Print this Article


වටිනාකම් නො වටිනා තැන ...

වටිනාකම් නො වටිනා තැන ...

සොඳුරු යැයි සිතුව ද,පුන්සඳ නොවේ නම් බොහෝ තරු පායා ඇති රැයක ද අහස අඳුරු ය. සම්පතක් යැයි සිතුව ද පින්මද පුතුන් නම් බොහෝ වුව ද, ඔවුන්ගෙන් වන ඵලක් නම් නැත. එක පුන්සඳින් රැයේ ගණඳුරු, මැකී යන්නා සේ ලෝකය එළිය වන්නට නම් ඒ, නැණ ගුණ දම් පිරි පුතුන් ම විය යුතු ය.

පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු

සුභාෂිතය අපට කීවේ එලෙස ය. වෙසෙසින් බොදු පරිසරයක හැදෙන වැඩෙන දරුවන් පින් ඇති අය මිස පින් මද අනුවණයන් නො විය යුතුම ය. බොදු දහමින් සුපෝෂිත වූ එදා අපේ අධ්‍යාපනය තුළ දරුවාට ගොඩ නැඟෙන්නට ඕනෑ පරිසරය අපූර්ව ලෙස නිර්මාණයවන ලෙස අපේ අධ්‍යාපනය ගුණ – නැණ දෙකෙන් ම සපිරුණි. එහෙත් පසුගිය අවුරුදු විස්ස විසිපහ තුළම නැණ පමණක් ඉතිරි වී ‘ගුණ’ නම් වූ මහාර්ඝ සංකල්පය ටිකෙන් ටික නැති වී ගියේ ය.

ශිෂ්‍යත්ව විභාගය මහා කඩඉමක් සේ සලකමින් අපේ බොහොමයක් අම්මලා දරුවන්ගේ නැණ මිස ගුණ වර්ණනාවෙන් ඉවත් වූහ. වැඩිහිටියන්ට සලකන, සහෝදර සහෝදරියන්ට ගරු කරන තැනක බෙදා හදාගන්නා තැනක, දුකේ දී කරදරයකදී යහළුවෙකුට පිහිට වූ විටෙක ‘හොඳ පුතා” “මගේ හොඳ දුව” යැයි අගයන්ට අමතක වී ගියේ ය. ඒ වෙනුවට ගණිතයට පරිසරයට, භාෂාවට ලද ඉහළම ලකුණු අනුව දරුවාගේ වටිනාකම ද ඉහළ පහළ ගියේ ය. සමහර ගුරු මව්පියවරු ද ඒ මඟම ගත් සෙයක් ඇතැම්විට අපි දුටුවෙමු. ඒ තුළ හොඳම ළමයාට ලකුණු දෙන ක්‍රමවේදයක් නිර්මාණය නො වුණේ ය.

ඊට සාපේක්ෂව අපේ දරුවන්ට, විශේෂයෙන් පිරිමි ළමයින්ට පිරිමි ගුරුවරුන්ගේ ඇසුර අඩු විය. ගුරුවරියගේ වැඩි අවධානය ලැබුවේ ගැහැනු දරුවා ය. වඩාත් ශික්ෂණය කරවූයේ ගැහැනු දරුවා ය. එතැන දී පිරිමි දරුවන්ට පාඩුවේ ඉන්නට ඇති ඉඩකඩ වැඩි විය. අප කුඩා කල පිරිමි ගුරුවරුන්ගෙන් ලැබුණු අවවාද උපදේශ ජීවිතයේ මහා පෞරුෂයක්,ශික්ෂණයක් ගොඩනඟා ගන්නට මහා ශක්තියක් විය. එහෙත් මෑත ඉතිහාසයේ දරුවන්ට ඒ වටිනාකම් ප්‍රමාණවත් ව නො ලැබුණි.

ගුණ දහම් ගැන අම්මා, තාත්තාගේ බලපෑමත් බොහෝ දුරට අහිමි වී, ඒ සඳහා ගුරුවරියන්ගේ සැලකිල්ලද අඩු වු තැන හිදැස පුරවන්නට ඉදිරිපත් වුණේ ජංගම දුරකථනය යි. එහි බලපෑම මො නතරම් ද කියනවා නම්, දරුවා කුඩා කාලයේ දී ම වැඩිහිටියෙක් කළේ ය. ළමාකම නැති කළේ ය. අද හය , හත පන්තිවල ඉගෙන ගන්නා සමහර දරුවන්ගේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ, වැඩි උද්‍යෝගය ඇත්තේ ද ජංගම දුරකතනයට ය. තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක් ලෙස සමාජයේ පිළිගත් වෘත්තීයවේදියෙක් කරන්නට මවුපියන් සිහින දුටුවද, ඒ වෙනුවෙන් දිවා රෑ ගත වෙහෙස වූව ද සමහර දරුවන් ඉව අල්ලන්ගේ , අනුකූලතාව දක්වන්නේ ළමාකම ඉක්ම වූ, වැඩිහිටියන් කරන දේ කරන්නට ය. ඉගෙනීම ද, ගුණ ධර්ම ද වියැකෙන්නේ එතැන දී ය.

