Print this Article


සියලු පින්කම් අතර උසස් ම පින්කම භාවනාව යි

සියලු පින්කම් අතර උසස් ම පින්කම භාවනාව යි

බුදුරජාණන් වහන්සේ භාවනාවට මුල්තැනක් දී තිබෙනවා. අනෙක් ශාස්තෘවරු වගේ නෙවෙයි. නිවැරැදි ක්‍රමයක් භාවනාව සම්බන්ධයෙන් බුදුන් වහන්සේ දේශනා කර වදාළා. දන්දීම, ශීලය පමණක් ප්‍රමාණවත් නැහැ. භාවනාවක් මෙනෙහි කිරීම අවශ්‍යය යි. ඒ සඳහා වෙනත් ස්ථානයන් අවශ්‍ය නැහැ. සිටින ස්ථානයේ දී ම පුළුවනි.

මඟ තොට යන එන විටදී, රැකියාවට යද්දී, දුම්රියේ ගමන් ගනිද්දී , නිවසේ නිදහසේ සිටියදී විනාඩි පහක් වුවද දිනකට වඩන භාවනාව ප්‍රමාණවත්. එය ටික ටික වැඩිකර ගත යුතු යි. එවිට භාවනා ක්‍රම බොහොම හොඳින් දියුණු කළ හැකි යි.

භාවනාව සමථ සහ විපස්සනා වශයෙන් කොටස් දෙකකට බෙදෙන බව පෙර ලිපි මඟින් ද සඳහන් කළෙමු. සමථ භාවනාවෙන් නීවරණයන් සංසිඳුවා, සිත තැන්පත් කරයි. විදර්ශනා භාවනාවෙන් සිත විදර්ශනා ඥානයන්ට පහළ කරවා මාර්ග ඵල අවස්ථාවට සමීප කරවයි. එවිට සමථ හෝ විපස්සනා හෝ ක්‍රම දෙක මෙනෙහි කරන්නට අවශ්‍යය යි.

බුදු දහමේ සඳහන් සේ සමථ භාවනාව පදනම් ව විදර්ශනා භාවනාව , විදර්ශනා භාවනාව පදනම් කරගෙන සමථ භාවනාව , විදර්ශනා සහ සමථ භාවනාව වශයෙන් දෙකම එකට යන බැවින් යුගලක්ය භාවනාව නම් වෙයි. මේ ක්‍රම සතර බුදුන් වහන්සේ භාවනාව මඟින් අපට වදාළා. මේවා දියුණු තියුණු කරගන්නා ක්‍රම බොහොම යි.

පළමුවෙන් ම නමස්කාරය සජ්ඣායනා කර බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ මෙනෙහි කර හොඳින් හිඳගෙන වම් අත්ල මත දකුණු අත්ල තබාගෙන කය සහ ගෙල ඍජුව තබාගෙන භාවනාවට සූදානම් විය යුතු යි.

භාවනා නොකළත් තමන් භාවනා කළ යුතු යැ’යි සිතීමත් විශාල පිනක්. භාවනාවට හිඳ ගත්තත් විශාල පිනක්. බුදු දහමේ පෙන්වන සේ සියලු පින්කම් අතුරෙන් විශාලත ම පින්කම භාවනාමය පින්කම යි. සංකිලිට්ඨ ධර්ම සහ අසංකිලිට්ඨ ධර්ම වශයෙන් දෙකොටසක් වෙයි. සංකිලිට්ඨ ධර්මයෝ යනු කෙලෙසුන්ට හිතකර ධර්මයෝ විනාශ කිරීම යි. එනම්, ලෝබ ආදී දස ක්ලේෂ ධර්මයෝ සංකිලිට්ඨ ධර්ම වශයෙන් බුදු දහමේ පෙන්වනවා. එය නැති කිරීම භාවනාවෙන් සිදු වෙයි. අසංකිලිට්ඨ යනු කෙලෙසුන් නැති බව යි. අලෝභ, අදෝෂ, අමෝහ ආදීන්ගෙන් පිරිපුන් බව යි. ඒ අවස්ථාවට මේ සිත ගෙන යා යුතු යි.

