Print this Article


බුදුපිළිමයේ උපත - 98:  ඓතිහාසික මහියංගණ දාගැබ

බුදුපිළිමයේ උපත - 98: 

ඓතිහාසික මහියංගණ දාගැබ

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග
 
පුරාවිද්‍යා 
Msc පර්යේෂණ

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ රටට තෙවරක් ම වැඩම කළ බව වංසකතාවල ද සඳහන්වන කරුණකි. ඒ අනුව තථාගතයන් වහන්සේ ලක්දිවට මුලින්ම වැඩම කළේ බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක දිනයේ දී බව මහියංගණ දාගැබ ගොඩනැංවීමේ කතාව ආරම්භයේ දී මහාවංසයේ සඳහන් වී ඇත. බුදුරජාණන් වහන්සේ එදින සවස් වේලෙහි මහවැලි ගංතෙර පිහිටි මහානාග වනයෙහි රැස්ව සිටි යක්ෂ සමාගම මධ්‍යයෙහි අහස් කුස වැඩ සිට පෙළහර පා අන්ධකාරයක් මවා ඔවුන් දමනය කරන ලද්දේ මහියංගණ ස්තූපය පසුව ගොඩනගන ලද ස්ථානයේ ය. එම විස්තරය මහා වංසයේ සඳහන් වන්නේ මෙසේ ය.

“සම්ම්‍යක් සම්බෝධියෙන් නවවන මස දුරුතු පුර පසළොස්වක්හි ලංකාද්වීපය ශුද්ධ කරන පිණිස ලක්දිවට වැඩම කළ සේක. සර්වඥයන් වහන්සේ විසින් ලංකා තොමෝ සසුන බබළන තැනෙකැයි ද, යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයෝ බැහැර කටයුතු යයි ද දක්නා ලදී. ලංකාද්වීප මධ්‍යයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල් වූ රම්‍ය මහා නාග වන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව වැසි යකුන්ගේ මහානිසාචර සමාගමය ප්‍රසිද්ධ ය. (මහාවංසය 1 වැනි පරිච්ඡේදය ගාථා - 19 – 22 සිංහල පරිවර්තනය පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි සහ බටුවන්තුඩාව පඬිවරයා.) මෙසේ මහියංගණ පෙදෙසෙහි යකුන් දමනය කිරීමෙන් පසු ඔවුන් ගිරි දිවයිනට යවා දිවයින මනුෂ්‍ය වාසයට සුදුසු දිවයිනක් කිරීමේ අදහසින් බුදුරජාණන් වහන්සේ මෙහි වැඩම කළ බව මහාවංසයේ සඳහන් වේ.

ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන්ට රම්‍ය වූ ගිරි දිවයින මෙහි ළඟා කළ සේක. සර්වඥතෙම ඒ පත්කඩ හැකුලු සේක. එ කල්හි දෙවියෝ සර්වඥයන් වහන්සේ වෙත පැමිණියෝ ය. ශාස්තෘන්වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෙළ ගණන් සත්ත්වයන්ට සෝවාන්ඵලාදියෙන් ධර්මාවබෝධ වූයේ ය. සංඛ්‍යාපථාතීත සත්ත්වයෝ තිසරණ පන්සිල්හි පිහිටියෝ ය.

සමන්තකූට පර්වත වාසී වූ මහා සුමන නම් දෙව්රාජ තෙමේ සෝවාන් ඵලයට පැමිණ පූජාර්භ වූ සර්වඥයන් ගෙන් පූජනීය වූ කිසිවක් ඉල්වීය. සත්වයන් කෙරෙහි හිත වූ සීල නිර්මල කේශවත් වූ සර්වඥතෙමෙ හිස පිරිමැද කේශයන් අත්ලක් පමණ ප්‍රදානය කළ සේක. ඉක්බිත්තෙන් හෙතෙමේ එය ස්වර්ණමය වූ උතුම් කරඬුවකින් ගත්තේ සර්වඥයන් වහන්සේ වැඩහුන් තැන්හි කරන ලද්දා වූ අයම්පතරින් සත්රියන් වූ අවටින් එක් විසිරියන් නන් වැදෑරුම් රුවන් රැසෙහි තබා හෙතෙම ඉන්ද්‍රනීලමය වූ ථූපයකින් වසා නමස්කාර කෙළේ ය. (නැවත) සර්වඥයන් වහන්සේ පිරිනිවන් කල්හි ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය මහත් සෘද්ධි ඇති සරභූ නම් ස්ථවිර තෙම දරසෑයෙන් සර්වඥ ගී‍්‍රවාස්ථි ධාතුව සෘද්ධියෙන් රැගෙන (මෙහි) ගෙනවුන් එම චෛත්‍යයෙහි තබා භික්ෂූන් විසින් පිරිවරන ලද්දේ මේධෝවර්ණ පාෂාණයෙන් වස්වා දොළොස් රියන් උස දාගැබක් කරවා වැඩි සේක. (මහාවංසය පරිච්ඡේදය ගාථා 30 – 39 )

දුරුතු, මැදි පොහෝ දිනයෙහි බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ලෙස ලංකාවට වැඩම (මහියංගණයට) කළ අන්දම 13 වැනි සියවසේ දී ලියන ලද පූජාවලිය ග්‍රන්ථයෙහි යක්ෂයින් දමනය කිරීමෙන් පසු මෙසේ සඳහන් කර ඇත.

