Print this Article


අත් නො හළ යුතු උත්සාහය

අත් නො හළ යුතු උත්සාහය

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සැවැත්නුවර එක්තරා තරුණයෙක් බුදු සසුනට පැහැදී පැවිදි විය.

මේ භික්ෂුව ඉතා ඕනෑකමින් ධර්මය ඉගෙන ගත් අතර, දිනක් භාවනා කිරීම සඳහා හුදෙකලා වාසයට පිටත් වුණි. කුටියක තනි වී භාවනා කළේ ය. නමුත් භාවනාව වැඩීම අපහසු විය. උන්වහන්සේට නිතර නින්දෙන් බාධා විය. සිත විසිරෙන්න විය.

එ නිසා ම උන්වහන්සේට හුදෙකලා වාසය එපා වුණි. ආපසු දෙව්රම් වෙහෙරට වැඩම කොට වීර්යය සම්පූර්ණයෙන් ම අත් හළේ ය. අනෙක් ස්වාමින් වහන්සේලාට මේ තෙරුන්ගේ වීර්යය දුර්වල බව තේරුණි. “ආයුෂ්මතුනි, වීර්ය වඩන්නට හුදෙකලා වූ ඔබ මෙ තරම් ඉක්මනින් නැවත විහාරස්ථානයට වැඩියේ මන්දැ”යි විමසී ය.

“අනේ ස්වාමිනි, මම භාවනාවට උත්සාහ කළ නමුත් මට භාවනාව කර ගන්නට ඉතා අපහසු බවක් දැනුනා. එනිසා විහාරයට වැඩියා” යැයි කියා සිටියේ ය. භික්ෂුන් වහන්සේලා, උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත කැඳවාගෙන ගියහ.

“පින්වත් භික්ෂුව ඇයි ඔබ වීර්යය අත් හැරියේ? දැන් හිත පසුබෑමකට ලක් කරගෙන ද වැඩ සිටින්නේ?”

“භාග්‍යවතුන් වහන්ස, මම මහන්සි ගත් නමුත් භාවනා කිරීම ඉතා අපහසු බවයි වැටහෙන්නේ.”

“භික්ෂුව ඔය වගේ සුළු කරුණකට තමන්ගේ වීර්යය අත් නො හරින්න. තමන්ට ලැබෙන්නට තිබෙන මහා ලාභය ගැන සිතන්න. අතීතයේ දී ඔබ වැඩිමහල් කුමාරවරු සිය දෙනෙක් සිටිද්දීත් ඒ සියල්ලෝ ම පරදවා රජ වූ කෙනෙක්. දැන් ඇයි වීර්යය අත හරින්නේ?” භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ඒ අවස්ථාවේ දී එහි සිටි භික්ෂුන් වහන්සේලාට ඒ අතීත සිදුවීම දැන ගැනීමේ බලවත් ආශාවක් ඇතිවූ නිසා බුදුරජාණන් වහන්සේ අතීත සිදුවීම මෙසේ වදාළේ ය.

මහණෙනි, ඈත අතීතයේ බරණැස් නුවර බ්‍ර‍්‍රහ්මදත්ත නම් රජෙකු රාජ්‍ය කළේ ය. මේ රජුට පුත් කුමාරවරු සිය දෙනෙක් සිටියේ ය. අන්තිමයා ගාමිණි කුමාරයා යි. ඒ කාලයේ අපගේ මහ බෝසතාණන් වහන්සේ තක්ෂිලාවේ ආචාර්යවරයා යි. මේ ගාමිණි කුමාරයා ඉගෙනීම ලැබුවේ බෝසත් ආචාර්යපාදයන් වහන්සේ ළඟයි. දිනක් ගාමිණි කුමාරයා තමන්ගේ ආචාර්යපාදයන් වහන්සේට කියා සිටිනවා,

"ආචාර්යපාදයන් වහන්ස, මට වැඩිමහල් සහෝදරවරු සිය දෙනෙකු සිටින නිසා මා රජවීමනම් සිහිනයක් පමණි".

