Print this Article


සීහළවත්ථු කතා: සසරින් එතෙරවීමට උපකාර වන දානය

සීහළවත්ථු කතා:

සසරින් එතෙරවීමට උපකාර වන දානය

ඈත අතීතයේ හෙළ දිවයිනේ එක් ජනපදයක් විය. ඒ ගමෙහි කම්බුද්ද නමින් වූ එක් දුගී වැසියෙක් විසීය. ඔහු තමාට අයත් කුඹුරෙහි අවුරුදු තුනක් නැළි සතරක් බැගින් වැපිරී ය. ඒ වී ප්‍රවේසමට තබා කැලෑවේ ඇති අල,ගෙඩි ආදියෙන් පවුලේ සාමාජිකයෝ ජීවත් කරවී ය. නැවත කුඹුර වපුරන කාලයට කුඹුර ශුද්ධ පවිත්‍ර කර ඉතුරු කළ වී අස්වැන්න බිත්තර වී කොට වපුරයි.

එදින මොහු උදයෙන්ම අවදිව

”සොඳුර මම කුඹුරට යන්නෙමි. නුඹ ගෙපැලෙහි ඇති බිත්තර වී ද, කැඳ ද, රැගෙන එනුයි” කියා නික්මුණි. ඇය ද ඉක්මණින් කැඳ පිස, බිත්තර වී ද ගෙන කුඹුරට පිටත් වූවා ය.

ඇය යන අතරමග දී ශාන්ත සිතැති, ගමනින්, ක්‍රියාවෙන් සංවර වූ භික්ෂූන් වහන්සේ සතර නමක් දැක මෙසේ සිතන්නී ය.

”මා අතෙහි ඇති මේ බීජ කුඹුරෙහි වැපිරූ කල නොයෙකුත් අනතුරු පැමිණීමට පුළුවනි. නමුත් මේ සසරින් එතෙරවීමට වීරිය වඩනා උතුමන්ට එය දුන් කල්හි ඒ පිනට කිසිදු අන්තරාවක් නොවේ. මේ වී කොටා පිස බතක් පූජා කරන්නට ඇත්නම් කෙ තරම් අගනේ ද? දන් දීමට සුදුසු උතුමන්ට පෙර ජීවිතවල දී දන් නො දුන් නිසා අද මා දුගීව සිටිමි” සිතා ඇය භික්ෂූන් වහන්සේලා තම නිවසට වැඩමවා ඇල් වී කොටා බතක් පිස පූජා කොට මෙසේ කී ය.

ස්වාමිනි, අප පෙර ජීවිතවල පින් නො කළ බැවින්, දිළින්දෝ වී සිටිමු. වනයේ හටගත් නොයෙක් කොළ, මුල්, ගෙඩි ආදියෙන් ජීවිකාව කරන්නෝ ය. අවුරුදු තුනක් මුළුල්ලේ මගේ ස්වාමියා රැස්කළ ඇල් වී නැලි සතර බිත්තර වී සඳහා තැබූ නමුත්, මම එය පින සඳහා මෙසේ පූජා කරමි” කී ය.

දානය පිළිගෙන නික්මුණ ඒ සතර තෙරණුවෝ වනයට ගොස් එය වැළඳුහ. ආයුෂ්මතුනි, “අපට දානය පිළිගැන් වූ උපාසිකාව ඉතාමත් ශ්‍රද්ධාවන්තියකි. ඇය වැපිරීමට තිබූ වී කොටා දානය සකසා පූජා කරන ලදී. එනිසා අප ඇයගේ දානයට ණය නො වන්නෝ වෙමු” කතිකා කොට අෂ්ඨාංගික මාර්ගයේ හික්මි අරහත්ඵලය ක්ෂාත් කළෝ ය.

කුඹුරේ වැඩ කර ඉතා වෙහෙසට පත්ව බඩගින්න ද ඉවසනු නො හැකිව නැවත නිවසට පැමිණ ”සොඳුර කුඹුරේ වැඩ කරන මට ඉතා කුසගිනි දැනුනි. කැඳත් බිත්තර වීත් ගෙන නා වේ මන්ද? ඉතා ලොකු ගස් මුල් ඉවත්කොට මනා සේ කුඹුර සැකසුවෙමි. දැන් මට ඉතා කුසගිනි දැනේ’

බිරිඳ ඉතා බියට පත්විය. තමා දුන් දානයෙන් ස්වාමියා දැඩි සේ කිපෙන බව දැන තම ජීවිතය පිළිබඳ ආශාව ද අත්හැර තමා කළ උතුම් ක්‍රියාව පිළිබඳව කී ය.

ඒ කරුණ ඇසු සැමියා දැඩි සතුටට පත්ව,“සොඳුර බිය නො වනු, නුඹ කරන ලද්දේ ඉතා උතුම් ක්‍රියාවකි. යහපත් දානය මහත්ඵල ලාබ දෙන්නේ ය. දානය දී ඉතිරි වූ යමක් ඇත්නම් එය මට ආහාරය පිණිස දෙව. බඩගින්න අධිකව මා දවාලයි” කී ය.

ඇය ඔහුගේ කීමට භාජනවල තිබූ ස්වල්ප වූ ආහාර දුණි. ඔහු අසන්නේ “සොඳුර කුඹුරේ වැපිරීමට කුමන නම් බීජ අප නිවසේ වේ ද”?”ස්වාමිනි, කුඹුරේ වැපිරීමට ලබු ඇට ඇත. එය වපුරන මැනවයි” කී ය.

ඔහු ලබු ඇට ගෙන ගොස් කුඹුරු වැපිරී ය . ඒ ක්ෂණයෙන් ම බීජ පැළ වී වැඩී ඇල්හාල් පිරුණු ලබුගෙඩි වලින් යුක්ත විය. අඹුසැමි දෙපළ කුඹුර පුරා ඇති ලබු ගෙඩි දැක විමතියට පත්ව එයින් එකක් කපා බැලූ විට එය ඇල්හාල් වලින් පිරී තිබෙනු දැක සතුටට පත්ව එයින් ගෙඩි දෙකක් සද්ධාතිස්ස රජු වෙත රැගෙන ගොස්”දේවයන් වහන්ස, මේ ලබු ඇට අද ම සිටු වූයෙමි. අදම වැඩී අදම ඵල දැරූහ. මේ ලබුගෙඩි සියල්ලම ඇල් හාලෙන් පිරී ඇති බවයි සිතෙන්නේ”.

”කම්බුද්දය, අද නුඹ විසින් කුමන නම් පිනක් කරන ලද්දේ ද? එහි මෙලොව විපාකය මෙහිම පෙනේ. පරලොව විපාකය ගැන කුමක් කියන්නෙම් ද?”

”දේවයන්වහන්ස, මගේ බිරිඳ ඉතාමත් ශ්‍රද්ධාවෙන් තෙරුවන් සතර නමකට දානයක් පූජා කළා ය. එය අසා මම ද සතුටු සිතින් අනුමෝදන් වුනෙමි. අප කළේ එපමණ යි”.

කම්බුද්දය, මම නුඹට හිතෛෂි වෙමි. නුඹට ජනපදයක් දෙමි. නුඹේ නමින් ප්‍රකට වේවායි” සද්ධාතිස්ස රජු ඔවුන් කළ ක්‍රියාව පසසමින් කීවේ ය.