Print this Article


බලපිටිය පාතෙගම ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගල්වෙහෙර විමලසිරි නා හිමි

බලපිටිය පාතෙගම ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති ශාස්ත්‍රපති පණ්ඩිත

ගල්වෙහෙර විමලසිරි නා හිමි

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන්  ගල්වෙහෙර විමලසිරි නා හිමියෝ  “සිරි සද්ධම්මවංසද්ධජ විනය කීර්ති ශ්‍රී ගෞරව නාමයෙන් පිදුම් ලබති. ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු 10 වන දා පස්වරු 2 ට බලපිටිය, පාතෙගම ශි‍්‍ර බෝධිරුක්ඛාරාමයේ දී.


කළ සේවය ඉමහත්

බලපිටිය, පාතෙගම ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලසිරි ස්ථවිරපාදයන් වහන්සේ අප අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය ට පත්වීම ඉමහත් සතුට ට හේතුවකි. එසේම තත් පදවි ප්‍රාප්ති මහෝත්සවය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරනු ලබන්නේ ආශිර්වාද පුර්වංගම ව ය.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය ශෝභාසම්පන්න කළ ඉඳුරුවේ සුගතපාල, දූවේ නේමින්ද, වැලිතර ගුණසිරි හා වැලිතර ධම්මසිරි යන මහා ස්වාමීන් වහන්සේලාගේ ආචාර්ය ප්‍රාචාර්යත්වයෙන් ශාසන දායාදය ලත් විමලසිරි ස්ථවිරපාදයන් වහන්සේ, අප ගුරුකුලය වූ රන්දොඹේ ශික්ෂාලංකාර මහ පිරිවෙණෙහි කොස්ගොඩ පඤ්ඤාසීහ, කොස්ගොඩ ජිනාලංකාර මහා ස්වාමීන් වහන්සේලාගේ ධර්මාන්තේවාසිකව ප්‍රඥාවෙන් මෙන් ම ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ ශික්ෂණයක් හා දැනුමක් ලබා ගැනීමට තරම් භාග්‍ය සම්පන්න වූහ.

අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙන් හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් එම දැනුම තවතවත් පෘථුල කර ගත් උන්වහන්සේ රජයේ පාසල් ගණනාවක ම ධර්මාචාර්යයන් වහන්සේ නමක් ලෙස කළ ශාස්ත්‍රීය සේවය ඉමහත් ය. එසේම ස්වකීය ගුරුදේවයන් වහන්සේලාගේ ඇවෑමෙන් පාතෙගම බෝධිරුක්ඛාරාම මහා විහාරය මූලික කරගෙන සිදු කරනු ලබන ආගමික සේවාව ප්‍රශංසාර්හ ය. ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ අධ්‍යාත්මික, අධ්‍යාපන හා ආර්ථික දියුණුව හා සංවර්ධනය උදෙසා නව ව්‍යාපෘති රාශියක් ආරම්භ කොට ක්‍රියාත්මක කරනුයේ සණස ව්‍යාපාරය, දහම් පාසල්, පෙර පාසල් වැඩිහිටි සමිති මුල්කර ගනිමිනි. අප නිකායේ බෙ.ව.කෝ (මධ්‍යම) ප්‍රාදේශීය සංඝ සභාවේ මූල්‍ය ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ විමලසිරි ස්වාමීන් වහන්සේ පිළිවෙළින් ‘සුධර්මා’ කාරක සංඝ සභික, උප අධිකරණ සංඝ නායක, අධිකරණ සංඝ නායක පදවි දරමින් නිකායාභිවෘද්ධිය වෙනුවෙන් ද ඉමහත් මෙහෙවරක් සිදු කළහ.

අභිනව පදවිය තුළින් නිකායාභිවෘද්ධිය පිණිසත්, පොදුවේ ශාසනාභිවෘද්ධිය පිණිසත් වැඩ වඩන්නට ශක්තිය හා ධෛර්යය සහ චිරජීවනය ලැබේවා යි ආශිංසනය කරම් හ.