ඉක්බිත්තෙන් සමන් දෙවි රජ්ජුරුවන් ආදි වූ ලක්දිව ඒ ඒ පර්වතවල වෘක්ෂවල අරක් ගෙන වසන දිව්‍ය සේනාව අවුත් බුදුන් පිරිවරා වැඳ නොයෙක් පූජා භාණ්ඩ ගෙන ගියහ. එකෙනෙහි බුදුහු බණ වදාරා ශත සහස්‍ර දෙවියන් සසරින් මුදා වදාළ සේක. එවේලෙහි සෝවාන් වූ සමන් දෙවි රජ්ජුරුවෝ බුදුන් වැඳ සිට ස්වාමීනි, නුඹ වහන්සේගේ බුද්ධෝත්පාදය මුළුල්ලෙහි මේ ලක්දිව යක්ෂ වාස නොවන පරිද්දෙනුත් අප වැඳ පුදා ගන්නා පරිද්දෙනුත් පාරිභෝගික ධාතුවක් දෙවා වදාළ මැනවැයි ආරාධනා කළහ. එවේලෙහි ස්වාමි දරුවෝ සුරක්ත වූ ශ්‍රී හස්තයෙන් ශිරෝධාතුව පිරිමැද කේශ ධාතුමිටක් දී වදාළ සේක. සමන් දෙවි රජ්ජුරුවෝ රුවන් කරඬුයෙකින් කේශධාතු පිළිගෙන බුදුන් වැඩ හුන්නා වූ ස්ථානයෙහි රුවන් රැසක් පිටට වඩා සත් රියන් උස ඉඳුනිල් මිණි කරඬුයෙකින් වසා අප්‍රමාණ වූ දිව්‍ය ගන්ධ කුසුමාදියෙන් පුජා කළහ. මෙසේ බුදුහු පළමුවන ධාතු ප්‍රතිෂ්ඨාව කොට ලක්දිව සිසාරා කල්යලක් ප්‍රදක්ෂිණා කිරීමෙන් අරක් දී (ආරක්ෂා කර ) වේළුවනාරාමයට වැඩි සේක. පසුව සරභූ නම් මහතෙර කෙනෙකුන් වහන්සේ බුදුන්ගේ ගී‍්‍රවා ධාතුව වඩා මේඝ වර්ණ වූ පාෂාණයෙන් දොළොස් රියන් උස ඒ වසා සලගබක් මවා මහත් වූ පූජා කළ සේක. පසුව චූලාභය නම් රජෙක් ඒ මතුයෙහි තිස්රියන් මහසෑයක් බඳවා භෝග පමණින් පූජා කළේ ය. පසුව දුටුගැමැණු රජ ඒ වසා අසූරියන් උස මහ සෑයක් බඳවා ඝනරන් පතින් වසා ධන පමණින් පූජා කළේ ය. (පූජාවලිය – මයුර පාද පරිවෙනාධිපති පූජ්‍ය බුද්ධපුත්‍ර හිමි – පි. 752 සංස්කරණය කීර්ති නාරම්පනාව) බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය - දෙහිවල 2012 )

මහියංගණය පුදබිමක් පමණක් නොව පුරාණ කාලයේ නගරයක් ලෙසින් ද පැවතුණි. දුටුගැමුණු කුමරාගේ යුද හමුදාව ගමන් කර ඇත්තේ ද, මහියංගණය හරහා ය. දුටුගැමුණු මහරජතුමා මහියංගණ දාගැබ අසූරියන් උසට ගඩොලින් නිම කළ බව සඳහන් වේ. ඉන්පසු ලංකාවේ රජ කළ බොහෝ නරපතියන් මහියංගණ දාගැබ සංරක්ෂණ කටයුතුවලට සම්බන්ධ වී ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ රජවරුන් අතර වෝහාරික තිස්ස, දෙවැනි සේන, හතරවැනි කස්සප යන රජවරු වෙති. 3 වැනි උදය රජු මියුගුණ දා ගැබ වැඳ පුදාගත් බව බදුලු ටැම්ලිපියේ සඳහන් වේ. මහ විජයබාහු රජතුමා විසින් සංරක්ෂණය කරන ලද දාගැබ් හා වෙහෙර විහාර පිළිබඳ මහා වංසයේ දෙවැනි කොටසේ සඳහන් වේ. ඒ අතරේ මහියංගණ දාගැබ ද මහ විජයබාහු රජුගේ අනුග්‍රහයෙන් සංරක්ෂණය කරන ලද බව එහි සඳහන් වේ. (මහාවිජයබාහු රජතුමා - සිරිසමන් විජේතුංග පි. 103 – දයාවංශ ජයකොඩි සහ සමාගම 2013 )

එවකට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් 1951 වර්ෂයේ දී මහියංගණ දාගැබේ පර්යේෂණ කැණීමක් කරන ලදී. එම පුරාවිද්‍යා කැණීමේ දී පැරණි දාගැබ්වල ධාතු ගර්භයේ බිතුසිතුවම් ඇඳීම සිදු කර ඇති බවට ප්‍රථමවරට සොයා ගන්නා ලදී. එපමණක් ද නොව පැරණි ධාතු ගර්භවල සිතුවම් ඇති බව පොතපතින් දැන ගැනීමට ලැබුණු නමුදු මේතාක් ඇස් ඉදිරිපිට දැක ගැනීමට ලැබුණේ මෙහි දී ය .ඉන්පසු මිහින්තලේ දාගැබක ද ධාතු ගර්භයෙන් සිතුවම් හමුවිය. මහියංගණයේ පුදබිම දාගැබ කේශ ධාතූන් වහන්සේලා නිසා ප්‍රකට විය. එමෙන්ම දෙතිස්ඵල රූහයක් ද මෙහි රෝපණය කර තිබේ. (පුරාවිද්‍යා පාලන වාර්තාව 1951 සහ පුරාවිදුපර්යේෂණ ආචාර්ය සෙනරත් පරණවිතාන)


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 97: කේශ ධාතුන් වහන්සේ වැඩ සිටින ගිරිහඬු දාගැබ