Print this Article


සංසාර ගමන සම්පූර්ණයෙන් නැති කළ නිසා අරහං නම් වන සේක

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 21

සංසාර ගමන සම්පූර්ණයෙන් නැති කළ නිසා අරහං නම් වන සේක

" මම, මේ ජීවිතයේ දී ම මේ විදිහට ධර්ම දේශනා කරලා, මරණාසන්න වෙලාවේ දී මට ඒවා මතක් වෙනවා. එතකොට මම ප්‍රාර්ථනාවක් කරනවා. මේ ධර්ම දේශනාව අවසානයේ දී, මට මැරෙන මොහොතේ දී මේ කළ ධර්ම දේශනාව සිහිවේවා කියා."

මට මේ ඇතිවන ධර්ම රසය, රසාරම්මනයක් වෙන්නේ නෑ. නමුත් මෙතනදී මගේ මුඛයේ තිබෙන යම්කිසි රසයක් දිවට තේරෙනවා නම් ඒ වෙලාවේ මට රසය නිසා ඇතිවෙනවා චිත්තපරම්පරාවන්. ඉන්පසු ස්පර්ශය. දැන් මම පුටුවේ වාඩිවෙලා ඉන්න ස්පර්ශය, විජිනිපත අතේ තියාගෙන ඉන්න ස්පර්ශය, නිසා ඇතිවෙනවා චිත්ත පරම්පරාවන්. මෙලෙස ආයතන නිසා චිත්තපරම්පරාවන් ඇතිවුණා. මේ ආයතන නිසා ම ඇති වෙනවා, සම්ඵස්ස ය. සම්ඵස්ස කියා කියන්නේ ඇසේ පහළ වන චක්ඛු සම්ඵස්ස ය. එනම් මේ ඇසයි බාහිර රූපයයි නිසා හටගන්නවා විඤ්ඤාණඛය සමඟ නාම ධර්ම සමූහය මෙතන සම්පූර්ණ වෙනවා චක්ඛු සම්ඵස්සය.

මේ සම්ඵස්සය නිසා ඇතිවන්නේ චිත්ත පරම්පරාව. චිත්ත පරම්පරාවෙහි ඇතිවුණේ කුසල් සිතක් නම්, එය සෝමනස්ස වේදනාවයි. උදාහරණයක් ලෙස මම දැන් දකිනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දකින කොට බුදුරජාණන් වහන්සේ කියන්නේ බාහිර රූපයක්. මේ රූපය නිසා චක්ඛු විඤ්ඤාණ සිත පහළ වෙලා චිත්ත පරම්පරා දිගට පහළ වෙන කොට බුදුරජාණන් වහන්සේ නිසා චක්ඛු සම්ඵස්සය පහළ වෙලා, ඊට පස්සේ පහළ වෙනවා කුසල් ජවන්. මේ පහළ වෙන කුසල් ජවන් සෝමනස්ස සහගත නම්, සෝමනස්ස වේදනාව හට ගන්නවා. එනම් ‘ඵස්ස පච්චයා වේදනා’ හටගත්තා. මේ වේදනාවෙන් පස්සේ මම හැම වේලේම හිතනවා, අනේ මට හැමදාම මේ වාගේ බුද්ධ පින්තූර දකින්න තියෙනවා නම්, බුදු පිළිම දකින්න තියෙනවා නම්, කොච්චර හොඳ ද කියා. සාධුකාර දෙනවා. එකී කැමැති ආශාව ඇතිවෙනවා. එය වේදනාව නිසා තණ්හාව ඇති වීමයි. අන්න ආශාව හටගත්තා. සෝමනස්ස වේදනාවෙන් ආශාව, නැවත ක්ලේශ වට්ටය පටන් ගත්තා.

වේදනාව දක්වා විපාක වට්ටයයි. එවිට අපේ මේ ජීවිතේ වේදනාව දක්වා ම එන්නේ විපාක වට්ටය. ඊට පස්සේ නැවත ඇතිවෙන්නේ ක්ලේශ වට්ටය. තණ්හාව කියන්නේ ක්ලේශ වට්ටය, උපාදානය කියන්නේ ක්ලේශ වට්ටය. මම බුදුරජාණන් වහන්සේ දැක සිත පහදවාගෙන වන්දනා කරනවා. ඒ වන්දනාව කිරීම දක්වා මට ඇතිවුණා හොඳ වේදනා. කුසල වේදනාවන්. මම මේකට ආශා කරනවා. තණ්හාව ඇතිවෙනවා. ඊළඟට උපාදානය නිසා නැවත ක්ලේශ වට්ටය සකස් වෙනවා. රහතන් වහන්සේ නමක් දෙස බලන්න. රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. උන්වහන්සේටත් චක්ඛු සම්ඵස්සය ඇති වෙනවා. වේදනාව ඇති වෙනවා. හැබැයි උන්වහන්සේ වේදනාවෙන් එහා තණ්හාවට යන්නේ නෑ. ඇයි? උන්වහන්සේ ළඟ අවිද්‍යාව නෑ. තණ්හාව නැති කරලා. අපි දැන් කරන දේ ම උන්වහන්සේ කරනවා. නමුත් අපට ඇතිවෙන වේදනාව කුසල වේදනාවක්. උන්වහන්සේට ඇතිවන වේදනාව ක්‍රියා වේදනාවක් . ක්‍රියා වේදනාවෙන් එහා පැත්තේ උපාදාන නැහැ.