උදාර සේවයක්

කතරගම, ඓතිහාසික වැඩසිටිකන්ද රාජ මහා විහාරාධිපති
අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී
ශාස්ත්‍රපති
හීල්ලේ ඤාණානන්ද නා හිමි

ඓතිහාසික ගල්වෙහෙර නම් ග්‍රාමවරයේ විසූ ව්‍යාපාරික වවුලාගල රැයිඩින් ද සිල්වා සහ යොම්මෙරඤ්ඤ පුංචිහාමි යන දම්පතීහු නා හිමියන්ගේ මවුපියෝ වූ හ. 1954 අප්‍රේල් මස 20 වෙනි දින උපත ලැබූ කුමරුවා සහෝදර සහෝදරියන් නව දෙනෙකුගෙන් යුත් පවුලේ හය වැන්නා විය. මෙම පින්වත් කුමරුවා නමින් වවුලාගල ගුණරත්න නම් විය. පාසල් අධ්‍යාපනය සඳහා නිසි වයස් පිරුණු කල්හි ගල්වෙහෙර මිශ්‍ර පාඨශාලාවට ඇතුළත් ව අටවෙනි ශ්‍රේණිය දක්වා ගුරු දෙගුරු සිත් දිනාගෙන මනා ශික්ෂණයකින් යුතුව නිසි අධ්‍යාපනය ලැබී ය. පන්සලට හා භික්ෂූන් වහන්සේලාගේ ඇසුරට පි‍්‍රය කළ ගුණරත්න කුමරුවා පාසල් කාලය නිමාවීමෙන් පසුව වැඩි කාලයක් ගත කළේ නිවසට යාබද ව පිහිටා තිබුණු ඇඹලව රහත් ගල්වෙහෙර මළුවේවත්ත රාජ මහා විහාරයේ යි. එවක එම විහාරයේ වැඩසිටි හත්වැල්ලේ සුමේධ ස්වාමීන් වහන්සේගේ ඇසුර වඩාත් පි‍්‍රය කළේ උන්වහන්සේ ද මෙම කුමරුවාට සුවිශේෂී කරුණාවක් දැක් වූ හෙයිනි. පිණ්ඩපාතික ජීවිතයක් ගත කළ භික්ෂූන් වහන්සේ නමක් වූ සුමේධ ලොකුහාමුදුරුවන් වහන්සේ මෙම දරුවාගේ පුරාකෘත පුණ්‍ය මහිමය හඳුනාගෙන පැවිදි කිරීම සඳහා දෙමාපියන්ගේ සිත්සතන් මෙහෙයවා ඇත.

බලපිටිය, වලගෙදර පතිරාජ මන්තින්දාරාමාධිපතිව හා අමරපුර චූලගණ්ඨි මහා නිකායේ මහානායක ව වැඩ සිටි රාජකීය පණ්ඩිත ගල්වෙහෙර අමරඤාණ මහා නා හිමියන් ගුණරත්න දරුවාගේ පියාගේ සහෝදරයෙකි. මෙ කී ඥාතිත්වය මත මවුපියන් විසින් තම දරුවා පැවිදි කිරීමේ අදහසින් අමරඤාණ මහා නා හිමියන් වෙත ගෙන ගිය නමුත්, උන්වහන්සේ ‘මහණකමත්’, නෑකමත් දෙකක් බව‘ වටහා දී තමන් වහන්සේගේ හිතෛෂීවන්ත වූ බලපිටිය, පාතෙගම ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති වැලිතර ධම්මසිරි නා හිමියන් වෙත භාර දෙන ලෙස පවසා ඒ සඳහා වන කරුණු කාරනා සිදු කර දුණි. ඒ අනුව 1967 අගෝස්තු මාසයේ දී පාතෙගම ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ නේවාසික වන ගුණරත්න කුමරුවා මාස තුනක් පමණ වණ පොත් කළ යුතු සියලු දේ වණ පොත් කොට, පිරිය යුතු වත් පිළිවෙත් පුරා 1967 ඔක්තෝබර් මස 24 දින වැලිතර ධම්මසිරි නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් ‘ගල්වෙහෙර විමලසිරි’ නමින් උතුම් ප්‍රවෘජ්‍යාව ලැබීය.

