Print this Article


සංඝනායක පදවියෙන් පිදුම් ලද මහරගම පදුම නා හිමි

සංඝනායක පදවියෙන් පිදුම් ලද මහරගම පදුම නා හිමි

ඒ.එස්. පීටර් සහ ගීකියනගේ ලිසී නෝනා යුවළගේ පවුලේ දරුවෝ 8 දෙනෙක් වූහ. 1965 පෙබරවාරි මාසයේ 20 වන දා මහරගම වත්තේගෙදර දී හත් වන දරුවා ලෙසින් ජනිත වූ එස්.එස්. ප්‍රේමලාල් මහරගම බුවනෙකබා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ අ.පො.ස. උසස් පෙළ ද සමත් විය.

නවයොවුන් වියේ දී පමණ ප්‍රේමලාල් තරුණයා පානදුරේ අරියධම්ම භික්ෂූන් වහන්සේගේ බෝධි පුජාවකට සහභාගී විය. ගුවන් විදුලියෙන් විකාශනය වුණු උන්වහන්සේගේ ධම්ම චින්තා ද ශ්‍රවණය කිරීමෙන් මේ තරුණ සිතට අමුතු පිබිදීමක් ඇති විය.

1994 ඔක්තෝබර් 15 වන දා හොරණ කළුආරච්චි කැපකරු මාපියන් යටතේ අම්පිටියේ මංගල නා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යාය, ආචාර්යත්වයෙන් මෙම යෞවනයා මහරගම පදුම නමින් සසුන් මඟට පිවිසියේ ය. මහරගම පදුම හිමි, නා හිමිපාණන් සෙවණේ පිළිවෙත් සපුරමින් අධ්‍යාපනය ද ලැබ 1995 – ජුනි 03 වන දින වතුරුවිල වනවාස මූලස්ථානයේ දී උපසම්පදාව ලැබූහ. 2001 සිට 2008 දක්වා පුරා වසර 07 ක් මඩකඩ ආරණ්‍යයේම ශාඛාවක් වන මහරගම, නාවින්න ජයතුංග යෝගාශ්‍රමයේ කෘත්‍යාධිකාරී ලෙස කටයුතු කරන පදුම ස්වාමීන් වහන්සේ එහි ප්‍රවර්ධනය උදෙසා සුවිසල් කාර්යයන් රාශියක් ඉටුකර දී තිබේ.

පදුම ස්වාමීන් වහන්සේ 2001 වසරේ දී මහා දාන පාරමිතාවක් පුරමින් තම වකුගඩුවක් අසරණ රෝගියකුට පරිත්‍යාග කරන්නේ උතුම් වූ වෙසක් පුන් පෝදා ය. 2008 වසරේ දී ඕස්ට්‍රේලියාවේ මෙල්බන් සමාධි භාවනා මධ්‍යස්ථානාධිපති හොරොව්පතානේ සතින්ද්‍රිය භික්ෂූන් වහන්සේගෙන් පරිත්‍යාගයක් ලෙස ලද කළුබෝවිල පන්සල පාරේ ඉඩම් කැබැල්ල තුළ අද සමාධි චිත්ත විවේකාශ්‍රමය ගොඩනැගී තිබේ. මහරගම පදුම හිමියන් එහි වැඩවසන අතර එය කළුබෝවිල ජාතික රෝහල වෙත පැමිණෙන ගිලන් භික්ෂූන් වහන්සේලාට විවේකාශ්‍රමයක් වෙමින් තවත් උතුම් පුණ්‍යකර්මයකට පදුම හිමියෝ දායක වී සිටිති.

පුරා වසර 23ක භික්ෂු ජීවිතයේ දී කළ ශාසනික සමාජ මෙහෙවර වෙනුවෙන් මහරගම පදුම හිමියන් වෙත 2017 – 12 – 15 වන දින මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස මහා නිකායේ කොළඹ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

2018.02.17 වන දින වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයේ දී එම වනවාස මහා නිකායේ මහානායක අම්පිටියේ මංගලාභිධාන තම ගුරුදේවයන්ගේ ප්‍රධානත්වයෙන් සන්නස් පත්‍ර ප්‍රදානය සිදු කෙරිණි. අභිනව සංඝනායක පදවියට පත් මහරගම පදුම නා හිමියන් පිළිගැනීමේ උත්සවය මාර්තු 11 වන ඉරුදින සවස 03 ට කළුබෝවිල පන්සල පාරේ සමාධි චින්ත විවේකාශ්‍රමයේදී සිදු කෙරෙයි. ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සංවිධානය වන උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් සමඟ විශේෂ ආරාධිතයන් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා හා එම මහත්මියයි.