Print this Article


සප්ත ආර්ය ධනය:- චාග ධනය: දානයෙහි අනුසස් ලැබීමට නම්

චාග ධනය: දානයෙහි අනුසස් ලැබීමට නම්

තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයේ පවතින උතුම් ධනයන් හතක් පිළිබඳව දේශනා කළ අතර, ඒවා හඳුන්වන්නේ සප්ත ආර්ය ධනය යනුවෙනි. ආර්ය නම් උසස්, ශ්‍රේෂ්ඨ යන්නයි.

පෘතග්ජන වූ අපට මොනතරම් දේපළ, මිල මුදල්, යාන වාහන වශයෙන් බාහිර සම්පත් පැවතුණත් ඒවා උසස් ධනයක් ලෙසට කල්පනා කිරීමට නොහැකි ය. උසස්, ශ්‍රේෂ්ඨ ධනයක් වන්නට නම් එය ආර්ය ධනයක් ම විය යුතු ය.

මෙම ආර්ය ධනය මේ ලෝක වශයෙන් හා පරලෝක වශයෙනුත් අපගේ ජීවිතවලට බලපෑමක් කළ හැකි ය. ඒ ලෙසෙ ම සංසාර විමුක්තිය සාක්ශාත් කර ගැනීම සඳහාත් අපට ආර්ය ධනය වැදගත් වේ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ ආර්ය ධනයන් රැස් කර ගන්නා ලෙසයි.

දන් දීම අපි සෑම කෙනෙක් ම පුරුදු පුහුණු කළ යුතුයි. දන් දීම අමාරු කාර්යයක් වූවත්, එය අපි පුරුදු කළ යුතුම දෙයකි. කිසිම දිනක ලෝභී පුද්ගලයකුට දන්දීම පුරුදු කළ නොහැකි ය. මේ ලෝකයේ ඕනෑම කෙනෙක් තමන්ගේ වසඟයට නැතිනම් තමන්ට අවශ්‍ය කරන ආකාරයට දමනය කර ගැනීමේ හැකියාවක් දානය සතුව පවතිනවා. එය තථාගත බුදු දහමේ “අදත්ථං ධමතං දානංච” යනුවෙන් සඳහන් වේ.

දන් දෙන තැනැත්තා අනිවාර්යයෙන් ම මේ ලෝක වශයෙන් හා පරලෝක වශයෙන් සුගතිගාමී භවයන්හි උප්පත්තිය ලබයි. මේ ලෝක වශයෙන් ජීවිතය වාසනාවන්ත වන අතර, පරලෝක වශයෙන් ජීවිතය වාසනාවන්ත කර ගැනීමට හැකියාව ලැබෙයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දන් දීම ඉතා උතුම්, ශ්‍රේෂ්ඨ පුණ්‍ය ක්‍රියාවක් ලෙසට දේශනා කර වදාළේ. එලෙස ම දන් දෙන්නා සමාජයේ ප්‍රියශීලි, කෙනෙක් බවට ද පත්වේ.

බුදුබව ප්‍රාර්ථනා කරන බෝධිසත්ව උතුමෙක්, තම අධ්‍යාත්මික චාරිකාවෙහි පළමු කොටම සම්පූර්ණ කරන්නේ දානයයි. දස පාරමිතාවෙහි මුල්ම පාරමිතාව වන්නේ ද දාන පාරමිතාවයි. දන් දීම අසත්පුරුෂයන් හට සිදු කිරීමට පුළුවන් වන්නා වූ කරුණක් නොවෙයි. දන් දීම සිදු කිරීමට හැකියාව ඇත්තේ සත්පුරුෂ උත්තමයකුටය. ඒ සත්පුරුෂයන්ගේ දන් දීම තථාගත බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

දානං භික්ඛවේ
පණ්ඩිත පඤ්ඤත්තං

සත්පුරුෂ පඤ්ඤත්තං එනම්, දන් දීම පණ්ඩිතයන් හා සත්පුරුෂයන් විසින් ම සිදු කරන්නක් බව ය.

සාමාන්‍ය පුහුදුන් මනස නිරතුරුව ම බරවන්නේ එකතු කිරීමට, ගොඩගසා ගැනීමට හා තව යමක් ලබා ගැනීම සඳහාමයි. යමක් අත්හැරීමේ දී ඒ ආකාරයට සිත නැඹුරුවීමක් දකින්නට පුළුවන්කමක් ලැබෙන්නෙ නැත.

අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රය අපට පැහැදිලි කරනවා. මුලින් සිටුවරයෙක් වූ අනේ පිඬු සිටුතුමා, එතුමාගේ ජීවිතයේ අවසාන කාලයේ දී ආර්ථික වශයෙන් පරිහානිකර අවස්ථාවන්ට මුහුණ දුන් බව. නමුත් අතීතයේ සිදු කළ දානමය පුණ්‍ය කර්මයන් පිළිබඳව අබමල් රේණුවකවත් කළකිරීමක් ඇති නො කර ගැනීමට තරම් වූ මානසික ශක්තියක් එතුමා ගොඩනගාගෙන තිබුණි. ඒ එතුමා තුන්සිත ම පහදවාගෙන දන් දුන් නිසයි.

තුන් සිත යනු පූර්ව චේතනාව, මුන්දන චේතනාව හා අපර චේතනාවයි. පූර්ව චේතනාව යනු දන් දෙන්නට පෙර, එනම් දෙන දානය පිළිබඳව පූර්ව වශයෙන් පැහැදීමක් පිරිසුදු චේතනාවක් ඇතිව සූදානම් වීමයි. මුන්චන චේතනා යනු දන් දෙන අවස්ථාවේ දී එනම් එහි යෙදී සිටින අවස්ථාවේ දී සිතේ ස්වභාවයයි.

කෝසල සංයුක්තයේ අපුත්ථක සූත්‍රයෙහි සඳහන් වන තගරසිඛී නම් පසේ බුදුරජාණන් වහන්සේට සිටුවරයෙක් විසින් දානයට ආරාධනා කරනු ලැබීය. දානය පිළිගැනීම සඳහා උන්වහන්සේ වැඩම කළහ. සිටුතුමාගේ පූර්ව චේතනාව හොඳය. දානය සඳහා ආරාධනා කළේය. සේවකයන් මඟින් දානය සකස් කළේය. නමුත් දන් පිළිගන්වන මොහොතේ සිත කිලිටි විය. එනම් මුන්චන චේතනාව අපිරිසුදු විය. තමන් විසින් ඒ දානය පසේ බුදුරදුන්ට පිළිගන්වන්නේ නැතිව වෙනත් අයට ඒ කාර්යය පැවරීය. දන් පිළිගන්වන හා පරිත්‍යාගයන් සිදු කරන මොහොතේ, එය පිළිගන්නා අයගේ යම් වූ ද අඩුපාඩුවක් දුටුවත්, මුලින් පහදවාගත් සිතින් ම ඒ දානය පූජා කරන්න, පරිත්‍යාග කරන්න අවශ්‍යයයි.

අපර චේතනාව ද පිරිසුදු විය යුතුයි. දානයක් හෝ පරිත්‍යාගයක් කර අවසන් වූ පසු ඒ වෙනුවෙන් වැය වූ මිල මුදල් පිළිබඳව මෙන් ම වෙන යම් වූ කැපකිරීම් පිළිබඳව කල්පනා නොකළ යුතුයි. දානය හෝ පරිත්‍යාගය සිදු කළ අවස්ථාවේ දී සිදු වූ සිද්ධියක් පිළිබඳව කල්පනා කිරීම ද නොකළ යුතුයි. සිතක ඇතිවන මේ අවස්ථාවන් තුන ඉතාමත් ම හොඳින් ගලපා ගන්න පිරිසුදු කර ගන්න පුළුවනි නම් දානයකින් හෝ පරිත්‍යාගයකින් ලබා ගත හැකි ඉහළම ආනිසංසය ළඟා කරගැනීමට හැකියාව ලැබෙනවා.

මේ ශ්‍රේෂ්ඨතම දානය නැතිවෙන්නෙ නැහැ. කාටවත් සොරකම් කරන්න බැහැ. අව්වට වැස්සට, ගින්නට විනාශ වෙන්නෙ නැහැ. හොරුන්ට පැහැරගන්න බැහැ. සප්ත ආර්ය ධනයන් අතරින් චාග ධනය ඉතාමත් ම සුවිශේෂී ධනයක් හැටියට කල්පනා කර අපේ ජීවිතයටත් පුරුදු කිරීමට උත්සාහවත් වීම වඩාත් වැදගත් වේ.