Print this Article


බුදුපිළිමයේ උපත - 94: නේපාලයේ පුරාණ කපිලවස්තු රාජධානිය

බුදුපිළිමයේ උපත - 95:

නේපාලයේ පුරාණ කපිලවස්තු රාජධානිය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග
 
පුරාවිද්‍යා 
Msc පර්යේෂණ

මෙකල ව්‍යවහාර කරන ඉන්දියාව පුරාණ ජම්බුද්වීපය හෙවත් දඹදිව ට අයත් කොටසක් පමණි. මහා භාරතය යන නාමයෙන් ද හැඳින්වූ දේශය ට ඉන්දියාව , පකිස්ථානය ,බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය ආදි රටවල් රාශියක් අයත් වූයේ ය (සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය වූයේ දඹදිව ලෙසින් සාමාන්‍ය පිළිගැනීම ය.

මෙකල ඉන්දියාව සහ නේපාලය යන රටවල් දෙකේ තෙමඟුල හා බැඳුණු පුණ්‍යභූමි තුන පිහිටියේ ය. ලුම්බිනිය (නේපාලයේ) බුද්ධගයා සහ කුසිනාරා යන පුදබිම් දෙක පිහිටියේ මෙකල ඉන්දියාවේ ය. මහාපරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්දම ට බෞද්ධයෙකු විසින් වැඳ පුදා ගත යුතු සිව්මහ පුදබිම් වූයේ ලුම්බිනිය, බුද්ධගයා , සාරානාත් හා කුසිනාරාය. සාරානාත්හි බරණැස බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වු පුදබිම ය.

කපිල වස්තු රාජධානිය ශාක්‍යයන්ගේ පුරාණ සමූහාණ්ඩුවක් ලෙසින් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. කපිල වස්තු රාජධානිය මෙකල පිහිටියේ නේපාලයේ ය. සිදුහත් කුමාරයා ගිහිගෙයි වාසය කළ අවුරුදු විසි නවයක් ම ගත කළේ කපිලවස්තු රාජධානියේ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වී ඇති ප්‍රකට කරුණකි. මේ අනුව මෙකල ලුම්බිනි සහ කපිලවස්තු පුරය පිහිටා ඇත්තේ නේපාල දේශයේ ය.

කපිල වස්තු රාජධානියේ අතීතය ද ඉතා රසවත් කතාවකි. කපිලවත්ථු ,කපිලතීර්ථ හා කිඹුල්වත් යන නාමයන්ගෙන් පුරාණ කාලයේ ලියැවුනු බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වී ඇත. කපිලවස්තුපුරය ශාක්‍යයන්ගේ පුරය මෙන් ම රාජධානිය ද වේ. ඉතා පුරාණ කාලයේ දී එනම් ප්‍රාග් ඓතිහාසික ක්‍රිස්තු පූර්ව අට වැනි සියවස ට ත් එහා කාලයක දී කපිල නම් වූ ඍෂිවරයෙකුගේ එම නාමයෙන් ඒ දේශය නම් කෙරුණේ කුමන අන්දමින් ද යන්න පිළිබඳ කතාවක් සම්මෝහ විනෝදනි’ නම් පාලි ග්‍රන්ථයෙහි සඳහන් වේ. භාරත දේශයේ පුරාණ කවියෙකු වු ක්ෂේමේන්ද්‍ර විසින් ලියනලද ‘අවදාන කල්පලතා’ ග්‍රන්ථයෙහි කපිලවස්තුපුරය සහ ශාක්‍යයන්ගේ සබඳතාවය ගැන සඳහන් වේ.

හිමාලය කඳු පාමුල ශිවාලික් කඳුවැටිය අසල කපිලවස්තු රාජධානිය පිහිටියේ ය. කෝසල රාජ්‍යයෙන් පහකරන ලද ඔක්කාක (ඉක්ෂ්වාකු) රජ පෙළපතට අයත් පිරිමි සහ ගැහැනු දරුවන් පසු කාලයේ කපිල නම් ඍෂිවරයාගේ අසපුව අසල භගිරති ගං තීරයේ පදිංචි වූහ. ශාක්‍ය රාජ්‍යය උතුරෙන් හිමාලය ට ද නැගෙනහිරින් රෝහිණී නදිය ට ද, බටහිරින් සහ දකුණින් රජනි නදියට (පුරාණ අචිරවති නදිය) ද මායිම් ව පිහිටියේ ය. ශාක්‍ය වංශිකයන් ඉක්ෂ්වාකු පවුලට අයත් සූර්ය වංශිකය න් ය.