"කුමාරය, එසේ නො කියන්න. නුවණැත්තන්ගේ අවවාදයේ පිහිටා, ආවේගයට පත් නොවී, උපායශීලිව ක්‍රියා කළොත්, තමන්ගේ ලක්ෂය කරා යාමට පුළුවනි. ඒ වගේම දානය, පි‍්‍රය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය යන සතර සංග්‍රහ වස්තුවෙන් අන්‍යයන්ට සළකන්නට ඔබ දක්ෂ වුණොත් රජකමට ඔබ සුදුස්සෙකු වේවි". ඒ අවවාද පිළිගත් ගාමිණි කුමාරයා බෝසත් ආචාර්යවරයාගේ උපදෙස් පරිදිම කටයුතු කළේ ය. ශිල්ප අවසානයේ දී අනෙක් රාජ කුමාරවරු පිය රජු බැහැ දැක ජනපදය බැගින් ඉල්ලාගෙන පාලනය කළේ ය. එහෙත් බෝසත් ආචාර්යපාදයන් ගාමිණි කුමාරයාට පවසා සිටියේ, කුමාරය, ඔබ ජනපද ඉල්ලාගෙන නො යන්න. පිය රජු සමීපයේ ම වාසය කරමින් තම ජනතාවට සතර සංග්‍රහ වස්තුන්ගෙන් සංග්‍රහ කරන්න. ප්‍රජාවගේ සිත දිනා ගෙන සියල්ලන්ට ම ආදරයෙන් සලකන්න. ගාමිණි කුමාරයා ආචාර්යවරයාගේ බසට අවනතව රාජ මාළිගයේ සියල්ලන්ටමත්, රට වැසියාටත් උපකාර සහිතව වාසය කළේ ය. කාලයාගේ් ඇවෑමෙන් පිය රජු අසනීප ව මරණාසන්න විය.

රජතුමනි, ඔබතුමාගෙන් පසු මේ රටේ රජකම හිමිවන්නේ කාට ද?

"අමාත්‍යවරුනි, සාමාන්‍යයෙන් රජකම ලැබෙන්නේ වැඩිමහල් පුත්‍රයාට යි. නමුත් ගාමිණි කුමාරයා අන් හැම කුමාරයෙකුට ම වඩා රජකමට සුදුසු යි. සියලු දෙනා ම පි‍්‍රය කරන්නේ ගාමිණි කුමාරයා යි."

බරණැස් මහරජුගේ ඇවෑමෙන් ගාමිණි කුමාරයා රාජ්‍යයට පත් වුණි. වැඩිමහල් සහෝදර කුමාරවරුනට වස්තුව බෙදා දුන් අතර ඔවුන් හැම දෙනාටම පාලන කටයුතු ද පැවරූහ. දිනක් ගාමිණි මහ රජු සිහසුනේ සිටින අතරේ පී‍්‍රති වාක්‍යයන් ලෙසින් මෙසේ කී ය." නුවණැත්තන්ගේ අවවාදයට අනුව යමෙක් කටයුතු කරනවානම් ,ඔහුට කිසි දිනෙක වරදින්නේ නැත. ඔහුට තමා ප්‍රාර්ථනා කරන දේ එලෙසින් ම ලැබේ. ගාමිණි නුඹටත් මේ සියල්ල ලැබුණේ ආචාර්යවරයාගේ දක්ෂ උපදෙස් නිසා ය. ඒ නිසා ගාමිණි වැඩිමහල් සහෝදරවරු සියයක් පරදවා රජ වුණේ නුඹේ ආචාර්යවරයා නිසාම යි. නුඹේ ආචාර්යවරයා යි මෙහි සැබෑ හිමිකරු" යැයි කී ය.

බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම විස්තර කරමින් ඒ භික්ෂුවට අවවාද කොට “පින්වත් භික්ෂුව, එදා ආචාර්යවරයා ලෙස සිටිය මාගේ අවවාදයේ පිහිටා දැහැමින් රාජ්‍ය කෙරූ ගාමිණි කුමාරයා ඔබ යි. ඒ නිසා භික්ෂුව අද මම ඔබට කියා දෙන්නේ නිවනට යන මාවතයි. භික්ෂුව, එදා වගේ ම හිතට ධෛර්යය ගෙන කටයුතු කරන්න. කලබල වීම නුවණැත්තාගේ ස්වභාවය නොවේ" යැයි වදාළේ ය.

බුදුරජාණන් වහන්සේගේ අවවාදය පිළිගත් උන්වහන්සේ උකටලී බව අත්හැර වීර්යයෙන් භාවනා කොට අරහත්වය සාක්ෂාත් කළහ.