාහිමි අනුස්මරණ මහජන පුස්තකාලය ආරම්භ කිරීම ද විශේෂිත සේවා සේ දැක්විය හැකිය.

ගාල්ල කඩවත් සතර හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරින් වහන්සේ වශයෙන් වසර 17 ක් පමණ අපිරිමිත මෙහෙවරක යෙදුන මාතර දිස්ත්‍රික් දහම් පාසල් ගුරු උපදේශක වරයෙකු වශයෙන් ද කලක් සේවය කළ හ. අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ ගාල්ල ප්‍රාදේශීය සංඝ සභාවේ ලේකම්වරයා වශයෙන් තේරී පත්වීම,ගාල්ල කඩවත් සතර හා තල්පෙ පත්තුවේ අධිකරණ සංඝ නායක පදවිය ලැබීම, සමස්ත ලංකා දහම් පාසල් සියවස් සමරු උළෙලේදී “විජය ශී‍්‍ර ධර්මාභිලාෂී” ගරු නාමයෙන් පිදීම, සිරි සද්ධම්මවංසාලංකාර”ගරුනාමය සිරිසද්ධම්මවංස නිකායෙන් ප්‍රදානය කිරීම, ශී‍්‍ර සද්ධර්ම විභූෂිත ලෝකාර්ථචරිය ශාසන සෝභන” යන ගරු නාමයෙන් ශාසනාරක්ෂක මණ්ඩලය උපහාර දැක්වීමද සිදුකර ඇත.

2018.මාර්තු 02 දින අපවත් වී වදාළ උන්වහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා !

අමරපුර සිරි සද්ධම්මයුක්තික මුම්මවංසාභිධජ මහා නිකායේ මහා නායක දර්ශනපති


ගෝනවල අස්සජී නා හිමි

බරණිවල අරුණ ශාන්ත කුමාර දරුවා 1967 පෙබරවාරි මස 10 වෙනි දා බරණිවල ලියනගේ ධනපාල මහතා සහ ලොකු කොඩිකාරගේ සෝමාවතී දම්පතීන්ගේ පුත්‍රයෙකු ලෙස උපත ලැබීය.

කැලණි මහා විද්‍යාලයෙන් හා සපුගස්කන්ද මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ගත්තේ ය. සිය පාසල් කාලය තුළ කුඩා කල සිට බොල්ලෑගල ශ්‍රී විජයාරාමය, බොල්ලෑගල ශ්‍රී සිරිනන්ද විහාරය සහ කල්‍යාණි රජමහා විහාරය ඇසුරු කරගෙන හැදුණු වැඩුණු මේ දරුවා සාමාන්‍ය පෙළ පන්තියේ සිට විවේක ලද සියලුම කාලයන්හි දී කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට ගොස් දින ගණන් නේවාසිකව බණ භාවනා කළේ සසර පුරුද්දකට මෙන් ය.

1987 ඔක්තෝබර් මස 20 වෙනි දින රත්නපුර ලෙල්ලොපිටිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පැවිදි බව ලබා ගන්නා විට උන්වහන්සේ විසිවන වියෙහි පසුවිය. එකී භාවනා මධ්‍යානස්ථ ශ්‍රී සුමතිපාල ගුණානුස්මරණ බද්ධ සීමා මාලකයේ දී 1988 නොවැම්බර් මස 03 වෙනි දින උපසම්පදාව ලබා ගත්තේ ය.

ශ්‍රී ලංකා ස්වේජින් මහා නිකායෙහි වත්මන් මහානායක අග්ගමහා කම්මට්ඨානාචාර්ය සද්ධර්ම ඡ්‍යොතිකධජ ඉඟුරුවත්තේ ශ්‍රී පියනන්දාභිධාන මහා නා හිමිපාණන් සහ කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව කටයුතු කළ ගම්පහ ප්‍රේමසිරි නා හිමියන් පැවිදි ගුරුවරුන් වූහ. උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විද්‍යෝදය පරිවේණස්ථ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ පදනමෙන් විනයාචාර්ය උපාධියත් ලබා ඇත.

ගණේමුල්ල, කටුවාලමුල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතීන් වහන්සේ ලෙස ද, රත්නපුර ලෙල්ලොපිටිය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිකාරීන් වහන්සේ ලෙස ද, කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශකයන් වහන්සේ නමක් ලෙස ද, ශ්‍රී ලංකා ස්වේජින් මහා නිකායේ කාරක සංඝ සභිකයෙකු ලෙස ද වසර ගණනාවක් එම නිකායෙහි කර්මවාගාචාර්ය වහන්සේ නමක් ලෙස ද කරනු ලබන ශාසනික මහා සේවය අගය කළ යුතු ය.

ගෝනවල අස්සජී නායක හිමිපාණන් වහන්සේ ජාතික සාරධර්ම ප්‍රවර්ධන සහ සංරක්ෂණ මහා සභාවේ උපදේශකවරයාණන් වහන්සේ නමක් ලෙස ද ජාතික සම්මාන සහ සම්මාන නාම ධාරීන්ගේ සංගමයෙහි ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.

විදේශීය ධර්මදූතයාණන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ සිදු කළ සේවාව ඉමහත් ය. ඕස්ට්‍රේලියාව, තායිලන්තය, මැලේසියාව, සිංගප්පුරුව, ඉන්දියාව, ආදී රටවල් ගණනාවක උන්වහන්සේ සිය ධර්ම ප්‍රචාරණ සේවාව සිදුකොට ඇත.

ගෝනවල අස්සජී හිමිපාණන්ගේ ශාසනික, ආගමික සහ ජාතික සේවාව පිළිබඳ සතුටට පත් ශ්‍රී ලංකා ස්වේජින් මහා නිකායේ මහා නා හිමිපාණන් ඇතුළු කාරක මහා සංඝ සභාව උන්වහන්සේ වෙත සිරි සුමතිපාල වංශාලංකාර ශාසන ශෝභන යන ගෞරව නාම සම්මුතිය සහිතව සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත.

ඒ අනුව උන්වහන්සේ පිළිගැනීම සහ උන්වහන්සේ වෙත එම පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම 2018 මාර්තු 25 වෙනි දින ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාසාභිධාන මහා නා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ගණේමුල්ල, කටුවාලමුල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.