බුද්ධත්වයෙන් හය වැනි වර්ෂයේ දී සුද්ධෝදන රජතුමා කපිලවස්තු රාජධානියට (කිඹුල්වත්පුර) වැඩම කරවන ලෙස බුදුරජාණන් වහන්සේ ට ආරාධනා කරන ලදී. බුදුරජාණන් වහන්සේ සාරානාත්හි සිට රජගහනුවර ට වැඩම කර කපිලවස්තු නගරයට ආසන්නයේ පිහිටි නිග්‍රෝධ වනයේ වැඩි හිඳ ඇත. පළමු වන දවසේ ම සුද්ධෝදන රජතුමා විශ්මයට පත් කළ කාර්යයක් විය. එනම් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයෙහි වැඩම කරවීම යි.

අසෝක රජතුමා (පූර්ව රාජ වර්ෂ 273-232) නේපාලයේ ලුම්බිනි පුදබිමට පැමිණ තමන් පැමිණි බව පමණක් නොව සිද්ධාර්ථ කුමාරයා එහි උපන් බව බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියු ශිලා ටැඹක් ද එහි පිහිටුවන ලද බව ඉතා ප්‍රකට කරුණ කි.

ලුම්බිනි පුදබිමෙහි පමණක් නොව මේ කාලයේ නේපාලයේ මෙකල නිගල්හවා හි කෝණාගම බුදුරජාණන් වහන්සේ උපන් පුදබිම සිහිවීමට ද ශිලා ටැඹක් පිහිටුවා තිබේ. අසෝක රජතුමා රාජ්‍යත්වයට පත්වී වසර 20 දී එම පුදබිමට පැමිණියේ ය.

එපමණක් ද නොව මෙකල තිලෝරා කොට් හෙවත් කපිලවස්තු රාජධානියට අයත් පුදබිමක කෝණාගම බුදුරජාණන් වහන්සේ සිහිවීම සඳහා අසෝක රජු ශිලා ටැඹක් පිහිටුවා ඇත. එහි නටබුන් අදත් දැකිය හැකි ය.

‘අභිශේකයෙන් වසර 14 ඉකුත් වූ කල්හි දෙවනපියදසි (අසෝක) රජු විසින් කෝණාගම බුදුරජාණන් වහන්සේගේ ස්තූපය දෙගුණයක් විශාල කරන ලදී. අභිශේකයෙන් විසිවන වර්ෂයේ දී තමා ම පැමිණ වැඳුම් පිදුම් කරන ලදී. එහි ශිලා ටැඹක් ද පිහිටුවන ලදී.

අසෝක රජතුමා විසින් මෙකල නේපාලයේ ගොනිහවා ගමෙහි (ලුම්බිනියේ සිට කි.මී. 28 දුරින් පිහිටි) කකුසඳ බුදුරජාණන් වහන්සේ උපන් පුදබිමෙහි ද ශිලා ස්තම්භයක් පිහිටුවා ඇත. මේවා නේපාලයේ කපිලවස්තු තිලෝරාකෝට් හි අද ද දැක ගැනීමට හැකි ය. කකුසඳ බුදුරජාණන් වහන්සේ ට උන්වහන්සේ ගේ පියා හමුවූයේත් පිරිනිවන්පෑවේත් මෙම පින්බිමෙහි බව පාහියන් හිමියන්ගේ වාර්තාවල ද සඳහන් වේ.

(බෞද්ධ රාජධානිය පිළිබඳ තොරතුරු නම්වූ පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාව – පරිවර්තනය මහාචාර්ය විමල් ජී බලගල්ලේ හතරවන මුද්‍රණය පි. 66-(1957)

පාහියන් හිමියන් රාජවර්ෂ 5 වන සියවසේ ද හියුංෂාං හිමියන් රාජ වර්ෂ 7 වන සියවසේ ද මෙම පුදබිමිවලට මෙන් ම පුරාණ කපිල වස්තු රාජධානියේ එකල තිබුණු නටබුන් ගැන ද බොහෝ තොරතුරු එම චීන ජාතික භික්ෂූන් වහන්සේ විසින් සිය දේශාටන වාර්තාවල සඳහන් කර ඇත.

සුද්ධෝදන රාජමාළිගය ,නිග්‍රෝධාරාමය, මහා වන විහාරය සිදුහත්කුමරු වාසය කළ රජමාළිගා තුනෙහි නටබුන් නේපාලයේ කපිල වස්තු රාජාධානියේ පුරා විද්‍යා කැණීම්වලින් හමුවී ඇත. සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් අටෙන් කොටසක් කපිලවස්තු පුරයේ නටබුන් වූ දාගැබ, කැණීම් කළ පුරාවිද්‍යාඥයින්ට මෑතක දී හමුවී ඇත. ලුම්බිනියේ 2013 දී පුරාවිද්‍යා කැණීම් සිදුකළ මහාචාර්ය රොබින් කොනිංහැම් මහතා ප්‍රමුඛ පුරා විද්‍යාඥයින් ඉන් පසු නේපාලයේ කපිලවස්තු රාජධානියේ කැණීම් කටයුතු අරඹා ඇත.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 94: කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා