Print this Article


වාසෙට්ඨ සූත්‍රය හා සහජීවනය

වාසෙට්ඨ සූත්‍රය හා සහජීවනය:

ආගමේ නාමය නොව හරය ජීවිතයට ළංකර ගමු

උපත මත ලෝකය වෙනස් නොවේ. සෑම විටම ලෝකය වෙනස් වූයේ මිනිස් ක්‍රියාකාරකම් මත ය. සත්ත්ව ප්‍රජාව පවතිනුයේ ද මෙම ක්‍රියාකාරකම් මත ම ය. රථයක පැවැත්මට එහි රෝදවල කඩ ඇණය උපකාරි වන්නා සේ සත්වයන් හා කර්මය බැඳී පවතී. ක්‍රියාකාරකම් යහපත් වූ තරමට ම සමාජය යහපත් වේ. එසේ නොවන විට සමාජය භේදභින්න වී අයහපතට ඇද වැටේ.

ජාති,ආගම් , පාට,උස්මිටිකම් මත සමාජය බෙදා තමන් උසස් බවත්, අනෙකා පහත් බවත් හුවා දැක්වීම බුදු දහමෙන් අනුමත වන්නේ නැත. උපත මත උස් පහත් බව මැනිය නොහැකි බව වාසෙට්ඨ හා භාරද්වාජ බ්‍රාහ්මණයන් හමුවෙහි වාසෙට්ඨ සූත්‍රයේ දී බුදුහිමියෝ දේශනා කළහ. එසේ ම කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වයට හේතුවන කාරණා රාශියක් මෙහි දී දේශනා කර ඇත. පටු අරමුණු ඉටු කරගැනීම උදෙසා සහ තමන් තුළ ඇති බොහෝ වැරැදි ආගමට ,ජාතියට මුවාවී වසාගැනීමට තැත් කිරීම ඉතා පිළිකුල් සහගත ය.

එය මනුෂ්‍යත්වයට තරම් නොවේ. උපතින් උසස් යැයි සම්මත පුද්ගලයා ඕනෑම පහත් ක්‍රියාවක් සිදුකළ ද, එය ආගමේ නාමයෙන්, ජාත්‍යාලයෙන් වරදක් නොවේ නම් එය බරපතල සමාජ ගැටලුවකට මුලකි. දේවාලයේ කපු මහතා දේවාල භූමියේ අපිරිසුදු කිරීම වරදකි. ඔහු දෙවියන් වෙනුවෙන් යාතිකා කළ ද සමාජ සම්මතයෙන් ඉවත්විය නොහැකි ය. එසේ වීම තුළ ඔහු සහ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ මිනිසා තුළ විශ්වාසය පළිඳු වී යයි. එය බරපතල සමාජ ප්‍රශ්න රාශියකට මුලකි. වර්තමාන ලෝකය අත්විඳිමින් සිටිනුයේ එම තත්ත්වයයි. ආගම වෙනුවෙන් ජීවිතය පවා නැතිකර ගැනීමට සූදානම් වුව ද ආගම්වල ඇති හරයන් සැබෑ ජීවිතයට ලබා නොගනී.

උස්පහත් බව

වාසෙට්ඨ සූත්‍රයේ දී බුදුරදුන් දේශනා කරනු යේ උපත මත උස්පහත් බව තීරණය නොවන බවයි. මිනිසා අතර එවැනි භේදයක් සකසා ගැනීමට කිසිම ජීව විද්‍යාත්මක හේතුවක් ඇත්තේ නැත. තෘණ වෘක්ෂ අතර සමාන බවක් දැකිය හැකි නොවේ. එසේ ම කීටයන්ගේ පටන් පණු පළගැටි කුරා කුහුඹුවන් දක්වා ඔවුන්ගේ ලිංග , ජාති අතර වෙනසක් පවතී. සිව්පා කුඩා මහත් සියලු සත්වයන් තුළ මේ වෙනස දැකිය හැකි වේ. බඩ ගාන සර්පයන් අතර මේ වෙනස්කම් ඇත. ජලයේ ඉපදී ජලයෙහි ජීවත්වන මත්ස්‍යයන් අතර මේ වෙනස පැහැදිලි ය. පියාපත් මතින් අහසෙහි පියාඹන පක්ෂීන් අතර වෙනස්කම් දක්නට ලැබෙන මුත් මිනිසා තුළ එවන් කිසිම ආකාරයක ජීව විද්‍යාත්මක වෙනසක් දැකිය නොහැකි ය. මිනිසුන්ගේ කෙස්, හිස්, කන්, ඇස් , මුව, නාසයෙන්, තොල්වලින්, බෙල්ලෙන්, උදරයෙන් වෙනසක් දක්නට නො ලැබේ. අත් පාවල ඇඟිලි නියවල, දනිස්, කළවාවල වෙනසක් දක්නට නො ලැබේ. මිනිසුන් වෙන් වශයෙන් ගත් කල ද ඔවුන්ගේ ශරීරවල වෙනසක් කිසිසේත් ම විද්‍යමාන නොවේ. මිනිසා අතර ඇති මූලික වෙනස රැකියාව, දෘෂ්ටිය, භාෂාව, ආගම වැනි කාරණාවන් ය. එය ද කලින් කල වෙනස්වීම්වලට භාජනය වේ. අනිත්‍යතාවයෙන් යුක්ත ය.

