Print this Article


බුදුපිළිමයේ උපත - 96: රාම ග්‍රාමයේ සර්වඥ ධාතුන් වහන්සේලා

බුදුපිළිමයේ උපත - 96:

රාම ග්‍රාමයේ සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ නිධන් කළ වගයි

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග
 
පුරාවිද්‍යා 
Msc පර්යේෂණ

කුසිනාරා පුදබිමෙහි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව මකුටබන්ධන නම් පුදබිමෙහි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ බව ඉතා ප්‍රකටය. අනතුරුව ද්‍රෝණ බ්‍රාහ්මණයාගේ මූලිකත්වයෙන් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා අට කොටසකට බෙදා දීම ගැන සඳහන් කරන මහාපරිනිබ්බාන සූත්‍රය රාම ග්‍රාමයෙහි කෝලිය රජවරුන් පැමිණ එම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ලබාගත් බව සඳහන් කරයි. (මහා පරිනිබ්බාන සූත්‍රය – සනත් නානායක්කාර පි. 109- බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය දෙහිවල – 1999)

රාජ වර්ෂ (ක්‍රි.ව.) 400-414 කාලය තුළ දී චීන ජාතික පාහියන් හිමියන් කපිලවස්තු පුරයට නුදුරින් පිහිටි රාම ග්‍රාමයට පැමිණි බව උන්වහන්සේගේ වාර්තාවල සඳහන් වෙයි.එම විස්තරයෙහි සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කොට ඉදිකළ ස්තූපය තිබූ බව උන්වහන්සේ දුටු පුවත ද එහි සඳහන් වේ.

අධිෂ්ඨාන පහ

අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ සල් උයනේ පිරිනිවන් මංචකයේ වැඩ සිටි අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන පහක් සිදු කළ බව මහාවංසයේ මෙසේ සඳහන් වේ.

‘පරිනිර්වාන මංචකයෙහි වැදහොත්තා වූ පසස් ඇති සර්වඥයන් වහන්සේ විසින් මහා අධිෂ්ඨාන පසක් කරන ලද්දේ ය.

අසෝක නම් රජහු විසින් ගන්නා ලබන්නා වූ මහාබෝධි දක්ෂිණ ශාඛා තොමෝ තොමෝ ම සිඳී කටාරමෙහි පිහිටාවා ඒ ශාඛා තොමෝ පිහිටා සියලු දිගුන් රඳවමින් රඳවමින් ඵලපත්‍රයන් ගෙන් යහපත් වු සවණක් රැස් මුදාවා සිත්කලුවූ ඕතොමෝ රන් කටාරම සහිත වූවා අහසට නැගී සද්දිනක් අදෘශ්‍යමානව හිමංගයෙහි සිටීවා. ථූපාරාමයෙහි පිහිටන්නා වූ මාගේ දකුණු අකුධාව අහසට නැගී යමා මහ පෙළහර කෙරේවා. ලංකාවට ආභරණයක් වු රුවන්වැලි සෑයෙහි පිහිටන්නා වූ ප්‍රමාණයෙන් ද්‍රෝණයක් පමණක් වූ ධාතූහු බුද්ධ වෙසධරව නැගී අහස සිටියාහු .යමා මහ පෙළහර කොට පිහිටත්වා’යි මේ අධිෂ්ඨාන පස තථාගතයන් වහන්සේ ඉටා වදාළ සේක.

(මහාවංසය – පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි සහ බටුවන්තුඩාවේ පඬිතුමා 17 වැනි පරිච්ඡේදය පි. 69-70 ගාථා 46-53)

රුවන්වැලි මහා සෑයේ ශ්‍රී සර්වඥ ධාතු නිධානය සඳහා කටයුතු ගැන මහාවංසයේ ම 31 වැනි පරිච්ඡේදයේ සෝනුත්තර තෙරුන් වහන්සේ භාර කළ අන්දම මෙසේ සඳහන් වේ.

‘නරේන්ද්‍ර තෙම ( දුටුගැමුණු රජතුමා ) ධාතු ගර්භයෙහි කම් නිමවා සංඝයා රැස්කරවා ස්වාමීනි, ධාතු ගර්භයෙහි කටයුතු කර්මයෝ ම විසින් නිමවන ලද්දාහු ය. සෙට දින ධාතු නිධානය කරන්නෙමි. ධාතුන් දැනගනු මැනවැයි මේ වචන සැළ කළේ ය. මහරජ තෙමේ මේ වචනය කියා නුවර ට වන්නේ ය. ඉක්බිත්තෙන් භික්ෂු සංඝ තෙම ධාතු ගෙන ඊට කරනු හැකි වූ යතිනමක් සිතා පුදපිරිවෙන් වැසි ෂට් අභිඥා ප්‍රාප්ත වූ සෝනුත්තර නම් යතිහු ධාතු ගෙන ඊට කර්මයෙන් යෙදූ සේක.

(මහාවංසය 31 වැනි පරිච්ඡේදය පි. 116)

එහෙයින් සංඝතෙමේ මේ සෝනුත්තර නම් භික්ෂූහු සොළොස්වස් නමුත් ඒ කර්මයෙහි යෙදු සේක. ඒ සෝනුත්තර යති තෙමේ කොයින් ධාතු ගෙන එමිදැයි සංඝයා පිළිවිසියේ ය. ඒ සංඝ තෙමේ ධාතූන් ගැන මෙසේ වදාළ සේක.