මූලික බණ දහම් ශික්ෂණයන් සිය ගුරුදේවයන් වහන්සේ වෙතින් ලබා ගත් විමලසිරි සාමණේරයන් වහන්සේ සෑම අතින් ම දැක්වූයේ සමත්කම් ය. නොබෝ කලකින් ම කීමෙහි බිණිමෙහි හා ලිවීමෙහි මහා හපනෙක් විය. මෙයින් අතිශය සතුට ට පත් ගුරුදේවයන් වහන්සේ සිය ශිෂ්‍ය පුත්‍රයාගේ මතු දියුණුව අපේක්ෂා කරමින් උසස් අධ්‍යාපනය සඳහා ස්ව නිකායේ පැවිදි අධ්‍යාපනයේ මුදුන්මල්කඩවන් ගුරු කුලය වූ රන්දොඹේ ශික්ෂාලංකාර මහා පිරිවෙනට භාර දුන්හ. එහිදී කොස්ගොඩ පඤ්ඤාසීහ, රාජකීය පණ්ඩිත බලපිටියේ විසුද්ධාලෝක, රාජකීය පණ්ඩිත කොස්ගොඩ ජිනාලංකාර ආදී මහා යතිවරයාණන් වහන්සේලාගේ සමීපාශ්‍රයේ වැඩසිටිමින් වර්ග පටිපාටියෙන් පිරිවෙන් අධ්‍යාපනය අවසන් කෙරුවේ ප්‍රාචීන ප්‍රාරම්භ හා සාමාන්‍ය පෙළ විභාග සමත්වීමෙනි.විමලසිරි හිමියෝ 1974 ජූනි මස 30 වන දින බලපිටිය, වැලිතර මහා කප්පින වලව්ව යාබද මාදු නදී ‘ස්වේජින්’ සීමා මාලකයේ දී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති රාජකීය පණ්ඩිත කොස්ගොඩ ධම්මවංස මහා නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා වැලිතර ධම්මසිරි නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පත්තියට පත් වූහ.

උසස් අධ්‍යාපනය සඳහා 1974 දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත් වූ විමලසිරි හිමියෝ 1979 දී ‘ත්‍රිපිටකවේදී’ උපාධිය දිනා ගත්හ. 1979 දී කැලණිය විශ්වවිද්‍යලයට ඇතුළත්ව සිංහල විශේෂවේදී උපාධිය සඳහා ද අධ්‍යයන කටයුතුවල නිරතව 1983 දී දෙවන පෙළ සාමාර්ථයක් ලබා ගැනීමට සමත් වූහ.

විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අවසන් වූ වහා බලපිටිය, අම්බරුක්ඛාරාම මූල මහා විහාරස්ථ සුගතසාසනෝදය පිරිවෙණේ ගුරු පත්වීමක් ලැබ 1985 තෙක් පුරා අවුරුදු දෙකක් සාමණේර භික්ෂූන් වහන්සේලා ට ශාස්ත්‍රීය දැනුම ලබා දුන්හ. 1985 වර්ෂයේ රජයේ පාසල් ගුරු පත්වීමක් ලැබ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පල්ලෙමලල විද්‍යාලයට සේවය සඳහා වැඩම කොට එහි 1989 දක්වා සේවය කළේ ය. පසුව ටික කලක් එම දිස්ත්‍රික්කයේ ම කුඩාහීල්ල මහා විද්‍යාලයේ සේවය කොට සිය ගුරුදේවයන් වහන්සේගේ අසනීපය හේතුවෙන් උන්වහන්සේ ට ඇප උපස්ථාන කිරීම සඳහා හා දායක කාරකාදීන්ගේ ආගමික කටයුතු සිදු කිරීම සඳහා විහාරස්ථානය ආසන්නයේ ඇති අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයට සේවා මාරුවක් ලැබ වැඩම කරන්නට යෙදුණි. ඒ 1989 අගෝස්තු මස 14 දිනයේදී යි. එතැන් පටන් පාතෙගම ශ්‍රී බෝධිරුක්ඛාරාමය මෙන්ම සිය පරම්පරාවට අයත්ව තිබූ ගොදුව ගංගාරාමය, ඉඳුරුව අකාඩේගොඩ අභිනවාරාමය, ඉඳුරුව තේක්කවත්ත සිරි සුවඩ්ඪනාරාමය යන විහාරස්ථානයන්හි ද කටයුතු සොයා බලමින් ආගමික සාමාජික සේවාවක් සිදු කරන්නට යෙදුණි.

