සුත ධනය: කෙලෙස් හටනොගන්නා දේ පමණක් අසන්න
" යමක් අසන ලද නම්, එය ලෝභ, ද්වේශ සහ මෝහයන්ගෙන් යුක්ත නම්, එවැනි දෙයින්
වෙන්වන්න."
සප්ත ආර්ය ධනය අතුරෙන් ‘සුත’ ධනයක් ලෙස සලකයි. එය පොදුවේ සියලුම සත්ත්වයන්ට ඉතාමත්
ම වැදගත් වෙයි. මෙය ධනයක් ලෙස සලකන්නේ යම්කිසි ආකාරයක සම්පතක් නිස යි. සුත , පාලි
භාෂාවෙහි යෙදෙන අතීත කෘදන්ත රූපයකි. බුද්ධ ශ්‍රාවකයෙකු ලෙස සඳහන් කිරීමේ දී ශ්‍රාවක
යන පාලි වදන සුත රූපයෙන් සකස් වෙයි. ඇහුම්කන් දීම යන අදහස එහි අඩංගු වී තිබෙයි.
එනම්, බුදුරජාණන් වහන්සේට ඇහුම්කන් දෙන්නා යනු යි.
සම්බුදු පියාණන්වහන්සේගේ ඉගැන්වීමට අනුව සුතවත් බව, ඇහුම්කන් දෙන ස්වභාවය, ඇසූපිරූ
තැනැත්තා ආර්ය ශ්‍රාවකයෙකු ලෙස බෞද්ධ සම්ප්‍රදායෙහි සලකයි. එය ‘සුතවා අරිය
ශ්‍රාවකෝ’ යනුවෙන් පෙළ දහමෙහි විස්තර කරයි. ආර්ය ශ්‍රාවකයෙක් නිබඳව ම ඇහුම්කන් දෙන
උත්තමයෙකි. ඒ උතුමන් ආර්ය ශ්‍රාවක බවට පත්වන්නේ සුතවත් බව පදනම් කරගෙන යි.
තව ද බහුශ්‍රැත යනු බොහෝ ඇසූ පිරූ කෙනෙක් බව යි. පෘතග්ජන යනු බොහෝ කෙලෙසුන්ගෙන්
යුක්ත බවයි. එවැන්නෙකුගේ ලක්ෂණය වන්නේ ‘අශුතවා පෘතග්ජන’ නොහොත් වැඩිය ඇහුම්කන්
නොදීම යි. ඔහුට ඇසූ පිරූ බව නැත. ඇහුම්කන් නොදීමෙන් බුද්ධිය දුර්වලව වෙයි. අඩුවෙන්
ඇසීම නොහොත් අල්පශුැත වෙයි. ධර්මයේ සඳහන් වන්නේ අල්පශුැත භාවය මෝඩකම සඳහා හේතු වන
බවයි. අල්පශුැත තැනැත්තා ගොනෙකු සේ වැඩ කරන බව සඳහන් වෙයි. අඩුවෙන් ඇසීමෙන්
කෙනෙකුගේ බුද්ධිමත් භාවය අඩුවී යයි. පැරැණි සමාජය අර්ථ විවරණය කරමින් දැනුම
පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ගිය ද අද වෙනස් ඥාන මාර්ගයන් වූ පොත පත ආදී දේ බහුලව
පවතී.
බුදුන් වහන්සේ, ආලවක යක්ෂයාගේ බවනට වැඩම කළ මොහොතේ දී නැගුණු සංවාදයෙන් ආලවක යක්ෂයා
විවිධ ප්‍රශ්න නැඟුවා. ඒ අතුරෙන් එක් ප්‍රශ්නයක් වන්නේ ‘ප්‍රඥාව කෙලෙස ලබනවා ද?’ යන
පැනය යි. එවිට බුදුන් වහන්සේ වදාළේ, ප්‍රඥාව ලැබෙන්නේ ඇහුම්කන් දීමෙන් යනුවෙනි. සුත
ධනය යනු එය බව යි.
මජ්ක්‍ධිම නිකායේ සංකිච්ච සූත්‍රයට අනුව ශ්‍රද්ධාව එළැඹුණාට පසුව ඇසුරු කිරීම පටන්
ගනියි. එවිට කන් යොමුකර බණ අසන්නට පෙළඹෙයි. ‘සුත’ අංගය අනුපූර්වගාමී නිර්වාණ
ප්‍රතිපදාවෙහි මූලික අවස්ථාවක් ලෙස බුදු දහමෙහි පෙන්වා දෙයි. ඒ නිසා ආර්ය ජීවිතය
සකස්කර ගැනීමට ‘සුත’ ධනය ඉතා වැදගත් වෙයි. එයට අදාළව තවත් පැතිකඩක් මතු කළොත්, එනම්
ශ්‍රාවකයන් විවිධාකාර වෙයි. හැම දෙනාගේ ම ඇහුම්කන් දීම එක හා සමාන නොවෙයි.