පහත් බව

මිනිසුන්ගෙන් කොටසක් කෘෂිකර්මයෙන් ද හස්ත කර්මාන්තයෙන්ද ජීවත් වන අතර තව කොටසක් වෙළඳාම ජීවන වෘත්තිය බව පත්කර ගනී. රාජ්‍ය සේවය, රාජ්‍ය පාලනය වැනි යහපත් ක්‍රියාවන් මත ජීවිත සකසා ගැනීමට බහුතර පිරිස කටයුතු කරති. ඒ අතර තිරිසන් සතෙකුටත් අන්ත ලෙස මිනිස්කමට පවා නො ගැලපෙන ලෙස ඇතමුන් කටයුතු කරයි. බුදුරදුන් දේශනා කරනුයේ බැමිණියකට දාව ඉපදුණ පමණින් ශ්‍රේෂ්ඨ නොවන බව ය. බුදු දහමට අනුව ශ්‍රේෂ්ඨත්වය මැනෙන්නේ ක්‍රියාකාරකම් මත ය. නීච යැයි සම්මත කුලයක ඉපදීම ප්‍රශ්නයක් නොවේ. නීච ක්‍රියාකාරකම් සිදු කොට මිය යාම ගැටලුවකි. බුදුදහම ප්‍රතික්ෂේප කරනුයේ එම ස්වභාවයයි. නීච ක්‍රියා නිසා සමාජයෙහි යහපැවැත්ම සමඟිය සාමය බිඳ වැටී සමාජය අරාජික වේ.

උසස් බවට සුදුසුකම් සකසාගත යුත්තේ තමන් විසින් ම ය. එය අපහසු නොවේ. උසස් යැයි සිතා සිටින පිරිස් එම සුදුසුකම් සකසාගෙන නැත්නම් ඔවුන්ගේ උසස්කම් සැක සහිත ය. මෙම සූත්‍ර දේශනාවට අනුව සමාජයෙහි ශ්‍රේෂ්ඨයෙකු වන්නේ ක්‍රෝධය දුරුකළ, රාගය නැති කළ, ඉන්ද්‍රිය දමනය කළ, සීල සම්පන්න කෙනෙකි. යා යුතු නොයා යුතු මාර්ගය දන්නා පුද්ගලයා ශ්‍රේෂ්ඨයෙකි. හදවතින් පමණක් නොව බුද්ධියෙන් තීන්දු තීරණ ගත යුතු බව ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණයන් ය. මෙම ලක්ෂණවලින් සමන්විත නොවන පුහු මිනිස්සු තමන් උපතින් ශ්‍රේෂ්ඨ යැයි සිතා සිදුකරන ඇතැම් අඥාන ක්‍රියා නිසා සමස්ත සමාජයම අගාධයට වැටේ. එය අතීතයට මෙන් ම වර්තමානයට ද එක හා සමානව බලපෑම් සිදුකරනු ලබයි. උපතින් බාල වුව ද ඉහත ගුණයන් සහිත අතළොස්සක් මිනිසුන් නිසා ලෝකය මේ පමණින් හෝ යහපත්ව පවත්වාගැනීම සඳහා හැකියාව නිර්මාණයවී ඇත. එය එක් අතකින් මහත් භාග්‍යයකි.

