UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

මහෝපාධ්‍යාය පදවියෙන් පිදුම් ලබන හංචාපොල සීලවංශ නා හිමි

හාපිටිගම් කෝරළයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හංචාපොල නම් ගම්මානයේ භදිඤ්ඤාපොල අප්පුහාමිලාගේ චාර්ලිස් අප්පුහාමිට හා එම මෑණියන්ට දාව 1941.ජුනි 21 දින උපන් කුමරා භදිඤ්ඤපොල අප්පුහාමිලාගේ සුමනසිංහ නම් විය. විතානමුල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන් 5 ශ්‍රේණිය දක්වා මූලික අධ්‍යාපනය ලැබීය.

හංචාපොල ඤාණවංශ නායක ස්වාමින්ද්‍ර වහන්සේ සුමනසිංහ කුමරුවා එවකට බලගල්ල සරස්වතී මහ පිරිවෙනේ විහාරාධිපතිත්වය දැරූ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරය ඉසුලූ අග්ගමහා පණ්ඩිත ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය හිස්සැල්ලේ ශ්‍රී ඤාණෝදයාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට භාර කළහ. මූලික බණ දහම් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ යටතේ හදාළ සුමනසිංහ කුමරුවා 1956 මැයි 23 දක්වා හංචාපොල අතුලමුනි මහා විහාරස්ථානයේ දී බලගල්ලේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා හංචාපොල ඤාණවංශ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හංචාපොල සීලවංශ නමින් සසුන් ගත කළහ. හංචාපොල සීලවංශ පොඩි හාමුදුුරුවෝ බලගල්ලේ සරස්වතී මහ පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබූහ. පසුව කුලියාපිටිය නැදලගමුව ධර්මරාජ පිරිවෙනට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය ලැබූහ. සීලවංශ හාමුදුරුවෝ 1967 දී කල්‍යාණි නදී උදකුෙඛේප සීමා මාලකයේ දී උපසම්පදා ශීලයට පත්වූහ.

ශ්‍රී ඤාණවංශවංසාලංකාර විනයාචාර්ය ගෞරව සම්මානය සහිත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය පදවියෙන් පිදුම් ලබන හංචාපොල සීලවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වත්මන්හි බලාලූ ප්‍රාදේශීය සංඝ සභාවේ ප්‍රධාන සභාපතිවරයා මෙන්ම මීරිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ 2 කලාපයේ ප්‍රධාන සභපතිවරයාද වෙති. හංචාපොල ඇතුලමුනි මහා විහාරස්ථානය හා ඉඩම්මුල්ල ශ්‍රී වර්ධන පිරිවෙන් මූල මහා විහාරය යන උභය විහාරස්ථානයන්හි ආධිපත්‍යය උසුලන්නේ ද

අභිනව මහෝපාධ්‍යායන් වහන්සේය.

එබඳු මහ යතිවරයෙකු සඳහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක

ස්වාමින්ද්‍රවර ප්‍රමුඛ කාරක සංඝ සභාව මගින් ශ්‍රී ඤාණවංශාලංකාර විනයාචාර්ය ගෞරව සම්මාන උපාධිය සහිතව අතිපූජ්‍ය මහෝපාධ්‍යාය පදවිය පිරිනැමීම පිළිබඳව අතිපූජ්‍ය මහානායක හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාවට අපගේ ගෞරවය පිරිනමමු.

අක්තපත්‍ර ප්‍රදානය අපේ‍්‍රල් 1 දා සවස 3 ට හංචාපොල විහාරස්ථානයේදී සිදුවේ. මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය මැතිතුමා ද සහභාගි වේ.


ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි

ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර අනු නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර, රුසියාවේ ප්‍රධාන සංඝ නායක (ථෙරවාද) විශ්ව සාහිත්‍ය භාෂා විශාරද, සද්ධර්ම කීර්ති ශී‍්‍ර වජිරවංශාලංකාර, සද්ධම්මාභිවෘද්ධි ජෝතක,පණ්ඩිත දර්ශන විශාරද පල්ලේකන්දේ රතනසාර අනු නා හිමියන් වෙත ශී‍්‍ර ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි පදවිය පිරිනමන්නට යෙදුණි.

වලස්මුල්ලේ පල්ලේකන්දේ ග්‍රාමයේ උඩහේනේදි 1953 ජනවාරි 07 දින වෙල්හේනගේ ගුණදාස හා එම්.ඩී. ගිමාරහාමි යන දම්පතීන්ට දාව උපත ලද රතනසූරිය දරුවා 1968 මැයි මස 10 වන දින පැවිදි දිවියට එළඹුන හ. ඕපනායක අභයරාජ පිරිවෙනින් හා කොළඹ මරදාන ශී‍්‍ර ලංකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර 1972 ජූලි මස 20 වන දින වලස්මුල්ල ශී‍්‍ර පුෂ්පාරාම බද්ධ සීමා මාලකයේ දී උපසම්පදා විය.

1974 උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වු අතර එම වසරේම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ශිෂ්‍යත්වයක් ලැබ රුසියාවේ ජනතා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයට (ලුලුම්බා) ප්‍රවිෂ්ඨව ආචාර්ය උපාධියද හිමි කරගන්නා ලදී. අනතුරුව මෙරටට වැඩම කොට කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල කථිකාචාර්යන් වහන්සේ නමක් ලෙසද කලක් ක්‍රියා කරනු ලැබීය.

අධ්‍යාපනික, ආගමික, සාමාජීය වශයෙන් සුවිශාල වු සේවාවන් රැසක් සිදු කරන රතනසාර නාහිමියන් දිවයින පුරා වෙහෙර විහාරස්ථාන රාශියක් ආරම්භ කර දියුණුවට පත් කර ශාසනයට දායාද කරන ලද අතර රුසියාවේ මොස්කව් නුවර බෞද්ධ සංවිධානවල ද, ශාන්ත පිටර්බර්ග් නගරයේ බෞද්ධ මධ්‍යස්ථාන වලද, තුමෙන් ප්‍රදේශයේ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ද අනුශාසකත්වය දරති.

රුසියන් භාෂාව පිළිබඳ හසල දැනුමක් ඇති අනු නාහිමියන් වෙත රුසියානු භාෂාව ඉගැන්වීම හා ප්‍රචාරණය වෙනුවෙන් කැපවූවන්. සඳහා පිරිනමන රුසියාවේ උසස්ම සම්මානය ලෙස සලකන ‘පුෂ්කින්’ සම්මානයෙන්ද සම්මානිත වූහ. 1967, 1977 ජනතා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් පදවිය ද හොබවා ඇති රතනසාර හිමියන් 1977 කියුබාවේ පැවති තරුණ සම්මේලනයටද සහභාගි වී ඇත. ගත වු කාලය තුළ රුසියාවේ වෛද්‍ය සභාවේ සම්මානයද, ශ්‍රී ලංකා රුසියා මිත්‍රත්ව සංකේතය ද, රුසියාවේ ගෞරවණීය ආගන්තුක පුරවැසියා ලෙසද සම්මානයට පත් වු එකම බෞද්ධ භික්ෂුව රතනාසර නාහිමියන් ය.