පරිනිර්වාන මංචකයෙහි වැද හොත්තා වූ ලෝකස්වාමි (බුදුරජාණන් වහන්සේ) තෙමේ ධාතුන් කරන කොට ගෙන ද ලෝවැඩ කරන්නට ශක්‍ර දේවේන්ද්‍රයාට (මෙසේ) වදාළ සේක.

‘දේවේන්ද්‍රය, මාගේ ශාරීරික ධාතු ද්‍රෝණ අට අතුරෙන් එක් ද්‍රෝණයක් රාම ග්‍රාම – කෝලිය රජුන් විසින් ද සත්කාර කරන ලද්දේ එයින් නා ලොවට ගෙන යන ලද්දේ නාගයින් විසින් පුදන ලද්දේ එයින් ලක්දිව මහාථූපයෙහි නිධානය පිණිස වන්නේය, “දීර්ඝ දර්ශී වූ මහා කාශ්‍යප මහා ස්ථවිර තෙමේ ද ධර්මාශෝක නරේන්ද්‍රයන් විසින් ධාතු පතුරුවන කාරණයෙන් රජගහනුවර සමීපයෙහි අජාසත්ත රජහු ලවා මහා ධාතු නිධානය කරවන සේක. ධාතුන් සම්බන්ධ වු ද්‍රෝණ සතක් ගෙනවුත් යහපත් සේ රැස්කොට කර වු සේක. සර්වඥයන් වහන්සේගේ සිත දන්නාසේක් රාමග්‍රාමයෙහි තිබූ ද්‍රෝණය නොගත් සේක. ධර්මාශෝක මහීපාල තෙමේ ද ඒ මහා ධාතු නිධානය දැක අට වෙනි ද්‍රෝණය ගෙන්වන්නට මතියක් කළේ ය. ඒ රහත් භික්ෂූහු සර්වඥයන් වහන්සේ විසින් එය මහාථූපයෙහි (රුවන්වැලිසෑයෙහි) නිධානය පිණිස නියම කරන ලද්දේ ය යි ධර්මාශෝක නරේන්ද්‍රයන් වැළැක් වූසේක. (මහාවංසය පි. 117)

රාම ග්‍රාමයේ තිබූ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර තිබූ ස්තූපයට සිදුවූ දේ ගැන ඉන්පසු මහාවංසයේ මෙසේ සඳහන් වේ.

‘රාමග්‍රාමයේ වූ ථූපය වනාහි ගංඉවුරෙහි කරන ලද්දේ ය. එහෙයින් ගංගාවෙහි මහ ජල ප්‍රවාහයෙන් බිඳුණේය. ඒ ධාතු කරඬුව වනාහි සමුද්‍රයට ප්‍රවිෂ්ට ව එහි ජලය දෙබෑව බුන් කල්හි නානාවිධ රත්නයන්ගේ මස්තකයෙහි රශ්මියෙන් ගැවසී සිටගත. නාගයෝ ඒ කරඬුව දැක මජේරික නම් නාග භවනයට ගොස් කාළ නම් නාග රජහට දැන්වූහ.

(මහාවංසය 117 පිටුව)

ඒ නා රජු සර්වඥධාතුන් වහන්සේලා සඳහා ථූපයක් ද ගෙයක් ද කරවා වැඳුම් පිදුම් කර ඇත.

පිරිවනෙහි වැඩහුන් සෝනුත්තර යති තෙමේ රජුගේ නිශ්ක්‍රමාරම්භයහි නගරයට පැමිණෙන බව දැන පොළව කිමිදී නාග භවනයට ගොස් නා රජු ඉදිරියේ පහළ වූහ. නාරජ හුනස්නෙන් නැගී සිට කොහි සිට වැඩියේදැයි අසා පළඟෙහි හිඳු විය. පැමිණි කරුණ නා රජු ඇසුවේ ය.

සෝනුත්තර හිමියන් නා රජු අමතා සර්වඥයන් වහන්සේ විසින් මහා ස්තූපයෙහි නිධාන කරනු පිණිස නියම කර වදාරන ලද්දාවූ ධාතුන් මෙහි ඔබ භාරයේ ඇති නිසා ඒවා ලබා දෙන ලෙස සෝනුත්තර හිමියෝ නා රජු ට පැවසූහ. සර්වඥධාතුන් වහන්සේ සෝනුත්තර හිමියන් ට දීම නා රජු ප්‍රතික්ෂේප කළේ ය. වාසුලදත්ත නම් බෑණාට නා රජු පැවසුවේ ධාතූන් වහන්සේලා තිබූ කරඬු ගෙන පලා යන ලෙස ය. කෙසේ හෝ සෝනුන්තර හිමියන් එම සර්වඥධාතු කරඬුව රැගෙන රුවන්වැලි සෑයෙහි නිධන් කිරීම සඳහා දුටුගැමුණු රජතුමා ට භාරදුන් බව මහාවංසයේ 31 වැනි පරිච්ඡේදයේ සඳහන් වේ.

මේ පිළිබඳ ඉතා දීර්ඝ විස්තරයක් මහා වංසයේ 31 වැනි පරිච්ඡේදයෙහි සඳහන් වේ. (මහාවංසය 31 වැනි පරිච්ඡේදය)


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 95: නේපාලයේ පුරාණ කපිලවස්තු රාජධානිය