නමුත් අපේ වේදනාවෙන් එහා පැත්තේ තණ්හා උපාදාන තියෙනවා. රහතන් වහන්සේ නමක් දානයක් දෙනවා. මළු ඇමදීම කරනවා, මල් පහන් පූජා කරනවා, උන්වහන්සේට කුසල් සිත් පහළ වෙන්නේ නෑ. පහළ වන්නේ ක්‍රියා ජවන්. ක්‍රියා ජවන්වලින් එහා පැත්තේ තණ්හා උපාදානයක් ඇතිවෙන්නේ නෑ. නමුත් අපි දානයක් දෙනකොට, සිල් සමාදන් වෙනකොට, මල් පහන් පූජා කරන විට, ඇතිවෙන්නෙ කුසල් ජවන්. ඒ වේලාවේ පහළ වුණේ සෝමනස්ස වේදනා. ඒ වේදනාවෙන් පස්සේ අපි ඒ කුසලය අල්ලගන්නවා තණ්හාවෙන්. ඉන් පසුව උපාදාන කරගන්නවා. දැන් ක්ලේශ වට්ටය සකස් වුණා. ඊටත් පසුව ‘භව’ කියන කොට කම්ම භව, උප්පත්ති භව කියා තේරුම් දෙකක් තියෙනවා. කම්ම භව කියා කියන්නේ කර්ම ශක්ති. එනම් සංස්කාර . අපි හිතමු දැන් මම මේ ජීවිතයේ දී ම මේ විදිහට ධර්ම දේශනා කරලා, මරණාසන්න වෙලාවේ දී මට ඒවා මතක් වෙනවා. එතකොට මම ප්‍රාර්ථනාවක් කරනවා. මේ ධර්ම දේශනාව අවසානයේ දී, මට මැරෙන මොහොතේ දී මේ කරපු ධර්ම දේශනාව සිහිවේවා කියා. එවිට මරණාසන්න මොහොතේ දී මට එය මතක් වෙනවා. ඇයි? තණ්හා උපාදානයන්ගෙන් මම මේ කුසලය ක්ලේශ වට්ටන්යගෙන් අල්ල ගත්තා. ඒ නිසා කම්මභවයට පත් වුණා. මරණාසන්න වෙලාවේ, ඒ නිසා ම උප්පත්ති භවය හෙවත් ජාතිය නැවත සුගතියක උප්පත්තියක්, ප්‍රතිසන්ධි අවස්ථාවක් හදලා දුන්නා. නැවත ජරාවට ව්‍යාධියට මරණයකට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කියන සංසාර චක්‍රය සියල්ලක් ම සම්පූර්ණයෙන් ම නැති කළා. ඒ බවයි මෙසේ දේශනා කර තියෙන්නෙ.

අනේක ජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසී පුනගේහං න කාහසි
සබ්බා තේ ඵසුකා භග්ගා
ගහකූටං විසංකිතං
විසංඛාර ගතං චිත්තං
තණ්හානං ඛයමජ්ඣගා

“භවයෙන් භවයට නොයෙක් ජාතියක් ජාතියක් ගානේ නැවත පුනර්භවයක් ඇතිකළ මේ අවිද්‍යාදි අංගයන්ගෙන් සකස් කර ගත්ත මේ ගෘහය, මේ පංචස්කන්ධ කූඩුව, සකස්කරන වඩුවා හොයාගෙන ආවා. මම මේ වඩුවා දැක්කා. ඔහුගේ ගරාදී පරාල සියල්ලක් ම මම සිඳ දමා ඉවත් කළා. නැතිකළා. නැවත ශරීර කූඩුවක් සකස් කරන්න, වඩුවෙක් නැහැ. එසේ ඇති කරන තණ්හාව, උපාදාන නැතිකර ගත්තා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍ය දේශනා කළා. එතකොට දැන් පැහැදිලියි. තථාගතයන් වහන්සේගේ මුල්ම බුද්ධ වචනයෙන් ප්‍රකාශ වුණේ මොකක් ද? ප්‍රකාශ කරන්නෙ මොකක් ද? සම්පූර්ණයෙන් ම පටිච්ච සමුප්පාදය. සසර භවයෙන් භවයට අප ගෙන යන. මේ සසර අවයව, භව අංග, අවිද්‍යා ආදී අංග සියල්ලක් ම අරිහත් මාර්ගය ඤාණයෙන් උන්වහන්සේ සම්පූර්ණයෙන් ම නැති කළා. ඒ නිසා ‘අරහං’ යන නාමයෙහි තව තේරුමක් තිබෙනවා. මොකක් ද? මේ පටිච්ච සමුප්පාදය හෙවත් සංසාර ගමන, සිඳලු බැවින් ය.

ඛන්ධානඤ්ච පටිපාටි – ධාතු ආයතනානි ච
අබ්භොච්ඡින්නං වත්තමානං - සංසාරොති පවුච්චති

ස්කන්ධ ආයතන, ධාතුන්ගේ, නොසිදි පවත්නා ගමන තමයි සංසාරය. මේ සංසාර ගමන, සංසාරය සම්පූර්ණයෙන් ම නැතිකළ නිසා අපි කියනවා අරහං කියා.