1975 සිට ආසියානු බෞද්ධ සාම සම්මේලනයේ දී ශී‍්‍ර ලංකා ශාඛාවේ ලේකම් ලෙසද 1994 සිට අන්තර් ආගමික සාම පදනමේ ආරම්භක ලේකම් හා විවිධ තනතුරු ද ජාතික සාම මණ්ඩලයේ සම සභාපති ලෙසද, ජාතික සම්පත් සුරැකීමේ භික්ෂූ සංවිධානයේ සභාපති ලෙසද විවිධ සමාජ සංවිධාන රැසක ක්‍රියාකාරි කාර්ය භාර්යයක් ඉටු කරනු ලැබූ නාහිමියන් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසදුමක් තුළින්, සාමකාමීව විසඳා ගැනීමට පැවති හා පවතින රජයන් සමඟද ක්‍රියාශීලි වැඩ කොටසක් ඉටු කර ඇත.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ක්‍රියාකරි භික්ෂුවක් ලෙස එහි විධායක සභික ධුරයද, සහකාර ලේකම් ධුරයද, නියෝජ්‍ය ලේකම් ධූරයද වැඩ බලන මහා ලේඛකාධිකාරි ධුරයද හොබවමින් සමස්ත අමරපුර මහා සංඝ සභාවේ උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කළ අතර 2017 දෙසැම්බර් මාසයේ දි සමස්ත අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පදවියට සමානච්ඡන්දයෙන් රතනසාර නාහිමියන් පත් කර ගන්නා ලදී.

පල්ලේකන්දේ රතනසාර අනුනාහිමිපාණන් වහන්සේ පිළිගැනීමේ හා ඇගැයීමේ උළෙලක් මාර්තු මස 25 වන ඉරු දින සවස 3.00 වත්තල, වැලිකඩමුල්ල, වාලුකාරාම පුරාණ මහා විහාරස්ථානයේ දි පැවැත්වේ.


කොළඹ සල්පිටි කෝරළයේ අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලබන හල්විටිගල යසස්සි නා හිමි

දකුණ සිරිලක ගාලුපුරවරයේ හිනිදුම පත්තුව කෝරළයේ හල්විටිගල ග්‍රාමයේ වික්‍රමසිංහ ගුණසේකර මෙන්ඩිස් සහ ගිමාරාහාමි යන මව්පියන් දෙපළට පින්වත් දරුවන් දසදෙනෙකි. ඔවුන් අතුරින් වික්‍රමසිංහ ගුණසේකර ආරියදාස කුමරුවා 1964 ජුනි 04 වන දින ජන්ම ලාභය ලැබීය.

මූලික අධ්‍යාපනය හල්විටිගල සාරිපුත්ත විද්‍යාලයෙන් හදාළහ. වයස අවුරුදු 12 දී ගාල්ල බෝපේ ශ්‍රී පියරතන පිරිවෙනට පැමිණ පැවිදි දිවියට අවශ්‍ය වත් පිළිවෙත් මූලික සුදුසුකම් සපුරා 1976 අගෝස්තු 09 වන දින හල්විටිගල යසස්සි හිමි නමින් පැවිදි විය. මුලික පිරිවෙන් අධ්‍යාපනය හදාරා රත්මලාන පිරිවෙන් අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව අ.පො. ස. උසස්පෙළත්, ශාස්ත්‍රවේදි මූලික පරීක්ෂණයත් පරිවේණාචාර්ය පුහුණු පාඨමාලාවක් හැදෑරීය.

1989 ජුනි 03 දින ස්‍යාමෝපාලි වංශක මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ භික්ෂුවක් ලෙස ගාල්ල බෝපේ ශ්‍රී පියරතන පරිවේණාධිපති අධිකරණ සංඝ නායක මහෝපාධ්‍යාය මලිගස්පේ සරණතිස්ස නා හිමියන්ගේ සහ පිළියන්දල හොන්නන්තර ශී‍්‍ර විජයනන්දනාරාමාධිපති මෙදේරිපිටියේ සුමනසාර යන හිමිවරුන්ගේ හිෂ්‍යයෙකු ලෙස උපසම්පදාව ලැබූහ. 1990 දී හොන්නන්තර ශී‍්‍ර විජයනන්දනාරාම අධිපතීත්වයට පත් විය. ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශී‍්‍රමත් මහා නායක තිබ්බොටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාව වෙතින් සල්පිටි කෝරලයේ අධිකරණ සංඝ නායක පදවියට පත්කර වදාළහ. ඒ පිළිබඳව සන්නස් පත්‍ර ප්‍රදාන උත්සවය මාර්තු 29 වන දින මල්වතු මහා විහාරයේදී පවත්වා පිළිගැනීමේ උත්සව මහා සභාව මාර්තු 30 වන දින සවස 2.00 හොන්නන්තර විජයනන්දනාරාමයේදී පැවැත්වේ.