සමහර පිරිමි දරුවන්ට ඇවැසි ගැහැනු ළමයින්ට තමන්ගේ පෞරුෂය පෙන්වීමට ය. පෞරුෂය යන්න වරදවා වටහා ගනිමින් වෙසෙසින් ‘බිග් මැච්’ කාලයන්හි ගැහැනු දරුවන්ගේ පාසල්වලට ගේට්ටු කඩා බිඳගෙන යන්නට තරම් නපුරු වූ අවස්ථා පසුගිය කාලයේ තිබුණි. අතළොස්සක් වුව ද සදාචාරාත්මක නො වන, බොදු හැදියාවට නො ගැලපෙන මෙවැනි දේ සුළුවෙන් සිතා බැහැර කිරීම නුසුදුසු ය. ඊටත් වඩා බරපතල දේ අනාගතයේ දී කරන්නට මේ දරුවන් ම පෙළඹිය හැකි බැවිනි.

ජාතීන් දෙකක් අතර පසුගියදා සිදු වූ අප්‍රසන්න සිදුවීමට මුල් වූයේ නිසි අධ්‍යාපනයක් නො ලැබූවන් ය. ඒ අය පසුපස ගිය නූගතුන්ට ද එකම රටක, එකම ගමක, ජීවත්වන, එකම වෙළෙඳ සැලෙන් බඩු මිලදී ගන්නා අයට සුළු සිද්ධියක් බේරා ගන්නට නො හැකි තරමට ගුණධර්ම සෝදා පාළුවට ගොස් තිබුණේ ය. මෙවැනි දේ සිදු වන්නේ ගුණ දහම් උගන්වා නො තිබීමේ වරද නිසාම නොවේ ද?

රෝහලක දී අපට භේද නැත. එකම රෝහල් ඇඳක විටින් විට සියලු ජාතීන්ට අයත් අය ප්‍රතිකාර ගනිති. මිය ගියේ නම් එකම මෝචරියේ සුළු වේලාවකට හෝ රැඳෙති. රෝගයේ හැටියට මිස ජාතියේ හැටියට, ආගමේ හැටියට ප්‍රතිකාර නො ලැබෙති. රෝහලේ දී භේද නො තකා ඉන්නට හැකි නම්, පාසලේ දී භේද කුමටද? ඉතිහාසයේ වරදක් සිදු විය. ඒ ජාතීන් අනුව පාඨශාලා වෙන් කිරීම ය. ඒ පුරුද්ද නිවැරැදි කර ගන්නට, ලෝකයේ දියුණු ක්‍රමවේදයන්ට යන්නට අපට තවමත් බැරි විය.

මුස්ලිම් ළමයින් පමණක් ඉගෙන ගන්නා පාසලක ළමයා සිංහල හෝ අන්‍ය ජාතියක ආගමක ළමයින්ගේ ගති ගුණ නො හඳුනන්නේ ය. බෞද්ධ ළමයින් පමණක් ඉන්නා පාසල්වල ඉගෙන ගන්නා ළමයා ඉස්ලාම්, හින්දු ආගමේ ළමයින් නො හඳුනන්නේ ය. ඔවුනොවුන් අතර සුහද හමුවක් නැත. එක පැත්තකින් බලන්නේ, ක්ෂණික තීන්දු තීරණ ගන්නේ, භේද ඇති කර ගන්නේ මේ නිසා ය. රට ,ජාතිය, ආගම, සංස්කෘතිය කිළිටි කරන්නේ, ලෝකයක් ඉදිරියේ අපහාස විඳින්නේ ඒ පටු ආකල්ප නිසා ය.

අපේ ළමා පරපුරෙහි සිත්වලට කා වැදිය යුතු ම දෙයක් තිබේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මිනිස්කම ලැබීම දුර්ලභ කරුණක් බව ය. ඒ මිනිස්කමට ගරු කරන්නට දරුවන් හුරු කළ යුතු ම ය. එමෙන්ම කෝප ගැන්වී පහර නො දිය යුතු ස්ථාන තුනක් පිළිබඳ ව කිසි ලෙසකින් හෝ කඩ නො කළ යුතු ආකල්පයක් ඔවුන්ගේ සිත් තුළ වර්ධනය කළ යුතු ය. පළමුවැන්න ආගමික සිද්ධස්ථාන ය. දෙවැන්න පාසල ය. තෙවැන්න රෝහල ය. එය සියලු ජාතීන්ගේ සිත් තුළට දැඩිව ග්‍රහණයට ගත යුත්තකි. එක් කලෙක යාපනයේ පුස්තකාලය ගිනි තැබීම කෙළවර වූයේ තිස් අවුරුද්දක යුද්ධයකිනි. පොත්පත් ටික, පන්සල, පල්ලිය, කෝවිල කිසිදු විටෙක පළිගැනීමට ලක්විය යුතු තැන් නොවේ. බුද්ධ දේශනාව නම් සියලු ආගම්වලට ගරු කළ යුතු බව ය . බෞද්ධ දරුවන් තුළ සේ ම, අන්‍ය ආගමික දරුවන් තුළද ඒ උතුම් සංකල්පය ක්‍රියාත්මක විය යුතු ය. මේ ආකල්ප අපගේ අධ්‍යාපනික විෂයය නිර්දේශයන්ට අන්තර්ගත නො වන දේ ය. එවැනි පසුබිමක් තුළ නැණ පමණක් ඉතිරි වී ගුණ වියැකීම වැළැක්විය නොහැකි ය. අපේ අනාගත පරපුර පින් මද බාලයන් විය හැකි ය. එහි පරිවර්ථනයක් නො කළේ නම් ඉදිරි අනාගතයේ දී ද අඳුරු පැල්ලම් ඇතිවීම වැළැක්විය නොහැකි ය.