1992 දී ශාස්ත්‍රපති උපාධියත්, 1995 දී පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලබා ගැනීමට උන්වහන්සේ සමත් වූහ. 1998 දී අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්මය විෂය භාර ගුරු උපදේශක පදවිය ලබා 2009 වසරේ එනම් විශ්‍රාම යනතුරු අවුරුදු එකොළහක් එම තනතුරේ කටයුතු කළහ.

බලපිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපතීන් වහන්සේ ලෙස වර්ෂ පහක් සේවය කළ විමලසිරි හිමියෝ කොට්ඨාසයේ සියලු දහම් පාසල් මානව සම්පත් හා භෞතික සම්පත්වලින් දියුණුවට පත් කරන්නට මහත් මෙහෙවරක් සිදු කළහ.

2007 වර්ෂයේ සිට පාතෙගම්ගොඩ ස.ණ.ස සමිතියේ සභාපතීන් වහන්සේ ලෙස විශිෂ්ට සේවයක් කරමින් සමිතිය ස්ථාවර තත්ත්වයකට පමුණුවා ඒ තුළින් ප්‍රදේශයේ විශාල පිරිසකට දියුණුවේ මං හෙළි පෙහෙලි කර දුන්හ.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ බෙ.ව.කො. (මධ්‍යම) ප්‍රාදේශීය සංඝ සභාවේ මූල්‍ය ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ විමලසිරි හිමියෝ නිකායේ මූලස්ථානය වන බලපිටිය, වැලිතර මහා කප්පින වලව්ව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ දී රාජකීය පණ්ඩිත, දර්ශනපති බලපිටියේ සිරිසීවලි හිමියන් සමඟ එකතුව සුවිශාල මෙහෙවරක් හා කැපවීමක් සිදු කළහ. ඒ පිළිබඳ පැහැදීමට පත් මහා නා හිමියන් ප්‍රමුඛ ‘සුධර්මා’ කාරක සංඝ සභාව විමලසිරි හිමියෝ කාරක සංඝ සභාවට පත් කර ගත් අතර ඉන් අවුරුදු දෙකකට පසුව නිකායේ උප අධිකරණ සංඝ නායක පදවිය ට ද, ඊටත් පසුව නිකායේ අධිකරණ සංඝ නායක පදවිය ට ද පත් කර ගත්හ. නිකායේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය ඉසිලූ අතිපූජ්‍ය ආචාර්ය දිමියාවේ අමරවංස නාහිමියන් වහන්සේ අනු නායක පදවියට පත්වීමෙන් පුරප්පාඩු වූ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියට විමලසිරි නාහිමියෝ 2017 දෙසැම්බර් මස 06 වන දින පත් වූහ.

උන්වහන්සේ ට නව පදවිය තුළින් නිකායාභිවෘද්ධිය පිණිස ත් පොදුවේ ශාසනාභිවෘද්ධිය පිණිසත් ආශිංසනය කරමි.


