Print this Article


ආගම කුමක් සඳහා ද?

ආගම කුමක් සඳහා ද?

ලෝකයට ආගම් බිහිවූයේ මනුෂ්‍යයාගේ ජීවිතය වඩාත් අර්ථ සම්පන්න කරලීම පිණිස ය. ආහාර ගැනීම, නිදාගැනීම, ආරක්ෂාවීම, ස්වකීය වර්ගයා බෝකිරීම යන කාරණා මනුෂ්‍යයෝ මෙන්ම සෙසු සත්වයෝ ද ඉටු කරගනිති. සත්තු මේ කාරණා, ඉටුකරගැනීමට ඔවුන්ට, ප්‍රවේණිවූ ශරීර ශක්තිය යොදා ගනිති. මනුෂ්‍යයා සෙසු සත්ත්වයින්ගෙන් වෙනස් වන්නේ ඉහත කී කාරණා දැනුම, ආචාර්ය ධර්ම, පදනම් කරගනිමින් ඉටු කර ගැනීමය. ආගම් බිහිවූයේ ඉහත කී ආචාර ධර්ම ද, මනුෂ්‍යයා විසින් ගොඩනඟා ගත යුතු පුරුෂාර්ථ ද පෙන්වා දීමට ය.

ලෝකයේ පවතින අකුසල් පහකි. 1. ප්‍රාණඝාතය, 2. සොරකම, 3. කාම මිථ්‍යාචාරය, 4. බොරුව, 5. මදය ප්‍රමාදය ඇතිවන මත්ද්‍රව්‍ය භාවිතය යන පස් පව් ඒවා ය. මෙම පස්පව්වලින් වැළකී ජීවත් විය යුතු බව වර්තමාන ලෝකයේ පවත්නා බොහෝ ආගම්වල ඉගැන්වෙයි. එය වනාහි සමාජ සදාචාරය තහවුරු කර ගැනීමටත් සාමූහික යහ පැවැත්මටත් මහත් වූ පිටුවහලකි.

ආගමික සහජීවනය, සංහිඳියාව සෑම ආගමක ම කියා දෙයි. වසර දෙදහස් පන්සිය ගණනකට වැඩි ඉතිහාසය තුළ එකී සංහිඳියාව මැනවින් මෙ රට තුළ පැවතී ඇත. පොළොන්නරුවේ නටබුන් නගරය විමසා බැලීමේ දී බෞද්ධ සිද්ධස්ථාන සහ හින්දු කෝවිල් එකම භූමි ප්‍රදේශයක් තුළ දක්නා ලැබෙයි. යම් විටෙක මෙරට රජවරු යුද්ධයක් කළා නම් ඒ රටට, ජාතියට එරෙහි පොදු සතුරාට එරෙහිව යි.

මෑත කාලීන ඉතිහාසය විමර්ශනයේ දී ද පැහැදිලි වන්නේ මෙරට සිංහල ජනතාව මෙන්ම මහා සංඝරත්නය අනෙකුත් ආගම් පිළිබඳ කෙතරම් සහනශීලීව ක්‍රියාකොට ඇත්තේ ද යන්නයි.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නූතන විද්‍යාත්මක ලෝකයේ වඩ වඩාත් බබළමින් තිබේ. එය විවෘත වූ තරමටම බැබළෙයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ යන මේ දුක් සියලු සත්වයන්ටම පොදු ය. බුදුන්වහන්සේ වදාළේ මේ දුකින් මේදෙන ප්‍රායෝගික වැඩපිළිවෙළ ය. එය මෙලොව දී ම වැඩිය යුතු ප්‍රායෝගික ජීවන ප්‍රතිපදාවක් බව ආර්ය අෂ්ටාංගික මාර්ගය විමර්ශනයේ දී පැහැදිලි වේ.

සැබැවින් ම වැදගත් වන්නේ ආගමේ නම නොව එහි අන්තර්ගතය මනුෂ්‍යයා තුළ පවත්නා කෙලෙස් ගිනි නිවාදැමීමට සමත් ද යන්නයි.

වෙරය මෛත්‍රීයෙන් දිනීමත්, අසත්‍ය සත්‍යයෙන් දිනීමත්, අයහපත යහපතින් දිනීමත් මසුරා දානයෙන් දිනීමත් සැබෑ ජයග්‍රහණයයි. ආගමක් අවශ්‍ය වන්නේ ඒ සඳහා ය. ඒ සඳහා මුලින්ම පඤ්ච ශීල ප්‍රතිපදාවෙහි පිහිටිය යුතු ය. ලැබුවා වූ මනුෂ්‍යත්වය ආරක්ෂාවන්නේ ඒ තුළිනි. පඤ්චසීල ප්‍රතිපදාවවත් ජීවිතය තුළ නොමැත්තේ නම් එය මනුෂ්‍යත්වයේ මුල් සිඳ ගැනීමකි.