Print this Article


මෙවර වෙසක් උත්සවයකෙසේ පවත්වමු ද?

මෙවර වෙසක් උත්සවයකෙසේ පවත්වමු ද?

මේ වර්ෂයේ චන්ද්‍රයාගේ ගමන අනුවත්, දෛවඥ ශාස්ත්‍රානුකූලවත්, වෙසක් පොහොය යෙදී ඇත්තේ, අප්‍රේල් මස 29 වැනි ඉරු දිනට ය. දශක ගණනාවකින් පසු මෙසේ වෙසක් පොහොය යෙදෙන බව නැකැත් ශාස්ත්‍ර නියමයයි. 1883 වෙසක් පොහොය දිනය යෙදී ඇත්තේ ද අප්‍රේල් 29 වැනි දිනක බව සඳහන් වේ.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති නා හිමි, වැලිගම ශ්‍රී සුමංගල නා හිමි , මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමි යන නාහිමිවරු සහ පැවිදි උතුමන් ද, කර්නල් ඕල්කට්, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, එෆ්.ආර්. සේනානායක, කරෝලිස් පූජිත ගුණවර්ධන යන ප්‍රභූන් පිරිස ද, අප්‍රේල් මාසයේ අගට යෙදුන වෙසක් පෝයත්, මැයි මාසයේ අගට යෙදුන අධි පොසොන් පෝයත් වෙසක් මාසයටම යෙදුන බැවින්, එදා වෙසක් පෝය භාවිත කළ ආකාරය සලකා බැලීම මේ අවස්ථාවේ දී අපට බෙහෙවින් ම වැදගත් වන්නේ ය. තව ද, ෂඩ් වර්ණ ඝණ බුද්ධ රශ්මිය විහිදුවන පාට පහෙන් යුත් බෞද්ධ කොඩිය පළමුවරට ලොවට ඉදිරිපත් කළ දිනයත් එකී දිනයම බව සැලකිය යුතුව තිබේ. එදා සේ ම, මෙවර ද වෙසක් පොහෝ දිනය යෙදී ඇත්තේ අප්‍රේල් 29 වැනි දාට ය.

දෙවැනි කරුණ නම්, අධි පොසොන් පොහොය යෙදී ඇති දිනය ගැන සලකා බැලීමයි. එය යෙදී ඇත්තේ මැයි නොහොත් වෙසක් මස 29 වැනි කුජ දිනට ය. හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි ප්‍රධාන බටුවන්තුඩාවේ පඬිතුමා ඇතුළු එදා සිටි ගිහි – පැවිදි ප්‍රභූ පිරිස, මැයි මාසයේ දී යෙදුන අධි පොසොන් පොහොය යොදා ගත්තේ කෙබඳු ආකාරයකටදැයි සලකා බැලීම වටී. එදා වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය යෙදුන අප්‍රේල් 29 වැනි දින ප්‍රතිපත්ති පූජාවෙන් ජනතාව පෙළගැස්වීමට කටයුතු කළ අතර, මැයි මාසයටම යෙදුන අධි පොසොන් පොහෝ දින, ආමිෂ පූජා මගින් වෙසක් පොහොය සැමරීමට ජනතාවට උපදෙස් දුන් බව දක්වා ඇත. එමෙන් ම ආසියාතික බෞද්ධ රටවල් කිහිපයක් ද එය අනුමත කළ බව එකී රටවල පැරැණි වාර්තාවල සඳහන් වේ.

