Print this Article


පූජාච පූජනියනං

ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමි

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ විසි එක්වන මහානායක පදවිය හෙබ වූ ඓතිහාසික මහියංගන රාජමහා විහාරය, ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාරය, මැටියගනේ මයුරාවතී රාජමහා විහාරය, ඓතිහාසික හුම්බුළුව රාජමහා විහාරය, උරුලෑවත්තේ රාජමහා විහාරය යන පංච රාජ මහා විහාරාධිපති, ශ්‍රී හයගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති, මජ්ක්‍ධිම භාණක, ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්ස්‍යාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී මාර්තු මස නව වන දිනට දෙවසරක් සපිරෙයි.

ත්‍රිපිටක බුද්ධ වචනය ග්‍රන්ථාරූඪ කිරීමෙන් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්‍රවු මාතලේ මහ දිසාවේ අස්ගිරි පල්ලේසිය පත්තුබද ගලගම ග්‍රාමවරයේ ජන්ම ලාභය ලද මහ නා හිමිපාණෝ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රථම මහානායක පදවියට පත් උරුලෑවත්තේ ශ්‍රී ධම්මසිද්ධි මා නා හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද නා හිමියන්ගේ ආචාර්යයත්වයෙන් ප්‍රවෘජ්ජා සම්පත් ලබා පිරුණූ විසි වයස් එළඹුණු විට 1942 අස්ගිරි මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී මුල්ලේගම ශ්‍රී ගුණරතන මහ නාහිමියන් උපාධ්‍යාය කොට උපසම්පදාවට පත් වූහ.

පරිවේණාචාර්යයන් වහන්සේ නමක සහ පරිවේණාධිපතීන් වහන්සේ නමක වශයෙන්ද , අස්ගිරි මහාවිහාරයීය කර්මවාගාචාර්ය, විංශත් වර්ගික කාරක, සංඝ සභික, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික .උපාධ්‍යාය ආදි තනතුරු හොබවමින් ද මාතලේ යටවත්තේ, උරුලෑවත්ත රාජමහා විහාරය, අලව්ව හුම්බුළුව රාජමහා විහාරය ආදි උරුලෑවත්ත සංඝ පරම්පරානුගත විහාරස්ථානයන් සහ මැටියගනේ මයුරාවතී රාජමහා විහාරය, මහියංගන රාජමහා විහාරය ලෝක උරුමයක් වු රංගිරි දඹුලු රාජමහා විහාරය ආදි අස්ගිිරි මහා විහාරයීය විංශත් වර්ගික කාරක සංඝ සභාන්තර්ගත පූජ්‍යස්ථානයන්හි ආධිපත්‍යය දරමින්ද අවස්ථා ගණනකදී ශ්‍රී දළදා වහන්සේ උදෙසා තේවා භාර නායක ස්වාමීන්ද්‍රයන් වනන්සේ ලෙසින් කටයුතු කරමින්ද සිදු කළ මෙහෙවර අනභිභනීය වෙයි.

ඉපැරණි අධ්‍යාපන ක්‍රමයේ පරතෙරට යමින් මජික්‍ධිම භාණක, ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත ආදි උපාධි හොබවමින් ව්‍යක්ත ධර්ම දේශකයකු සහ සරභඤ්ඤ විශාරදයෙකු වශයෙන් පෘථුලත්වයට පත්ව වැඩ විසූ සේක. ගැඹූරු දහම් කරුණු සරල ගැමි වහරින් ඉදිරිපත් කිරීමේ දක්ෂතාවයෙන් යුතුව සිරිලක ඉපැරණි ධර්ම දේශනා ක්‍රම අතර එන මෛත්‍රී වර්ණනා, ආසන දෙකේ බණ, ආසන පහේ බණ, ආසන හතේ බණ ආදි රැය තුන් යම පහන් වන තුරුපවත්වන ධර්මදේශනා සඳහා දිවයිනේ චිරප්‍රසිද්ධත්වයට පත් වූහ.

භික්ෂු සමාජයෙහි නායකත්වය සඳහා අදාළවන සකලවිධ ගුණාංගයන්ගෙන්ම අනූන වූ මහා නා හිමිපාණෝ අප්පිච්ඡතා ,සන්තුට්ඨිතා, සුභරතා යනාදී ගුණාංගයන්ගෙන් යුතුව නිරන්තරයෙන් දැහැමි සිතිවිලිවලින් මුව සරසාගෙන තම සමීපයට පැමිණෙන කාහටත් සමානාත්මතාවයෙන් සත්කාර සම්මාන දැක්වූහ. තම ආචාර්යයන් වහන්සේලා විසින් රැකගෙන ආ මහා විහාරය සම්ප්‍රදාය හා චාරිත්‍ර වාරිත්‍ර විධි සමුදාය නොකඩකොට අනුගමනය කිරීම හා ආරක්ෂා කිරීම උදෙසා උන්වහන්සේ ගන්නාලද උත්සාහ ප්‍රශංසාර්භ වේ.