බාධාව

උසස් ශ්‍රේෂ්ඨයෙකු වීම සඳහා අවශ්‍ය ගුණයන් රාශියක් මෙහි දී බුදුරදුන් අවධාරණය කළහ. විරුද්ධවාදීන් අතර එසේ නොවී විරුද්ධවාදී නොවන ලෙස හැසිරීම, නිවුණු ගති පෙන්වීම දැඩි මතදාරීන් අතර එසේ නොවීම ඉතා වැදගත් ය. බාහු බලය හෝ තමන් සතු වෙනත් බලයක් අයුතු ලෙස යෙදීම ශ්‍රේෂ්ඨයාගේ සිරිත නොවේ. තමාට බොහෝ හිංසා පීඩා සිදුකළ පිරිස්වලට පවා එසේ නොකිරීම ඉතා යහපත් ය. තම මතය පමණක් ම නිවැරැදිය. අනෙක් සියලු මතයන් ම වැරැදිය යන හැඟීම සමාජ ප්‍රශ්න ඇතිකිරීම විෂයෙහි බොහෝ සෙයින් බලපෑම් සිදුකරනු ලබයි. දැඩි මතධාරිවීම, නම්‍යශීලි නොවීම යමක් විසඳා ගැනීමට ඇති ප්‍රබලතම බාධාවයි.

වචනය භාවිතකොට පිරිසක් විනාශ නොකරන්නේ නම්, ඔවුන් පීඩාවට පත් නොකරන්නේ නම් එය ශ්‍රේෂ්ඨ ය. කථාකරන වචන සත්‍ය , මෘදු වචන වීමත්’ ඒ තුළ තම ලාභය හෝ අන්‍ය පාඩුව අරමුණු නොවෙනවා නම්, ඔහු ශ්‍රේෂ්ඨයෙකි. බොහෝ පිරිස් සැනසීමට යොදාගත යුතු වු වචන බොහෝ පිරිසක් විනාශකොට, සමාජය බේද භින්න කිරීම සඳහා නොයෙදිය යුතු ය’. ශ්‍රේෂ්ඨයෙකු කුමන අවස්ථාවක දී වත් එසේ සිදු නොකරයි.

උසස් යැයි සම්මත මිනිසා හඳුනා ගත හැකි තවත් ආකාරයක් මෙහි ඉතා පැහැදිලිව දක්වා ඇත. එනම් ලෝකයේ දිග කෙටි, කුඩා මහත් සුභ, අසුභ ආදි කවරක් වුවද’ එය අනෙකෙකු සතු නම් එම වස්තු ගැනීමෙන් වැළකීම යහපත් ය. එසේ ගනිමින් එය වසාගැනීමට තම ආගම, ජාතිය, කුලය යොදා ගැනීම ඉතා අශෝභන ය. එය උසස් මිනිසෙකු කරන ක්‍රියාවක් නොව ඉතා පහත් මිනිසුන් විසින් සිදුකරන ක්‍රියාවන් ය. පව පින මනාව තේරුම්ගෙන කළයුත්ත නොකළ යුත්ත නුවණින් දැන දැක කටයුතු කිරීම ඉතා යහපත් ය. පටු අනවශ්‍ය සීමා එකතු කොට ගැනීම සමාජය වඩා අශීලාචාර කිරීමට හේතු වේ.

කඩ ඇණය මෙන්

උපත මත ලෝකය වෙනස් නොවේ. සෑම විටම ලෝකය වෙනස් වූයේ මිනිස් ක්‍රියාකාරකම් මත ය. සත්ත්ව ප්‍රජාව පවතිනුයේ ද මෙම ක්‍රියාකාරකම් මත ම ය. රථයක පැවැත්මට එහි රෝදවල කඩ ඇණය උපකාරි වන්නා සේ සත්වයන් හා කර්මය බැඳී පවතී. ක්‍රියාකාරකම් යහපත් වූ තරමට ම සමාජය යහපත් වේ. එසේ නොවන විට සමාජය භේදභින්න වී අයහපතට ඇද වැටේ. එසේ වීමතුළ බහුතරයට අසාධාරණයට ලක්වීමට සිදුවේ. මෙහි නියත ප්‍රතිඵලය වන්නේ ඉතා සුළුතරය ඉන් වාසි ප්‍රයෝජන ලැබීමයි. ජාතිකත්වය හෝ ආගමික ලැදි යාව නරක, අයහපත් දෙයක් ලෙස සැලකිය නොහැකිමුත් පටු අරමුණු ලාභ ප්‍රයෝජන සඳහා එය යොදාගැනීම මහත් අපරාධයකි. ඒ තුළ මහත් සමාජ ව්‍යසන ඇති වීම වැළැක්විය නොහැකි ය. බෞද්ධ අබෞද්ධ භේදයකින් තොරව මේ ගැන සැලකිලිමත්වීම අවශ්‍ය වේ. එසේ නොවන තාක් දියුණුවත්, අභිවෘද්ධියත් බලාපොරොත්තු විය හැකි නොවේ.