ප්‍රශංසනීය සේවයක්

බලපිටිය, පාතෙගම ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය ගල්වෙහෙර විමලසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම, සම්බුදු සසුනේ චිරස්ථිතියත් ප්‍රගමනයත් විෂයයෙහි ‘පූජාච පූජනීයානං’ වදන වඩාත් උත්කර්ෂවත් කෙරුණු සංසිද්ධියක් ලෙසින් දකිමි.

සිය දහතුන් වන වියේ දී පුරාකෘත පින් බෙලෙන් සසුන් දිවියට සැපත්ව රන්දොඹේ ශික්ෂාලංකාර මහා පිරිවෙනේ මූලික අධ්‍යාපනය ලබා අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙන් හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද අප මාහිමිපාණන් වහන්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සිය ප්‍රඥාසාර දැනුම ප්‍රදානය කරමින් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්ම විෂයභාර ගුරු උපදේශකයන් වහන්සේ ලෙසින් ඉමහත් සම්භාවනාවට පාත්‍ර වූහ.

ස්වකීය විහාරාධිපතිත්වය යටතේ පවත්නා විහාරස්ථාන අංග සම්පූර්ණ විහාරස්ථාන බවට පත් කරමින් සිය ශාසනික මෙහෙවර වඩාත් විධිමත්ව මෙන්ම ගිහි සමාජයේ දැහැමි පැවැත්ම වඩාත් ඉහළ තලයකට ගෙන එනු පිණිස කැපවූ අතිපූජ්‍ය ගල්වෙහෙර විමලසිරි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ජාතික ආගමික සංස්කෘතික මෙන්ම සමාජයීය ක්ෂේත්‍රයන් ඔස්සේ සක්‍රීය ලෙස ඉටුකළ දැවැන්ත කාර්යභාරය අතිශය ප්‍රශස්ත ය.

අභිනව නායක පදවියෙන් පිදුම් ලබන අප නා හිමිපාණන් වහන්සේට සම්බුදු සසුනේත් සඟ සසුනේත් උන්නතිය පිණිස කැපවෙමින් සිල්වත්, ගුණවත් මහා සමාජයීය මෙහෙවර මතු මතුත් සපුරා සලසන්නට අවැසි නිදුක් නිරෝගී සුවපත්, චිර ජීවනයත්, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් ලැබේවායි ශුභාශිංසන පිරිනමමි.


අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය

දකුණු සිරිලක වැලිතොට (බලපිටිය) මහකරාවේ ඤාණවිමලතිස්ස මාහිමියන් වහන්සේගේ ආදිකර්තෘත්වයෙන් ක්‍රි.ව. 1803 දී අමරපුර භික්ෂු වංශය ආරම්භ විය. අවුරුදු පනහක් පමණ අඛණ්ඩ ව පවත්වාගෙන ආ අමරපුර නිකාය 1848 දී බලපිටිය මෝදර උදකුප්ඛේප සීමාමාලකයේ දී සිදු කරන ලද උපසම්පදා විනය කර්මයකදී හටගත් විනය ප්‍රශ්නයක් මත දෙකඩ විය. ලංකාගොඩ ශ්‍රී ධීරානන්ද තෙරුන් වහන්සේ ඇතුළු භික්ෂු පිරිසක් සීමා සංකරයක් සිදු වුණා යැයි කරුණු ගෙන හැර දැක් වූ අතර, මහකරාවේ විමලසාර තෙරුන් වහන්සේ ඇතුළු භික්ෂු පිරිසක් සංකරයක් සිදු නොවුනා යැයි කරුණු ගෙනහැර දැක්වීම නිසා මෙය ‘සීමාසංකර වාදය’ ලෙස ප්‍රචලිත විය. මෙම දෙපිරිසෙන් ලංකාගොඩ ධීරානන්ද තෙරුන් වහන්සේගේ මතය පිළිගත් රන්දොඹේ ධම්මාලංකාර තෙරුන් වහන්සේ ප්‍රධාන භික්ෂු පිරිස 1856 දී වැලිකන්දේ ශ්‍රී සුදර්ශනාරාමයට රැස්ව ලංකාගොඩ නාහිමියන්ගේ ආචාර්ය වූ කපුගම ධම්මක්ඛන්ධ තෙරුන් වහන්සේ ට බුරුම රජු විසින් පිරිනමා තිබුණු ‘සද්ධම්මවංසපාල රාජාධිරාජගුරු’ යන ගෞරව නාමයේ ‘සද්ධම්මවංස’ කොටස ගෙන එයට ‘සිරි’ යන්න මුලින් යොදා ‘සිරි සද්ධම්මවංස නිකාය’ යන නාමය තබා ‘සුධර්මා’ නමින් දස නමකගෙන් යුත් කාරක සංඝ සභාවක් ද පිහිටුවා, ක්‍රමානුකූලව කතිකාවත් ආදිය සකසා වෙන ම නිකායක් ලෙස කටයුතු කළ හ. අද අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය’ යනුවෙන් හඳුන්වන්නේ මෙම භික්ෂු පිරිසයි. ඒ අනුව සිරි සද්ධම්මවංස මහා නිකායේ ආරම්භක වර්ෂය 1856 වර්ෂය යි.

