Print this Article


සප්ත ආර්ය ධනය:සීල ධනය: දුසිල්වත් වීමේ කෙළවර සතර අපායයි

සීල ධනය: දුසිල්වත් වීමේ කෙළවර සතර අපායයි

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළවීමටත් පෙර සිටම විමුක්ති මාර්ගයක් සොයා ගිය අය කය, වචනය සංවර කරගන්නට උත්සාහ කර තිබේ. සීලය කියන්නේ කය වචනය සංවර කර ගැනීමයි. ඒ කියන්නේ කයෙන් සිදුවන වැරැදි එනම් සතුන් මැරීම, සොරකම් කිරීම, වැරැදි කාම සේවනය යන මේ දුෂ්චරිතයන්ගෙන් වෙන් වීමයි. ඒ වගේම වචනයෙන් කෙරෙන වැරැදි එනම් බොරු කිම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන වාග් දුෂ්චරිතයෙන් වෙන් වීමයි. බුදුරජාණන් වහන්සේ පහළවීමත් සමග නිවන් අරමුණු කරගෙන යමෙක් සීලය උපයෝගී කරගත යුත්තේ කෙසේද යනුවෙන් දේශනා කළහ. තමන්ගේ ශ්‍රාවකයා ප්‍රථමයෙන් සම්මා දිට්ඨියේ ස්ථාපිත වී, තුන්සරණය තුළ ස්ථාපිත වී, ඉන්පසුව සීලය දියුණු කරගත යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

අද ලෝකයේ සම්මා දිට්ඨියෙන් තොර වූ, තිසරණයට පත් නොවූ එහෙත් සිල්වත් ජීවිත ගත කරන අය සිටිති. එසේ වුවද, ඒ ඇත්තන්ට විමුක්ති මාර්ගයක් කරා පියමං කරන්නට හැකියාවක් නැත. බුදුදහම තුළ තිබෙන්නේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා යන පිළිවෙළකට යන මාර්ගයයි. මෙහිදී අනුපුබ්බ සික්ඛා යනු සීලයට සම්බන්ධ කොටසයි.

ශ්‍රාවකයාගේ සීලය දියුණු කරගැනීමට උන්වහන්සේ ශික්ෂා පද පනවා වදාළහ. ඒ අනුව ප්‍රථමයෙන්ම සිල්වත් වී ඉන්පසුව චිත්ත සමාධිය ඇතිකරගෙන ඉන්පසුව ප්‍රඥාව පහළ කරගත යුතු යි. සිල්වත් ජීවිතයක් ගත කරන්නේ නැති කෙනාට සමාධියක් දියුණු කරගත නොහැකියි. ඒ නිසා බුද්ධ දේශනාවේ තිබෙන විමුක්ති මාර්ගයට සීලය අනිවාර්ය අංගයක් වේ. සිල්වත් නොවුනහොත් විමුක්තිය අහිමි වේ. මෙය ඉතා දුෂ්කර කාර්යයකි. බුදුන්වහන්සේ සප්ත ආර්ය ධනයතුළ සීලය ධනයක් ලෙස දේශනා කරන්නේ ඒ නිසයි.

සිල්වත් වීම කොපමණ දුෂ්කර වුවත් ශ්‍රද්ධාවන්තයාට එය දුෂ්කර නොවේ. ශ්‍රද්ධාව යනු බුදුන්වහන්සේගේ සම්බුද්ධත්වය පිළිගැනීමයි. සම්බුද්ධත්වය පිළිගත් ශ්‍රාවකයා බුදුන්වහන්සේගේ උතුම් බුද්ධ වචනය පිළිගෙන සිල්වත් ජීවිතයක් ගත කිරීමට පෙළඹේ. ඒ පින්වතුන් පංචශීල ප්‍රතිපදාවත්, පොහොය අටසිල් සහ දස සිල් සමාදානයත්, ආජීව අෂ්ඨමක සීලයත් සමාදන් වේ. සාමණේර ස්වාමීන් වහන්සේ, සාමණේර දස සීලයත්, උපසම්පදා භික්ෂූන් වහන්සේ 227 ක් වූ විනය ශික්ෂාපදත්, උපසම්පදා භික්ෂුණීන් වහන්සේ 304ක් වූ විනය ශික්ෂා පදත් සමාදන් වෙති. එම ශික්ෂා පදවල යම් අඩුපාඩුවක් සිදු වුවහොත් එම ශ්‍රාවකයාට හෝ ශ්‍රාවිකාවට චිත්ත ඒකාග්‍රතාවය නැතිනම් චිත්ත සමාධිය ඇතිකර ගැනීම අපහසු වේ.

