හිරි ධනය:
දුසිරිතෙහි ලජ්ජාශීලී වෙමු
ශාස්ත්‍රපති
පරකන්දෙනියේ
ශ්‍රී ආර්ය මනෝරථ නා හිමි
"මානව සමාජයෙහි මිනිසුන් අතර යහගුණ ධර්මයන් පැතිර වීමට, අපරාධ මර්දනයට හිරිය උපකාර
වන්නේ ය. හිරියෙන් යුතු පුද්ගලයා අකුසලයෙහි ලජ්ජාශීලි ය. ශිෂ්ට සම්පන්න ය.
සුහදතාවයෙන් යුතු වන්නේ ය. සමාජයේ පවිත්‍ර චරිතයක් ලෙස පිළිගැනීමට ලක් වන්නේ ය. "
ලොව ජීවත්වන ස්ත්‍රී පුරුෂ සැමදෙනාගේ ම අපේක්ෂාව ධනවත්විම ය. ධනය උපයාගෙන සැපවත්
දිවි පෙවෙතක් ගත කිරීම ය. මෙසේ දිවි පැවැත්ම සාර්ථක කර ගැනීමට ඔවුහු දිවා රෑ දෙකෙහි
බලවත් පරිශ්‍රමයක් දරති. විවිධ ව්‍යාපාර, විවිධ වෘත්තීන්හි නියැළෙමින්, උට්ඨාන
වීර්යයෙන් සුළු කලක දී භෞතික සම්පතින් ධනවත්වීමට උත්සාහ කරති.
ධනය ඇවැසි ය. ඒ දුප්පත්කම දුරුකර, සතුට සොම්නස ඇතිකර ගැනීමට ය. ධනය නොමැති බව
කෙනෙකුගේ මානසික ආතතියට ද හේතු වන්නේ ය. එහෙත් බුදු දහමේ ‘ධනය’ ලෙස අවධාරණය
කෙරෙන්නේ මෙලෙස සාමාන්‍ය ලෝකයා ධනය ලෙස හඳුන්වන භෞතික සැප සම්පත් නොවේ. ඒ ධනය ආර්ය
ධනය නොවේ. ස්ථිරද නොවේ. අස්ථිර ය. උග්ගමහාච්ඡ සූත්‍රයේ මහා ධන සම්පත් හතක් අවධාරණය
කර තිබේ. ශ්‍රද්ධාව, ශීලය, හිරිය, ඔත්තප්පිය, සුත, චාග හා ප්‍රඥා යනුවෙනි.
මේ අතරින් හිරි ධනය ඇති පුද්ගලයා කාය දුශ්චරිතයෙහි ලජ්ජිත වන්නේ ය. වාග්
දුෂ්චරිතයෙහි ද ලජ්ජිත වන්නේ ය. ලාමක ය. අකුසලය පිළිකුල් කරන්නේ ය. දුෂ්චරිතයන් හි
නොයෙදෙන්නේ ය. මේ සියලු ලක්ෂණයන්ගෙන් යුතු වන්නේ ද ඔහු හිරි ධනයෙන් යුතු පුද්ගලයෙක්
වන්නේ ය.
මානව සමාජයෙහි මිනිසුන් අතර යහගුණ ධර්මයන් පැතිර වීමට, අපරාධ මර්දනයට හිරිය උපකාර
වන්නේ ය. හිරියෙන් යුතු පුද්ගලයා අකුසලයෙහි ලජ්ජාශීලි ය. ශිෂ්ට සම්පන්න ය.
සුහදතාවයෙන් යුතු වන්නේ ය. සමාජයේ පවිත්‍ර චරිතයක් ලෙස පිළිගැනීමට ලක් වන්නේ ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ හිරි ඔතප් දෙකම සමාජ නීතිරීති රකින, ලෝකය පාලනය
කරන පාලකයකු ලෙසිනි. සමාජයේ කුඩා ඒකකය වන නිවෙසක, මවුපිය දූ දරුවන්, තුළින් වර්ධනය
කරගත යුතු මේ ගුණ ධර්ම පොදුවේ සෑම පුද්ගලයකු තුළම හුරු පුරුදු කර ගැනීමෙන් සමස්ත
සමාජයේත් රටෙහිත්, ලෝකයේත් ජීවත්වීමට සුදුසු, ගුණධර්ම සහිත පරිසරයක් නිර්මාණය වන්නේ
ය. මේ නිසා එකිනෙකා දෙස බලා නොසිට තමන්ගේ වැරැදි අඩුපාඩු නිවැරැදි කර ගනිමින් ‘හිරි
ධනය’ උපයා ගන්නට සෑම දෙනාම අධිෂ්ඨාන කරගත යුතු වේ. එවැනි කෙනෙක් වන්නේ කෙසේද?