කැකුණාවල වනරතන නා හිමි

වයඹ පළාතේ කැකුණාවල ග්‍රාමයේ දී සිරිමල්හාමි වෙද මහතාගේ හා මුතුමැණිකා මාතාවගේ පුත් රුවනක් ලෙස 1952 වෙසක් මස 01 වන දින උපත ලද සූරිය මුදියන්සේලාගේ වනිගසුන්දර නම් පින්වත් කුමරු සහෝදර සහෝදරියන් සිව් දෙනෙක් අතරින් බාල ම පිරිමි දරුවාය.

1964 මාර්තු මාසයේ දී ගල්ගහපොත්ත විහාරස්ථානයට එම කුමරුවා බාරකෙරිණි.

1965 පොසොන් මස 18 වන දින තල්ගහපොත්ත පවරගිරි විහාරස්ථානයේ දී තවත් දරුවන් තිදෙනෙක් සමඟ කැකුණාවල වනරතන යන නමින් පැවිදි දිවියට ඇතුළත් විය..

මූලික පිරිවෙන් අධ්‍යාපනයෙන් පසුව උසස් පෙළ ඉගෙනීමට පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනට 1971දී ඇතුළත් විය.

1973 දී උ/පෙළ විභාගයෙන් සමත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලබා ගත්හ.

උන්වහන්සේ 1972 ජුනි 18 වන දින සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රාජකීය මංගල උපෝෂථාගාරයේ දි අධිසිල් ලැබූහ. වයඹ දිසාවේ පහළ දොළොස්පත්තුවේ ද්විතීය සංඝ නායක බිංගිරියේ ශ්‍රී සෝමාලෝක නා හිමියන් හා පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරුවන්හි අධ්‍යක්ෂ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක සාහිත්‍ය චක්‍රවර්ති යක්කඩුවේ ශ්‍රී පඥාරාම නා හිමියන් යන දෙනමගේ ශිෂ්‍යවරයෙක් ලෙසින් උපසම්පදා සීලයේ පිහිටුවන ලදී.

ශාස්ත්‍රවේදී උපාධිය හා ප්‍රාචීන මධ්‍යම විභාගය අවසන්වූ පසු 1981 දී පළමුවරට බාහිර ගුරුවරයෙක් ලෙසින් බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙන ට වැඩම කරන ලදී. 1986 මැයි 16 වන දින ස්ථිර ගුරුවරයෙක් වශයෙන් එම පිරිවනේම පත්වීම ලබන අතර අනතුරුව පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවනේ ධර්මාචාර්ය වරයෙක් වශයෙන් 1986 සිට 1989 දක්වා සේවය කරන ලදී. 1989 මැයි 15 වන දින පාසල් ආචාර්යවරයෙක් ලෙස පත්වීම ලබා අතුරුගිරිය මහා විද්‍යාලය, ඇවරිහේන විද්‍යාලෝක විද්‍යාලය සහ හෝමාගම මහ විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය සැලසූහ.

හෝමාගම පුරාණ විහාරයේ බොහෝ කාලයක් වැඩ සිටි උන්වහන්සේ පසුව පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරුවන්පති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්මාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ගේ ඉල්ලීම මත පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවනේ වැඩ බලන කෘත්‍යාධිකාරි තනතුරට පත් වූහ.

උන්වහන්සේ පන්සලෙන් ගමට යන තේමාව යටතේ ගමේ ආර්ථික අපහසුතා ඇති පවුල් නඟා සිටුවන්නට විවිධ වැඩ සටහන් ජනසරණ පදනම මගින් ආරම්භ කර ඇත. කොළඹ කෘත්‍යාධිකාරි සංගමයේ සභාපතිත්වය දරමින් පිරුවෙන් නගාසිටුවන්නට මහත්වෑයමක් දරන ආකාරය දැකිය හැකිය. කැකුණාවල වනරතන හිමියන් දායක පින්වතුන් විසින් පිළිගැනීමේ උත්සවය මාර්තු (11) වැනිදා සවස 2.00 ට තල්ගහපොත්ත ශ්‍රී පවරගිරි විහාරස්ථානයේදී සිදු කෙරේ.


