Print this Article


ගී බණ පද- 3: මුනි සිරිපා පහසින් පූජනීය වූ සමනල ගිරි හිස

ගී බණ පද- 3:

මුනි සිරිපා පහසින් පූජනීය වූ සමනල ගිරි හිස

යං නම්මදාය නදියා පුලිනේච තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ සුමනාචලග්ගේ
යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි

 

සිරිපාදේ සමනොළ කන්ද පෙනේ
ආලෝකය සමන් පුරේ
සඳපානේ මහ වන දිහා බලා
සුදු රිදී කඳන් හමුෙවි//

අර මහ මළුෙවි සිරිපාද පියුම් වැඳ
සාධු කියා එනවා//

නාදේ ඇසෙන්නේ ඒ ගන්ඨාරේ
මේ උතුම් පොහොදා
කරුණාවයි දෙවිඳේ
ශ්‍රී සමන් සුරිදේ//

නාදේ ඇසෙන්නේ ඒ ගන්ඨාරේ
මේ උතුම් පොහොදා
මේ උතුම් පොහොදා
සිරිපාදේ සමනොළ කන්ද පෙනේ...

සිරිපාදේ සමනොළ කන්ද පෙනේ//
ගායනය - වින්සන් ද පෝල් පීරිස්

රචනය - සරත්චන්ද්‍ර ආටිගල

අහස සිඹින තරම් උසැති සමනොළ ගිරි ශිඛරය ධවල වර්ණ මී දුමෙන් ද, තවත් වරෙක වලාකුළු පොකුරුවලින් ද, වැසී යයි. ඒ සුන්දරත්වය පරයමින් මේ අසිරිමත් අඩවිය පුදබිමක් බවට පත්ව ආකර්ෂණයට පාත්‍ර වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහසින් ය. තිලෝගුරු සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ මහියංගණයට වැඩම කළ පළමු ලංකා ගමනේ දී ප්‍රාදේශීය පාලකයෙක් වූ සුමන දෙවි රජ සද්ධර්මය ශ්‍රවණය කර සෝවාන් ඵල ලැබූහ. සුමන සමන් දෙව් රජුගේ ඇරයුමෙන් බුදුරජාණන් වහන්සේ තෙවැනි ලංකා ගමනේ දී සමනොළ ගිරට වැඩම කළ අවස්ථාවේ ලක්වාසී බෞද්ධ ජනයාට වැඳුම් පිදුම් කිරීමට වාම ශ්‍රී පාද ලාංඡනය පිහිටවනු ලැබූ බව මහා වංශයේ සඳහන් ය.

අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ ශ්‍රී පාද අඩවිය වන්දනා කිරීමේ සිරිපා කරුණා සමය උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේ සිට වෙසක් පුර පසළොස්වක පොහොය දක්වා විහිදේ. සිරිපා සමයේ ශ්‍රී පාදස්ථානයේ උඩමළුවේ තැන්පත් කර තැබෙන සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමා ඇතුළු දේවාභරණ අවාරයේ දී පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහා විහාරයේ තැන්පත් කිරීම චාරිත්‍රයකි. උඳුවප් පොහොයට පෙර දින සුවිශේෂී චාරිත්‍රවලින් පසු සධාතුක කරඬුව ඇතුළු දේවාභරණ ගල්පොත්තාවෙල රාජ මහා විහාරස්ථානයේ සිට ශ්‍රී පාදස්ථානයට වැඩම කරවීම සිදු කෙරේ.

සම්මා සම්බුදු පාද පද්්මය වන්දනා කිරීමට සමනළගිරි තරණය අදටත් වඩා එදා දුෂ්කර ගමනක් විය. ඒ දුෂ්කර ගමනේ වෙහෙස නිවා දැමුවේ බුදු ගුණ කවි, සී පද නඟා ගැයුමෙනි. ශ්‍රී පාදස්ථානය කරුණාකර ශ්‍රී පාද පද්්මයට ගෞරවනීය ව බැතිබරව සිදුකරන පූජාව මහා බුද්ධ වන්දනාවකි. සමනළ ගිරි මුදුනේ සිට දසත පැතිරෙන්නේ කරුණාවයි. මෛත්‍රියයි. සිවු දෙසින් ඇදී එන බැතිමතුන්ගේ මුවින් නැඟෙන සාධු නද සමනළ ගිරිකුළු සිසාරා නින්නාද දී ළිහිණි හෙළ, ඇහැළ කණුව, සීත ගඟුල, ඉදිකටුපාන පසුකර වන දහන පුරා පැතීරි යයි. සිරිපා වන්දනා වාරයේ දී අදටත් බුදු ගුණ කවි ඇසේ. හදවත බැතියෙන් පුරවාගත් බොදු බැතිමත්හු තුන් සරණේ කවි ශ්‍රී පාද වන්දනාවේ දී නිරන්තරව ගායනා කරති. එහි ඇරඹුම මෙසේ ය.

බුද්ධං සරණේ සිරස දරා ගෙන
ධම්මං සරණේ සිත පදා ගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන
ඉන්නයි මේ තුන් සරණේ අදහා ගෙන

දණින් වැටී ශ්‍රී පාදය නමස්කාර කිරීමේ භාග්‍ය ලැබීම බෞද්ධයන් සලකන්නේ මහත් වූ ශ්‍රද්ධා සම්පන්න අවස්ථාවක් ජීවිතයට උදාවූ ලෙසිනි. සිරිපා පතුල වැඳ නමස්කාර කර ගත්තාට පසුව මළත් කමක් නැතැයි සිතා තමන් සතු ඉඩකඩම්, දේපොළ දරුවන්ට ලියා තබා වන්දනා නඩ වශයෙන් සැදී අප්‍රමාණ භක්තියෙන් හා ශ්‍රද්ධාවෙන් යුතුව සිරිපා කරුණා කරන්නට පෙළ ගැසුණේ පුරාණයේ ය. තුන් සරණේ කවි කියමින් කට පරිස්සම් කරගනිමින්, වැරැදි වචන භාවිතයෙන් තොරව, සුදු පිරුවට මෙන් පිරිසුදුවට සැරසී ශ්‍රී පාදය කරුණා කිරීමෙන් සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලද හැකි බව පවත්නා විශ්වාසයකි.