බැරගම විමලධම්ම නා හිමි

නාවල විමල විහාරාධිපති ශ්‍රී ධර්මරක්ෂිත ත්‍රිපිටක ධර්මායතන පිරිවෙනෙහි පරිවේණාධිපති, සාමවිනිසුරු ශාස්ත්‍රපති බැරගම විමලධම්ම නාහිමිපාණන් වහන්සේගේ 51 වන ජන්ම දිනය මාර්තු මස 23 වන දිනට යෙදී තිබිණි.

1967 මාර්තු 23 වෙනිදා අම්බලන්තොට බැරගම දී උපත ලද නාහිමියෝ වයස අවුරුදු 13 දී අම්බලන්ගොඩ සුනන්දාරාම මහා විහාරයේ දී අමරපුර නිකායේ මහා නායක රාජකීය පණ්ඩිත අම්බලන්ගොඩ ධම්මකුසල මහා නාහිමියන් විසින් පැවිදි කළ අතර උන්වහන්සේගේ ආචාර්ය වූයේ නාවල විමල විහාරාධිපති වැරැල්ලානේ විමලතිස්ස අධිකරණ නාහිමියන් ය. අම්බලන්තොට බැරගම ජනපද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර පැවිදි මූලික අධ්‍යාපනය මරදාන මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත්ව එවකට වැඩ විසූ විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත අකුරටියේ අමරවංස නාහිමියන් ඇතුළු උගත් මහ පඬිවරුන් යටතේ සිංහල, පාලි, සංස්කෘත භාෂාවන් හා ත්‍රිපිටක ධර්මය පිළිබඳ මනා දැනුමක් ලබා පිරිවෙන් අවසාන විභාගයෙන් සමත්ව රත්මලාන ගුරු විද්‍යාලයට ඇතුලත් විය.

පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හා කැලණිය බෞද්ධ හා පාලි පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් උන්වහන්සේ රත්මලාන මල්ලිකාරාමාධිපති අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහා නාහිමියන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී ධර්මරක්ෂිත ත්‍රිපිටක ධර්මායතන මුලික පිරිවෙනෙහි ගුරුවරයෙකු වශයෙන් 1994 දී සේවයට බැඳුන අතර 2012 වර්ෂයේ සිට එම පිරිවෙනෙහි පරිවේණාධිපති වශයෙන් සේවය කළහ.

නාවල විමල විහාරස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් දියුණු තත්ත්වයට රැගෙන ඒමට මහත් කැපවීමක් සිදුකළහ. ප්‍රඥා ප්‍රදීප දහම් පාසල, ආරම්භ කළහ.

අමරපුර නිකාය විසින් උන්වහන්සේ කාරක සංඝ සභාවට පත් කොට නිකායේ මූල්‍ය ලේකම් ධුරයට හා සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝ නායක ධුරයට පත්කරන ලදී. නාහිමියන්ගේ පනස්වන ජන්ම දිනය මෙන්ම උපසම්පදාව ලබා වර්ෂ 30 සම්පූර්ණ වීම නිමිත්තෙන් මාර්තු 23 වෙනිදා දවස පුරා විවිධ පින්කම් සංවිධානය කොට තිබිණි.

 

  බක් පුර අටවක පෝය


 බක් පුර අටවක පෝය මාර්තු 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 10.07 ට ලබයි. 25 වනදා ඉරිදා පූර්ව භාග 03.04 දක්වා පෝය පවතී.

සිල් සමාදන්වීම මාර්තු 24 වනදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]