Print this Article


ජීවිතයට නිදානයක් දුවේ පුතේ මේ ඔබටයි ...

ජීවිතයට නිදානයක් දුවේ පුතේ මේ ඔබටයි ...

දුවේ, පුතේ අපේ ඉහළම සම්පත ඔබයි. ‘පුත්ථා වත්ථූ මනුස්සානං’ කියනවානේ. ඒ නිසා බුදුහාමුරුවෝ දරුවන් ගැන ලොකු අවධානයක් යොමු කළා. අපේ අනාගතය, රට,සමාජය, ජාතිය, ශාසනයේ අනාගතය බාර ගන්න ඉන්නේ දරුවෝ. පුංචි ඔබට මඟ පෙන්වීම, හොඳින් හදාවඩා ගැනීම වැඩිහිටි අපේ යුතුකමක්. සමාජයට හොඳ දරුවෙක් වෙනවාය කියන්නේ සමාජය දියුණුූ වෙනවා කියන එකයි.

හොඳ ළමයා කියන්නේ කාටද?

බුදුහාමුදුරුවෝ ළමයින්ට හරිම ආදරෙයි. පුංචි දරුවන්ට, පොඩි හාමුදුරුවන්ට බොහොම ආදරෙන් වැදගත් උපදේශ ලබා දී තිබෙනවා . පුංචි දූ පුතුන් කැමැතියි නේද? ඒ කාරණා දැනගන්න.

මුලින්ම මම කියලා දෙනවා පුංචි දරුවෙක් හැදෙන හැටි ගැන. රාහුල පොඩි හාමුදුරුවන්ගේ චරිතය ආදර්ශයට අරගෙන. රාහුල පොඩි හාමුදුරුවන්ට වයස අවුරුදු හතයිනේ. මේ පොඩි හාමුදුරුවන්ට බුදු හාමුදුරුවෝ හරිම ආදරෙයි. නිතර අවවාද දෙනවා. හැමදාම මිදුල අමදින රාහුල පොඩි හාමුදුරුවෝ කුණු රොඩු එක්කරලා. ඒවා ඉවත් කරනවා. එකතු වෙන වැලි ටික උඩට විසි කරලා ප්‍රාර්ථනා කරන්නේ මොනවද දන්නවා ද? මේ වැලිකැට ගණනට මට අවවාද ලැබෙන්න ඕනෑ කියල යි.

අවවාද කියන්නේ දරුවනේ, වැරැදි පෙන්වීමනේ. කෙනෙක් වරදක් පෙන්වන විට අපිට නම් හරියට තරහා එනවා නේද? ඒත් රාහුල පොඩි හාමුදුරුවෝ නම් එහෙම නෑ. උන්වහන්සේට වරදක් පෙන්වා දෙනවා කියන්නේ ‘නිදීනංච පවත්තාරං’ හරියට නිදානයක් පෙන්වා දෙනවා වගෙයි.

පුංචි දරුවනේ, ඔබත් අවවාද දෙන විට , වැරැදි පෙන්වා දෙන විට නිදානයක් වගේ හිතන්නට ඕනෑ. මේ සූදානම් වෙන්නේ පුංචි දරුවන්ට නිදානයක් පෙන්වන්නට යි.

දුවේ, පුතේ බටහිර ලෝකයා දියුණු වෙන විට අප සිටියේ බොහොම දියුණුූ තැනක යි. ඒ දියුණුව ලැබුවේ ආයුෂවලින්. නිදුක් නිරෝගී බවින්. එයට හේතුව දන්නවා ද? ඒ තමයි අපගේ ආහාර රටාව. ජීවන රටාව. අපි කොහොමද? ආහාර ගන්නේ?

බුදුහාමුදුරුවෝ තාත්තා කෙනෙක් වගේ ආහාර ගන්නා ආකාරය ගැන සේඛියා ධර්මවල හරිම ලස්සනට කියා දී තිබෙනවා. ඒවා තේරුම් ගන්නට පුළුවන් වෙන්නෙ හොඳින් සිතා බැලුවොත් පමණයි. ඒත් අද ඉන්න සමහර දරුවෝ නම් හරියට රොබෝලා වගේ, ඉදලක්, කොස්සක්, ගේ මැද වැටිලා තිබුණත් ඒවාට උඩින් පැන යනවා මිස පැත්තකින් අරගෙන තියන්න හිතන්නේ නෑ. ඇයි? කවුරුවත් කීවේ නැති නිසා. රොබෝලා ක්‍රියාත්මක වෙන්නෙත් දත්ත ඇතුළත් කළාමනේ. හිතලා දෙයක් කරන්නේ නෑ.