පරගස්තොට සුධම්ම නා හිමි

මොරොන්තුඩුව පුරාණ සත්බුදු විහාරය, අනුරාධපුර මෙත්බුදු විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කම්මට්ඨානාචාර්ය පරගස්තොට සුධම්ම නායක හිමිපාණන් වහන්සේ රයිගම් පුරවරයට අයත් බණ්ඩාරගම, පරගස්තොට ගම්පියස නිජබිම් කරගෙන කුරුප්පු ආරච්චිගේ ඕදිරිස් පෙරේරා හා රැටියලගේ දෝන ඇලිස්නෝනා දම්පතීන්ගේ පුත් රුවනක් ලෙස 1951 නොවැම්බර් මස 13 වන දින උපත ලැබීය.

උන්වහන්සේ 1964 මාර්තු මස 12 වන දින මොරොන්තුඩුව පුරාණ සත්බුදු විහාරයේ දී සසුන්ගත වූහ. මහාවාද්දුව ගංගාරාමය හා මොරොන්තුඩුව පුරාණ සත්බුදු විහාරය යන උභය විහාරාධිපති අපවත්වී වදාළ තලගල සුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රවෘජ්‍යාචාර්යයන් වහන්සේ වූහ.

මූලික බණ දහම් හා ශාසනික වත් පිළිවෙත් ප්‍රගුණ කළ සුධම්ම හිමියෝ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනට ඇතුළත් ව ප්‍රාචීන භාෂා ශාස්ත්‍රය හා ධර්ම විනය හදාරා පිරිවෙන් අධ්‍යාපනය නිමකර කැලණි විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ.

සුධම්ම හිමියෝ මොල්ලිගොඩ පිරිවෙනේ ආචාර්ය ධුරයකට පත් වී දස වසරක කාලයක් භික්ෂු අධ්‍යාපනයේ උන්නතිය උදෙසා මහඟු සේවාවක් සිදුකළහ. පසුව උතුරු කළුතර අශෝකාරාම විහාරස්ථ සිරිසරණංකර පිරිවෙනෙහි පරිවෙණාධිපති ධූරයට පත් උන්වහන්සේ තවත් කාලයක් සේවය කළ හැකි ව තිබියදී ගුරු සේවයෙන් විශ්‍රාම ලැබුවේ පූර්ණ කාලීනව ශාසනික කටයුතුවල යෙදීමේ අභිප්‍රායෙනි.

තම ගුරුදේවයන් වහන්සේලා අපවත්වීමෙන් පසු මහවාද්දූව ගංගාරාමයේ හා මොරොන්තුඩුව පුරාණ සත්බුදු විහාරයේ ආධිපත්‍යයට පත් සුධම්ම හිමියෝ එම විහාරස්ථාන සංවර්ධනය උදෙසා ද උත්සුකව ක්‍රියා කළහ. විහාරස්ථාන දෙකක පරිපාලනය හා සංවර්ධනය පිළිබඳව වගකීම් දැරීම, බෝධි පූජා, අටවිසි බුද්ධ පූජා, තෙසැත්තෑඥාන පූජා, භාවනා පුහුණු කිරීම් ආදී ශාසනික කටයුතුවලට කළුතර බෝධිභාරකාරක මණ්ඩලයේ ආරාධනයෙන් වසර 40 කට වැඩි කලක් මුළුල්ලේ බෝධි පරිශ්‍රයේ සතිපතා බෝධි පූජා, සතිපතා භාවනා පුහුණුකිරීම් ආදී පින්කම් මෙහෙයවමින් උදාර සේවාවක් සිදුකරන අතර පරගස්තොට කොඩිගලකන්ද ආරණ්‍යසේනාසනය ආරම්භ කර භාවනානුයෝගීන්ට අධ්‍යාත්මික ඉමහත් සේවාවක් සිදුකරති. සුධම්ම හිමිපාණන්ගේ ලෝක ශාසනික සේවාවන් අගය කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝ නායක ධූරය ප්‍රදානය කිරීම උන්වහන්සේ සිදුකරන අධ්‍යාපනික හා සමාජීය සේවයට කෙරෙන උපහාරක් වශයෙන් සැලකිය හැකි ය. අනුරාධපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ධූර ප්‍රාප්ත පරගස්තොට සුධම්ම නාහිමිපාණන්ට ශතවර්ෂාධික කාලයක් ලෝක ශාසනින සේවාවේ නිරතවීමට ශක්තිය, ධෛර්යය ලැබේවා!