මහා සීල නමින් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ දිගු කලක් ම භාවනා කළා. නමුත් කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. සිත සමාධි ගත වන්නේ නැහැ. විදසුන් නුවණ පහළ නො වෙයි. ඇතැම් විට අසවල් ස්වාමීන් වහන්සේ රහත් වුණා. අනෙක් ස්වාමීන් වහන්සේත් රහත් වුණා. නමුත් කිසිදු මඟ ඵලයක් තමාට නොලැබූ බව සිතයි. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ බොහොම කලකිරීමෙන් දවස ගත කළා.

දවසක් මේ ස්වාමීන් වහන්සේ කිසිවෙකුට නොකියා සිවුරු පාත්‍ර රැගෙන වන ගත වුණා. එක වේලක් පමණක් පිණ්ඩපාතෙ ගෙන නැවත වැඩම කර දානෙ වළඳා දවස පුරාම උත්සාහයෙන් නුවණ දියුණු කරමින් භාවනා කළා. ඒත් කිසිදු ප්‍රතිචාරයක් නැහැ. දවසක්, දෙකක්, තුනක් මසක්, වසරක් උත්සාහ කළත් මඟ ඵලයක් ලැබුණේ නැහැ. මෙලෙස අවුරුදු දොළහක් ම භාවනා කළත් කිසිදු ප්‍රතිඵලයක් නැහැ. දැන් ඇවිද ගන්නත් බැහැ. යටි පතුල් තුවාල වෙලා. ඒතරම් ම සක්මන් කළා. මෙලෙස භාවනා කර දවසක් සක්මනේ කෙළවර වාඩි වී අනේ! තමන්ට පමණයි රහත් වෙන්න බැරි වුණේ. සැවොම රහත් වුණා යැ’යි පවසමින් හඬා දොඩා වැළපුණා. එවිට ගසේ වාසය කළ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ද හඬන්න පටන් ගත්තා. එවිට ‘ස්වාමීන් වහන්සේ, කවුද? ඔබ මේ ගසේ අඬන්නේ? මා මේ ගසට අධිගෘහිත දිව්‍ය පුත්‍රයා. ඔබ ඇයි? අඬන්නේ? ස්වාමීනි, මටත් මාර්ග ඵලයක් ලැබේවා’යි සිතමින් මා අඬනවා යැ’යි පැවසුවා. එවිට මහා සීව ස්වාමීන් වහන්සේ ‘පේනවා නේද? මහා සීවය, ඔබ ගැන දෙවියොත් බලාගෙන ඉන්නවා. ඒ නිසා මන්දෝත්සාහී නොවන්න. නුඹ හොඳට වීර්යය දියුණු කරගෙන , නුවණ පිරිසුදු කර ගෙන භාවනාවේ ම යෙදෙන්න. යනුවෙන් තමා ම තම සිතට තදින් අවවාද කර ගත්තා. නොබෝ දිනකින් ම උන්වහන්සේ මහ රහත් භාවය ලැබුවා.

සමථ භාවනාව දියුණු කළා. විපස්සනා භාවනාවට හැරුණා. එයම විදර්ශනා ඥාන පහළ කරගෙන මාර්ග ඵල අවස්ථාව දක්වා පත් වුණා. කම්මැළිකමින් සිටින කිසිම කෙනෙකුට මාර්ග ඵල අවස්ථාවට තියා සිතේ සමාධියක්වත් ඇති කරගන්නට බැහැ.

‘හීලෑ නැති ගොනෙකු සේ’ දුවන පනින අසංවර සිත භාවනා අරමුණක ගැට ගසා හොඳට මෙනෙහි කළ යුතු යි. මෙය දින දෙක තුනකින් මසකින් පුළුවන් දෙයක් නොවෙයි. දිගට ම භාවනා අරමුණක සිත මෙනෙහි කරගෙන යාමෙන් භාවනාව සාර්ථකව ඉදිරියට ගෙන යන්නට පුළුවනි.