පුද්ගල ප්‍රඥප්ති යන අභිධර්මයෙහි එක් ප්‍රකරණ ග්‍රන්ථයක උග්ගටිපඤ්ඤෝ, විපටිතඤ්ඤෝ,
න්‍යෙයෝ, පද පරමෝ යන සතරක් වෙයි. උග්ගටිපඤ්ඤෝ යනු ඇසුණු ගමන් ම තේරුම් ගැනීමේ
හැකියාව යි. විපටිතඤ්ඤෝ යනු ධර්මය ඇසුණු පසු එහි අර්ථය පරීක්ෂා කර බලා තේරුම් ගෙන
ධර්මය අවබෝධ කර ගැනීම යි. න්‍යෙයෝ යනු අසන ලද කරුණු පිළිබඳ ව නැවත වතාවක් තමන්ගේ
කල්‍යාණ මිත්‍රයන් සමඟ සාකච්ඡා කර ධර්ම කරුණු අවබෝධ කර ගැනීම යි. පද පරම යනු කෙතරම්
ඇසුණත් ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි බව යි.
එය පොකුණක තිබෙන නෙළුම් සතරකට සමාන කර තිබෙයි. ඉර උදාවූ විගස ම නෙළුම් මල් විකසිත
වෙයි. සමහර නෙළුම් යාන්තමින් ජලයෙන් මතුවී විකසිත වීමට සූදානම් වෙයි. සමහර නෙළුම්
ජලය යට තිබුණ ද ක්‍රමානුකූලව උඩට මතුව විකසිත වීමට හැකියාව තිබෙයි. සමහර නෙළුම් දිය
යටදී ම මාළුවන්, කැස්බෑවන් වැනි සතුන්ගේ ආහාරයක් වෙයි. එවිට ඒවාට විකසිත වීමේ
හැකියාව අහිමි වී යයි.
කාලාම සූත්‍රය ඇසුරෙන් ඇසෙන ඕනෑම දෙයක් පිළිගන්න යනුවෙන් බුදුන් වහන්සේ වදාළේ නැත.
ඇසෙන තරමින් බාර ගන්න එපා යනුවෙන් උන්වහන්සේ වදාළහ. බුදු දහමෙහි සඳහන් වන්නේ
ඇහුම්කන් දෙන දේ යහපත් ද? අයහපත් ද? යනුවෙන් තීරණයක් ගන්නා ලෙස යි. එසේ ම බුදුන්
වහන්සේ මිනුම් දණ්ඩක් ද උගන්වා තිබෙනවා. එනම්, යමක් අසන ලද නම්, එය ලෝභ, ද්වේශ සහ
මෝහයන්ගෙන් යුක්ත නම්, එවැනි දෙයින් වෙන්වන්න. අසන්න එපා යනුවෙන් බුදුන් වහන්සේ
වදාළා.
යම් අවස්ථාවක තමන් සතු ලෝභ, ද්වේශ, මෝහ ආදී කෙලෙස් මූලයන් හෝ අවශේෂ කෙලෙස් හටගන්නේ
නම්, එවැනි කෙලෙස් හටගන්නා ක්‍රියාවලින් ඉවත්වීම සුදුසු වෙයි. යම්කිසි දෙයක්
ඇසීමෙන් තමන්ගේ අලෝභ, අදෝශ, අමෝහය වර්ධනය වනවා නම්, එවැනි දේ වැඩිපුර ඇසිය යුතු යි.
එබැවින් සුතවත් බව අපට අවශ්‍යය යි. හැබැයි, අසන හැම දෙයක් ම පිළි ගැනීම හෝ සෑම
දෙයකට ම ඇහුම්කන් දීම බුදුන් වහන්සේ අනුමත කළේ නැහැ. අවශ්‍ය වන්නේ අසන්නේ කුමක් ද?
ඒ අසන දෙය තමාට බලපෑම් කරන්නේ කෙසේ ද? කෙලෙස ද? යන්න යි. ඒ අනුව ‘සුත’ ධනයක් වෙයි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
|