1878 දී ස්වේජින් සයාතෝ නම් මහාධම්ම රාජාධිරාජගුරු ජාගර මහා තෙරුන් වහන්සේ බුරුමයේ සිට ලක්දිව ට වැඩම කොට වැලිතර මහා කප්පින වලව්වේ දී අමරපුර නිකායික මෙම භික්ෂු දෙපිරිස සමගි සම්පන්න කිරීමට කටයුතු කළත්, එය සාර්ථක නොවුණු බව උන්වහන්සේ ම සිය ‘ලංකාසාසන විසුද්ධිකථා’ නම් පාලි ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ. මෙම සද්ධම්මවංසික භික්ෂු පිරිස ට උපසම්පදා විනය කර්ම සිදු කිරීම සඳහා වැලිතර මහා කප්පින වලව්වේ කළුහත් සැම්සන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ වාසල මුදලිතුමා සිය වලව්ව අසල මාදු නදියේ 1878 දී සීමාමාලකයක් කරවා ස්වේජින් සයාතෝ නම් ජාගර තෙරුන්ගේ මූලිකත්වයෙන් පිහිටුවූ නිසා එය ‘ස්වේජින් සීමාමාලකය’ නමින් හඳුන්වයි. ස්වේජින් යනු ජාගර තෙරුන් උපන් බුරුම දේශයේ ඇති ගමකි.

මහානායක ස්වාමීන්ද්‍ර නාමාවලිය

ලංකාගොඩ ශ්‍රී ධීරානන්ද මහා නා හිමි, කරපුටුගල ධම්මදින්න මහා නා හිමි, රන්දොඹේ ධම්මාලංකාර මහා නා හිමි, කොස්ගොඩ සුමංගල මහා නා හිමි, මාදම්පේ ධම්මතිලක මහා නා හිමි, කරපුටුගල ධම්මරතන මහා නා හිමි, බෝගහපිටියේ සීලක්ඛන්ධ මහා නා හිමි, වැලිතර සිරිසුදස්සන මහා නා හිමි, දික්වැල්ලේ සංඝතිලක මහා නා හිමි, පොහද්දරමුල්ලේ ඤාණානන්ද මහා නා හිමි, මාපලානේ පඤ්ඤාලංකාර මහා නා හිමි, මාදම්පිටියේ ජිනානන්ද මහා නා හිමි, කොස්ගොඩ ධම්මවංස මහා නා හිමි, තලල්ලේ ධම්මානන්ද මහා නා හිමි, කොස්ගොඩ ජිනාලංකාර මහා නා හිමි, බළන්ගොඩ සුධම්මවංස මහා නා හිමි, අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහා නා හිමි (වර්තමාන මහා නා හිමි)

නිකායේ කප්පියකාරක ප්‍රධාන දායකත්වය

1878 වර්ෂයේ සිට නිකායික සියලු කටයුතුවල දී දායකත්වය සපයමින්, විශේෂයෙන් ම වාර්ෂික උපසම්පදා විනය කර්මයේ දී සිව්දෙසින් වඩින මහා සංඝරත්නය ට මෙන්ම සියලු ගිහි පින්වතුන්ට ද අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සැළසූයේ වැලිතර මහා කප්පින වලව්වේ රාජපක්ෂ මුදලිපරම්පරාවයි.