ආත්ම ගෞරවය ඇතිව ජීවත්වන සෑම දෙනාතුළ ම හිරිය බලවත් වෙයි. ඔහු නිරතුරුව සිතන්නේ
අධ්‍යාත්මික ගුණධර්මයන් පිළිබඳව ය. ලජ්ජාව තුරන් වූ පුද්ගලයා කවර විදියේ වුවද
අපරාධයක් කිරීමට පසුබට නොවේ. තමන්තුළ හිරි ධනය ඇති කර ගැනීමට කරුණු කිහිපයක්
මුල්කරගත හැකි ය. තමන්ගේ උප්පත්තිය මෙනෙහි කිරීම, වයස මෙනෙහි කිරීම, ශූරත්වය,
බහුශ්‍රැතබව, ජාති මමත්වය මෙනෙහි කිරීම, දායාදය හෙවත් තමන් සතු වස්තුව ගැන මෙනෙහි
කිරීම, තමන්ගේ ශාස්තෘවරයා ගැන මෙනෙහි කිරීම හා මමත්වය මෙනෙහි කිරීම තුළිනි. හිරි
ධනය උපයා ගැනීමේ එකම මඟ පවින් වැළකීම ය. පවින් වළකින්නේ කෙසේ ද? එය මෙසේ සිතා
සිදුකළ හැකි ය. මම උසස් ජාතියක උපන්නෙමි. අකුසල කිරීම මා වැනි ජාති සම්පන්නයකුට
සුදුසු නොවේ. පව් කිරීම මාගේ ජාතියට අපහාසයකි. නින්දාවකි. හොඳ නාමයට කැළලකි. මෙසේ
තමන් උපන් ජාතිය ගැන සිතා පව් කිරීමෙන් වැළකීමේ හිරිය උපදවා ගත හැකි ය.
දෙවැන්න තමන්ගේ වයස ගැන සිතීම ය. “ප්‍රාණඝාතය, සොරකම ආදියෙන් ධනය උපයා ගැන්මට සිතීම
දුර්වල මිනිසුන්ගේ ස්වභාවයක් වන්නේ ය. ජීවනෝපාය සඳහා හෝ විනෝදය සඳහා හෝ දුසිරිතෙහි
යෙදීමෙන්, අනාචාරයෙහි හැසිරීමෙන් කල්ගෙවීම මා වැනි අයකුට සුදුසු නොවේ.” යනුවෙන්
තමන්ගේ වයස ගැන මෙනෙහි කොට පවින් වැළකීමට පුළුවන.
තමන්ගේ දක්ෂතාවය, හැකියාවන් අරමුණු කර ගැනීමෙන් ද පවින් වැළකී සිටීමට පුළුවන.
“පාපයන්හි නියැළෙන්නේ අනුවණයින් ය. අද බොළඳ, යහපත් දිවි පෙවෙතක් ගත කිරීමට නොහැකි
දුර්වලයින් ය. මා වැනි දක්ෂ, ක්‍රියාශීලි කෙනෙක් එවැනි තත්ත්වයකට පත්වන්නේ කුමට ද?
නුවණැති පණ්ඩිත අය එවැනි අනුවණ ක්‍රියාවන් හි නොපෙළඹෙති. මා වැනි ඇසූ පිරූ තැන් ඇති
කෙනෙක් අකුසලයන් හි යෙදීම අපකීර්තියට කරුණකි.” යනුවෙන් මෙනෙහි කිරීමෙන් පවින්
වැළකීමට උත්සාහ කිරීම ය.
තමන්ගේ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය, උන්වහන්සේට තිබෙන ගෞරවය සිහිපත් කිරීමෙන්
ද, තමන් මහත් වූ සැප සම්පත්වලට එනම් දායාදයකට හිමිකම් කියන බව සිහිපත් කිරීමෙන්ද,
පවින් වැළකීමට පුළුවන. නෑදෑ හිත මිතුරන් අතර ලජ්ජාවට පත්වීමට ඇති අකැමැත්ත සේ ම,
තමන් පව් කළහොත් ඔවුන් ලජ්ජාවට පත්වේය යන්න මෙනෙහි කිරීමෙන් ද හිරි ධනය දියුණු කර
ගන්නට පුළුවන.
වත්මන් සමාජයෙහි මෙම සප්ත ආර්ය ධනය පිළිබඳ නිරන්තර අවදානයට ලක් කිරීමෙන් සමාජ දිවි
පැවැත්ම ආලෝකමත් කර ගැනීමට හැකිවනු නො අනුමාන ය. |