Print this Article


සීහළවත්ථු කතා : අසංවර වචනයේ විපාක

සීහළවත්ථු කතා :

අසංවර වචනයේ විපාක

ඈත අතීතයේ තාබ්‍රපර්ණ දිවයිනෙන් බොහෝ භික්ෂූන් වහන්සේ පිරිසක් මහා බෝධින් වහන්සේ වන්දනා කිරීමට නික්මුණහ. මහකොණ්ඩ නම් ස්ථානයේ දී නැව් නැගී කාවේරි පටුනෙන් ගොඩ බැස පිළිවෙලින් ගම් නියම්ගම් පසුකොට ගොස් මහ වනයට පිවිසිය හ. වනයේ දී උන්වහන්සේලා නො සිතු ලෙස අතරමං වූහ. මංමුළා වූ උන්වහන්සේ සත් දිනක් පුරා ඇවිදිමින් යද්දී ඇත් රැළක් ගිය මඟක් දැක ඒ ඔස්සේ ගමන් කළහ.

හදිසියේ ම නගුලක් ගෙන ගොනුන් යොදා සී සාන පේ‍්‍රතයකු දැක මිනිසෙකු යැයි සිතා ඔහු වෙත ගොස්

”පින්වත, අප සත් දිනක් මුළුල්ලේ මං මුළා වී සිටිමු. නුඹ ගමට යාමට මාර්ගය දන්නේ නම් අපට කියව”

”ස්වාමිනි, නුඹ වහන්සේලා සත් දිනක් මංමුළා වූවෝ ය. මම වනාහි අවුරුදු බොහෝ ගණනක් මුළා වී සිටිමි”

”එ තරම් දීර්ඝ කාලයක් නුඹ කුමක් හෙයින් මංමුළා වූයෙහි ද? නුඹ කවරෙක් ද? පෙර කිනම් කර්මයක් කළේ ද?”

”ස්වාමිනි, මම කාශ්‍යප බුද්ධ කාලයේ දී මිනිසෙක් ව ඉපිද, මුවින් පව්කම් කොට, කෘෂි පේ‍්‍රතභාවයට පැමිණියෙමි. මට ආහාර පානයක්, හිඳීමක්, නිදීමක් නැත. රෑ දවල් දෙකෙහි සී සාමින් ම කල් ගත කරමි. මෙසේ සී සාන මාගේ සිරුර ද,නගුල ද, නගුල් තලය හා කෙවිට ද, ගොන්නු ද ගින්නෙන් දැවෙති. මෙසේ බොහෝ අවුරුදු ගණනක් කායික මානසික දුක් විඳිමින් දැවෙමි. කර්මයාගේ දැඩි බව බලනු මැනව.”

”පේ‍්‍රතය, නුඹ විසින් කෙබඳු පාප කර්මයක් වචනයෙන් කරන ලද්දේ ද? සංවේගජනක වූ එය අපට ද පවසනු මැනව.”

”ස්වාමිනි, අතීතයේ කසී රට කිකී රජ කෙනෙකු රාජ්‍යය කරවී ය. ඒ රජුගේ රාජධානිය බරණැස් නුවර විය. ඒ නුවර ආශ්‍රය කොට කාශ්‍යප බුදුරදුන් කලක් විසූ සේක. උන්වහන්සේ වස් පවාරණය කොට සත්ත්වයන්ට අනුකම්පා පිණිස මා වසන ගමට පිඬු පිණිස වැඩි සේක. ඒ ගම්වැසියෝ ආහාර රැස් කොට ශ්‍රාවකයන් සහිත කාශ්‍යප බුදුරජාණන් වහන්සේට දනට ආරාධනා කළහ. එ කල්හි මම නගුල කර ගසාගෙන ගොනුන් සමග සී සෑමට ගියෙමි. මා දුටු එක් නෑයෙක් මට අනුකම්පා කරමින් මෙසේ කීවේ ය.”

”ලෝකනායක වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ගමට වැඩ සිටිති. මිනිසුන් ශක්ති තරමින් උන්වහන්සේට පුද පූජා දානමාන පිළිගන්වයි. නුඹ කුමක් නිසා පුද පූජා නො කරන්නෙහි ද?

ස්වාමිනි ඔහුගේ කීම අසා අසතුටට පත් මම, නුවණින් නො විමසා “ඒ බුදුරජාණන් වහන්සේ අද මගේ කුඹුර සී සා දෙන්නේ නම් මම ද උන්වහන්සේ පුදමි. මා කුඹුරට නො ගියොත් එහි වැඩ නො කෙරෙන්නේ ය”. කීමි.

මනුස්ස ලෝකයේ ආයුෂ අවසන් වූ පසු ඒ කර්ම විපාකයට මම පේ‍්‍රත ලෝකයේ ඉපදුණි. ස්වාමිනි, මුඛයෙහි හටගත් කඩුවකින් දුක් ඇතිවන්නා සේ මම මාගේ වචනය නිසා මෙවැනි මහත් වූ කටුක දුකකට පැමිණියෙමි. ඒ දුක වැඩී ගියේ ය. නුවණැත්තෙහි වචනය සංවර කර ගත යුතු වන්නේ ය. වචනය සංවරය නො කළ මා දැක සංවේගයට පැමිණෙනු මැනවි. එසේ සංවේගයට පැමිණ වහා වහා සසර දුකෙන් මිදෙනු මැනවි කියා මෙසේ ද ඇසී ය.

”ස්වාමිනි, ඔබ වහන්සේලා කාගේ ශ්‍රාවකයන් ද?”

”පේ‍්‍රතය බල දහයකින් හා විශාරද ගැන සතරකින් යුතු වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ නමක් වී නම් අනි උන්වහන්සේගේ ශිෂ්‍යයෝ වෙමු.”

”ස්වාමිනි, ගෞතම මුනිඳු ලොව පහළ වී නම්, පේ‍්‍රත ලෝකයේ මාගේ ආයුෂ ද අවසන් ය. ඉදින් මම දැන් අවීචියේ ඉපදීමට නියමිත ය. කාශ්‍යප - ගෞතම බුදුවරුන් අතර කාලය බොහෝ දීර්ඝ ය. ඒ කාලයේ පේ‍්‍රත ලෝකයට පැමිණ මේ දරුණු දුක් විඳි මට ගණන් කළ නො හැකි තරම් වසර සංඛ්‍යාවක් ඉක්ම ගියේ ය. අවීචියට ගොස් ඒ පාපයේ ඉතිරි විපාක ගෙවීමට ඇත. ප්‍රමාදයෙන් හා ලෝභයෙන් හටගත් ඒ කර්මය මෙසේ මහත් බවට පත් විය. ගුණයෙන් පෝෂිත උතුමන්ට කළ අපරාධය මෙසේ දුක් විපාක දුන්නේ වෙයි. ඔවුන් කෙරෙහි සිත් පහදවන්නන්ට ද යහපත් විපාක එලෙසම ලැබේ යැයි පේ‍්‍රතයා කී ය.

පේ‍්‍රතයාගේ විස්තර ඇසූ භික්ෂූන් වහන්සේලා බොහෝ සංවේගයට පත්ව එතැනින් වැඩි සේක.