සිරිපාද වන්දනාව සිංහලයන් ගේ පුරාණ සිරිතකි. විජයබාහු රජ දවස සිට ජනප්‍රියත්වයට පත් මේ වන්දනාව අතිතයේ දී අතිදුෂ්කර වුවක් විය. ශ්‍රී පාද වන්දනාවේ අතීතය දෙස බලන විට පෙර සිරිලක රජකළ රජවරු ඇතුළු සම්භාවනීය පුද්ගලයන් ද මේ අසිරිමත් වන්දනාවට එක් වූ බව ඉතිහාසගත තොරතුරු වලින් අනාවරණය වේ. නිශ්ශංක මල්ල මහ රජතුමා ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ශ්‍රී පාදස්ථානයට ගම්වර රැසක් පූජාකර ඇති අතර ඒ බව භගවාලෙනතුළ ඇති සෙල්ලිපි දෙකකින් තහවුරු වේ. ඊට අමතරව පොළොන්නරු යුගයේ මෙරට රජකම් කළ මහා විජයබාහු රජතුමා ද ශ්‍රී පාද වන්දනාවේ ගිය බව අඹගමු සෙල්ලිපියේ සඳහන් වේ. එසේම මහා පරාක්‍රමබාහු රජතුමා ද, දෙවන පරාක්‍රමබාහු රජතුමා ද තම රාජ්‍ය පාලන කාලයතුළ දී ශ්‍රී පාද වන්දනාවේ ගිය බව ඉතිහාසගත තෙරතුරුවල සඳහන් ය.

මෙයට අමතරව ශ්‍රී පාද කඳු මුදුන තරණය කළ විදේශීය ජාතික ප්‍රභූවරුන් පිළිබඳ ඓතිහාසික තොරතුරු ද අදටත් විදේශීය කෞතුකාගාර හා ලේඛනාගාරවල සුරක්ෂිතව පවතී. මාර්කෝ පෝලෝ, ඉබන් බතුතා, ඔඩොරික් පියතුමා, පෘතුගීසි ජාතික ජේ. රිබෙයිරිරෝ වැනියවුන් ද සමන්ගිර තරණය කර ඇත්තේ මෙයට වසර ගණනාවකට පෙර දී ය. ඉංග්‍රීසි ජාතික ජෝන් ඩේවි සිරිපා වන්දනාවේ ගොස් ඇත්තේ දෝලාවකිනි. එසේම හෙන්රි මාර්ෂල් නමැති ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයා ද තම සිරිපා චාරිකාව පිළිබඳ රසවත් තොරතුරු රැසක් ලේඛනගත කර තිබේ. රත්නපුර ඒජන්ත පදවිය දැරූ හර්බට් ෙඩිස්, ආර්. එන්. කේන් , බී. හේලික්ස්, ජී. කුන්සන්, එන්. ජේ.ලසින්ටන් , එච්. එස්. බී රයල් වැනි විදේශිකයන් ද තම පාලන කාලයතුළ එක් වරක් හෝ කිහිප වරක් ශ්‍රී පාදස්ථානයට ගොස් තිබේ. ඒ සිරිපා වන්දනාවේ අතීත පසුබිම වේ.

ලංකාවේ ජනශ්‍රැති තුළ සුරංගනා කතා ඇත්තේ අල්පයකි. ඉන් එකක් මල්වලට පෙනෙන සුන්දර සිරිපාදය මූලාශ්‍ර කොටගෙන ගොඩනැගී ඇත. ලංකාවේ බොහෝ රජවරු සිරිපාදය කරුණාකර තිබුණ ද, සෙල්ලිපි සාධකයක් සහිතව ඉතිහාස ගත වී ඇත්තේ පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රජවරුන් ය. මල්වල යනු නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ගේ මල්වත්ත ය. එතුමා එහි වවා තිබූ දුර්ලභ මල් වර්ග සිරිපාදයට පූජා කරන්නට වෙන්කොට තිබුණේය. එහෙත් සමහර කාලවල රජ්ජුරුවන්ගේ මල් උයනේ මල් අතුරුදහන් විය. රජු චර පුරුෂයින් යොදවා මේ ගැන සොයා බැලු කල දැනගන්නට ලැබුණේ රාත්‍රියට සුරංගනාවන් අවුත් උයනේ මල් නෙළා රහසින්ම ගොස් ශ්‍රී පාදයට පූජා කරන බව ය. මේ කදිම ආරංචියට ලොල් වූ රජු සේනාව ද සමඟ රාත්‍රියේ සැඟවී සිට සුරංගනාවන් අල්ලා ගන්නට උපක්‍රම යෙදූහ. එහෙත් රාජ පුරුෂයින්ගේ අත්අඩංගුවට පත් සුරංගනාවෝ වහාම තම වෙස් හැර සමනලුන්ගේ වේෂය ගෙන සිරිපාදයට ඉගිළ ගියෝ ය. සිරිපාදයට සමනලුන් යන්නට පටන් ගත්තේ එදා සිට යැයි මේ අපූරු කතාවේ සඳහන්ව ඇත.