රටකට ඕනෑ හිතන්න පුළුවන් දරුවෝ. එහෙම නො වුණොත් අපේ රට, ජාතිය, ශාසනය, භාෂාව ටිකෙන් ටික විනාශ වෙනවා.

ඉතින් දරුවනේ, ආහාර කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය ම දෙයක්. ඒවා පෝෂ්‍යදායි ආහාරම විය යුතුයි. කුසගින්නට මොනවා හරි දෙයක් ගැනීම බුදු දහමේ අනුමත කරන්නේ නෑ. අද සමහර දරුවෝ කෙටි ආහාර වර්ගවලට (ෂෝට් ඊට්ස්) පුරුදු වී සිටිනවා. ඒත් කෙටි ආහාර ගන්නා විට හිතන්නට පුරුදු වෙන්නේ නෑ. තුන්වේලට ම බත් ආහාරයට ගත් අපට කෙටි ආහාරවලට පුරුදුවීමත් සමඟ සිතීමේ ශක්තිය නැතිවුණා. අප ආහාර ගන්නේ කොහොම ද? ඒ තමන්ගේ ප්‍රමාණයට යි. ආහාර විසිකරන්නට හොඳ නෑ. එහෙම වුණොත් ලෝසක හාමුදුරුවන්ට වුණ දේ තමයි සිදු වෙන්නේ. ලෝසක හාමුදුරුවන් පෙර කළ පවක් නිසා උන්වහන්සේට ආහාර ලැබුණේ නෑ. ඒ පව කෙ තරම් බලවත් ද කියනවා නම්, උන්වහන්සේ සමඟ පිණ්ඩපාතයේ ගිය සැරියුත් හාමුදුරුවන්ට පවා දානය ලැබුණේ නෑ.

ඒ වගේම මදය පිණිස ආහාර ගන්නේ නෑ.

සැරසිලි පිණිස ආහාර ගන්නේ නෑ. බැබළීම පිණිස ආහාර ගන්නේ නෑ. ශරීරය පවත්වා ගැනීම සඳහා ආහාර ගන්නවා කියලා හිතන්න ඕනෑ. ඒ වගේම දරුවනේ, අපට බඩගින්න නිසා වේදනා දැනෙනවා. දුක දැනෙනවා. අලුත් ලෙඩ රෝග සැදෙනවා. මේ ජීවන යාත්‍රාව පවත්වා ගැනීම සඳහා පමණක් ආහාර ගන්නවා කියලා හිතන්නට ඕනෑ. එවිට ආහාර ගැන තණ්හාවක්, ආශාවක්, ලෝබයක් ඇති වෙන්නෙ නෑ. දරුවනේ, අප ආහාර ගන්නා විට ඇඟිලි පුරුක් දෙකෙන් උඩට ඉඳුල් ගෑවෙන්න හොඳ නෑ. එහෙම වෙනව නම්, බුදුහාමුදුරුවෝ දේශනා කර තිබෙන්නේ ඒ කෙනා පේ‍්‍රත ලෝකයේ ඉඳලා මුලින් ම මනුස්ස ලෝකයට පැමිණි කෙනෙක් කියලයි. ඒ වගේ ම සුරු සුරු හඬ ඇති කරමින් ආහාර ගන්නේ නෑ. චපු චපු ශබ්ද ඇසෙන්න ආහාර ගන්නේ නෑ. කෑම ටික අනලා කට ළඟට ගන්න තුරු කට අරින්නේ නෑ. ඒ විතරක් නෙවෙයි. ආහාර ගන්නා වේලාවට නංගිගේ, මල්ලිගේ, අනෙක් අයගේ ආහාර පිඟාන දෙස බලන්නේත් නෑ.

අපේ ආහාර රටාව ගැන තව කරුණු බොහොමයක් තිබෙනවා. දුවේ, පුතේ, බුදුසරණ පුවත්පත සමඟ සැමදාමත් ඉන්න ඕනෑ. ඉදිරියට අපි, පුංචි ඔබගේ ජීවිතයට වැදගත්වන බොහෝ දේ කියා දෙනවා.