සිල්වත් ජීවිතයක් ගත නොකරන්නාට සිතේ විසිරීම (උද්දච්ච භාවය) ඇතිවේ. සිත විසිරෙන විට චිත්ත සමාධිය ඇතිකර ගත නොහැකි ය. එවිට භාවනාවේ ප්‍රතිඵල නොලැබේ. ඒ නිසා ප්‍රඥාව වැඩීමට අපහසු වේ. බෝධිසත්වයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්ම පුරණ අවධියේ දී සීලය පාරමිතාවක් ලෙස ද දියුණු කළ සේක. එහි බලයෙන් උන්වහන්සේට කුමාර අවධියේ පටන් උතුම් සිල්වත් ජීවිතයක් ගත කළ හැකි වූ අතර බෝධිමූලයට යන මොහොත වන විට සීලයේ පරිපූර්ණතාවය සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය කරන සියලු සීල ධනයන් උන්වහන්සේ සතුව තිබිණි. එමනිසා දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ කිසි කෙනෙකුට උන්වහන්සේ ගේ සීලයට අභියෝග කිරීමට නොහැකි විය. බෝධිසත්ව අවධියේ දී පවා සමහර තිරිසන් ජාතිවලදී උන්වහන්සේ තුළ සීල ධනය උපරිම ආකාරයෙන් දක්නට තිබිණි.

වර්තමාන සමාජයේ වටිනාකම් වන්නේ බලය, නිලය, ධනය, රූපය, හතරමායිම අධ්‍යාපනය ආදී ලෞකික දේ ය. මව්පියන් ද දරුවෙක් උපන්දා සිට ඉහතින් දක්වන ලද ලෞකික දේ ම ලබා දීමට නොදරන උත්සාහයක් නැත. නමුත් තුන් ලොවේ ම ශ්‍රේෂ්ඨම ශාස්තෘවරයා වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සීලය උතුම්ම ධනයක් ලෙස වදාළ සේක.

එයට හේතුව කෙනෙකු සුගතියට යන්නේ සිල්වත්කම නිසා ය. කෙනෙකු නිවන් අවබෝධ කරගන්නේ සිල්වත්කම නිසා ය. කෙනෙකු ප්‍රඥාව පහළ කර ගන්නේ සිල්වත්කම නිසා ය. කෙනෙකු සසර දුකින් නිදහස් වෙන්නේ සිල්වත්කම නිසා ය. ඒ නිසා ඒ සමස්ථ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ පදනම සීලයයි.

දුස්සීල භාවයට පත්වුවහොත් කෙළවර වන්නට සිදුවන්නේ සතර අපායෙනි. එබැවින් ඔබ සතර අපායට නොවැටී සුගතිගාමී වීම පිණිස සෙමෙරමුවා සිය වලිගය රකින්නා සේ, ඇසක් අන්ධ පුද්ගලයා අනික් ඇස රැකගන්නා සේ, මව තම එකම පුතු රැක ගන්නා සේ අප විසින් සිල්වත් ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කරගත යුතු ය.

ඉහතන් දක්වන ලද ලෞකික ධන ධාන්‍ය භව භෝග සම්පත් ආදිය කිසිවක් නැති වුවත්, මහ මඟ සිඟමන් යදින යාචකයකු වුවත් ඔබ සිල්වත් නම් මහා බලවතෙකි. ඔබ රජෙකි. මේ කරුණු තේරුම් ගැනීමට දුස්සීල සමාජයට නොහැකි ය. ප්‍රඥාවන්තයෝ මෙය තේරුම්ගෙන සිල්වත් ජීවිතයක් ගත කිරීමට අද පටන් අධිෂ්ඨාන කර ගනිත්වා.

ඔබට උතුම් චතුරාර්ය ධර්මය අවබෝධ වේවා.