පෙරදිග චාරිත්‍රානුකූලව, අපේ සිංහල අවුරුද්ද යෙදෙන්නේ අප්‍රේල් මස 14 සහ 15 යන දෙදිනයන් හි ය. අවුරුදු චාරිත්‍රානූකූලව නොනගතය ද නිමාකොට, හිසතෙල් ගා, තම තමන්ගේ ආගමික කටයුතු නිමවා, අනාදිමත් කාලයක පටන් පවත්වාගෙන එන මවුපියන් සමාකරවා ගැනීම, වැඩිහිටි ඥාති මිත්‍රාදීන් බැහැ දැකීම, සිංහල ක්‍රීඩා ආදිය පැවැත්වීම ආදී අවුරුදු උත්සවයට සම්බන්ධ කටයුතු නිමවන විට අප්‍රේල් 24 – 25 පමණ වන්නේ ය. එය නිමැවුණු විගසම, දින 5 – 6 ක් ඇතුළත, නැවත පූර්ණ ලෙස වෙසක් උත්සවයක් පැවැත්වීම, බෙහෙවින් ම දුෂ්කර කාර්යයක් වන්නේ ම ය. එනිසා අපේ‍්‍රල් 29 වැනි දාට යෙදෙන වෙසක් පොහොය, 1883 වසරේ දී සිදු කළාක් මෙන් පිළිවෙත් පිරීමට වෙන්කර ගැනීම බෙහෙවින් ම උචිත කරුණක් වනු ඇත. මෙකී කරුණු අනුව, මෙම අප්‍රේල් 29 වැනි දාට යෙදෙන පසළොස්වක පොහොය, ශීලමය පින්කම්වලටත්, වැඩි වැඩියෙන් භාවනාමය පින්කම් වලටත්, බුද්ධ පුජා, බෝධි පුජාමය පින්කම් වලටත් ජනතාව යොමුකරවීම වැදගත් කරුණකි. විශේෂයෙන් ම ආරණ්‍ය, මෙහෙණි ආරාම, සමිති සමාගම් ශාලා, භාවනා මධ්‍යස්ථානාදී වශයෙන් ශීල සමාදාන මහ පින්කම් පැවැත්වීමටත් මෙදින වඩාත් ම යෝග්‍ය ය. අපිදු එය එසේ ම අනුමත කරමු. එසේ සලකන විට, වෙසක් පොහෝ දිනය අමතක කිරීමක් සිදු නොවන්නේ මය. එය වඩාත් ම අගය කළ යුතු ප්‍රතිපත්ති පූජාවටම වෙසක් පොහෝ දිනය යොමු කිරීමක් වනු ඇත.

මැයි මස 29 වැනි දිනට යෙදෙන අධි පොසොන් පෝ දිනය, වෙසක් මාසයේ ම යෙදෙන බැවින්, ආමිෂ පූජාවන් සඳහා එකී දිනය යොදා ගැනීම බෙහෙවින් ම සුදුසු ය. වෙසක් තොරණ, වෙසක් පෙරහර, වෙසක් නාට්‍ය, වෙසක් භක්ති ගී, වෙසක් සැරසිලි හා දන්සැල් මෙම අනුමත වෙසක් පොහෝ දිනයට යොදාගැනීම ජනතාවට මහත් සේ පහසු කාර්යයක් වන්නේ ය.

මෙම 2561 වැනි වර්ෂයේ නොහොත් රාජ්‍ය වර්ෂ 2018 වසරේ වෙසක් පොහොය යෙදී ඇති දිනය පිළිබඳ නක්ෂත්‍ර ක්‍රමය අනුව වෙනසක් සිදු වුව ද, එය බෞද්ධ රටවල් පවත්වාගෙන එන පරිදි, චාරිත්‍රානුකූලව පූර්ණ ලෙස ක්‍රියාවට නැංවීම අසීරුවන හෙයිනි. අප්‍රේල් 29 වැනි දින පොහොය වෙසක් පොහොය වශයෙන් ම සලකන අතර, මැයි මස නොහොත් වෙසක් මස 29 වැනි දිනට යෙදෙන පසළොස්වක් පොහොය වෙසක් උත්සව ආදියෙන් සැදුම් ලත් පොහොය වශයෙන් සැලකීම බෞද්ධ ජනතාවට මහත් පහසුවක් වන්නේ ය. එය වෙසඟ පොහොය සේ සලකා පූර්ණ ලෙස බොදු සිරිත් විරිත් ඉටු කිරීමට අකැප නොවනු ඇත යන්න අපගේ විශ්වාසයයි. සියමය, මියැන්මාරය, (බුරුමය) කාම්බෝජය, ලාඕසය ආදී රටවල් ද මේ පිළිබඳව අපේ පිළිගැනීම කෙසේද යන්න බලාපොරොත්තු වන බැවින් ජනතාව වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට අදහස් කළ බව සඳහන් කිරීමට කැමැත්තෙමු. මේ පිළිබඳව අපේ ගරුතර මහා සංඝරත්නයේ ද, බෞද්ධ ජනතාවගේ ද අවධානය යොමු වේවා!