කළුහත් සැම්සන් රාජපක්ෂ වාසල මුදලිතුමා, කළුහත් ටියුඩර් රාජපක්ෂ වාසල මුදලිතුමා, කළුහත් හියුබට් රාජපක්ෂ හාමු මැතිතුමා, ටී.එල්.සී. රාජපක්ෂ හාමු මැතිතුමා, වයලට් රාජපක්ෂ හාමු මැතිණිය, ජයනාත් රාජපක්ෂ හාමු මැතිතුමා, මෙම පරම්පරාවේ උරුමක්කරුවන් ලෙස දැනට යස්ටින් ෂෙරීන් රාජපක්ෂ අබේසිංහ, ඇලෙක්සැන්ඩර් එඩ්මන් රාජපක්ෂ අබේසිංහ හා අධිනීතිඥ රුවනා රාජපක්ෂ යන මහත්ම මහත්මාවෝ සුජිවත් ව සිටිති.

නිකායේ වර්තමානය

වර්තමානය වන විට සද්ධම්මවංස මහා නිකායට ලක්දිව පුරා වෙහෙර විහාරස්ථාන 463 ක් පමණ අයත්ව තිබේ. ඒ අතරෙන් කතරගම ඓතිහාසික වැඩසිටිකන්ද විහාරය, වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙර, රන්දොඹේ සංඝරාජ මහා විහාරය, කුප්පියාවත්තේ ජයශේඛරාරාමය, පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන් විහාරය, බලපිටිය කොත්දූව රාජ මහා විහාරය, කොස්ගොඩ ගණේගොඩැල්ල රාජ මහා විහාරය, ගල්වෙහෙර ඇඹලව රහත් මළුවේ රාජ මහා විහාරය, ගෝමරන්කඩවල රංගිරි උල්පත රාජ මහා විහාරය ඇතුලු උතුරු නැගෙනහිර පළාතේ ඓතිහාසික රාජ මහා විහාර විශේෂ වේ. භික්ෂු සංඝයා වහන්සේ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් වැඩසිටිති. ‘සුධර්මා’ සංඝ සභාව සභිකයන් වහන්සේලා තිස්එක් නමකගෙන් සැදුම් ලත් අතර, ප්‍රාදේශීය සංඝ සභා ද 12 ක් ක්‍රියාත්මක වේ.

නිකායේ නිල ධූරාවලිය

අතිපූජ්‍ය මහනාහිමි,

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල රංගිරි උල්පත රාජ මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති සුගතසාසන වංසාලංකාර සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මහෝපාධ්‍යාය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහා නා හිමි.

අනුනාහිමිවරු,

ශාස්ත්‍රපති කොස්ගොඩ සුභූති අනු නා හිමි,

ආචාර්ය දික්වැල්ලේ තිස්ස අනු නා හිමි,

රත්මලානේ සිරිසුනීත අනු නා හිමි,

තලල්ලේ මෙත්තානන්ද අනු නා හිමි,

ආචාර්ය දිමියාවේ අමරවංස අනු නා හිමි,

මහා ලේඛකාධිකාරී,

රාජකීය පණ්ඩිත, දර්ශනපති බලපිටියේ සිරිසීවලි නා හිමි,

නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති හීල්ලේ ඤාණානන්ද නා හිමි,

ප්‍රධාන අධීකරණ සංඝනායක

ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලසිරි නා හිමි,

අධිකරණ සංඝනායක

විනයාචාර්ය දෙල්දූවේ සුමන නා හිමි,