යමක වග්ගය 07-08 :
අධ්‍යාත්මික ශක්තිය බලවත් ය
සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක
වේරගොඩ
සාරද නා හිමි
අසුභානුපස්සිං විහරන්තං - ඉන්ද්‍රියෙසු සුසංවුතං
භොජනම්භි ච මත්තඤ්ඤුං - සද්ධං ආරද්ධ විරියං
තංවෙ නප්පසහති මාරො - වාතො සෙලං’ව පබ්බතං
වසමින් අසුබ බෑවුමෙන් - දමනය කළොත් ඉඳුරන්
පමණ දැන බොජුනෙහි - සැදැහැතිව වීරිය වඩමින්
වසතොත් නො වදියි මරු පහර - නො සැලෙන ගලක් මෙන්
සැඩ කුණාටුවකින්
චූලකාල පැවිදිවූයේ පැවිදි ජීවිතයට තිබූ ඇල්ම නිසා නොවේ. .තම සොහොයුරා වූ මහාකාල
උපැවිදි කරවා ගැනීමේ අදහසිනි.
චුලකාල හිමියන් උපැවිදි කරවා ගැනීමට ගිහි කල බිරින්ඳන් සමත් වූ බව දුටු මහාකාලගේ
භාර්යාවෝ අට දෙනාද, “චූලකාලගේ බිරිඳ කළ දේ අපත් කරමුයි” කියා භාග්‍යවතුන් වහන්සේ
ප්‍රමුඛ සංඝයාට දන් පිණිස ඇරයුම් කළහ. එදින දන් වළදා අවසන “ මහාකාල ඔබ මේ අයට
අනුමෝදනා බණ කියන්නැයි මහාකාල හිමි නවතා ශ්‍රාවක පිරිස සමඟ විහාරස්ථානයට වැඩම කළහ.
භාග්‍යවතුන් වහන්සේ ගම් දොරට වැඩම කරන අතරතුර බුදුරදුන් මහාකාල තෙරුන් නවතා ඒම ගැන
භික්ෂූහු අමනාපයෙන් කතා කළහ. “එදා දානයේ උපදෙස් කටයුතුවලට චූලකාල තෙරුන් යාමෙන්
සිදුවූයේ පරණ බිරින්ඳන් එක්ව උන්වහන්සේගේ සිවුරු ගලවා ගිහිගෙට ගැනීම යි. අද
බුදුරජාණන් වහන්සේ මහාකාල තෙරුන්ට බණ කියන්න ගෙදර නවත්වා ආවා. කුමක් වේවිද දන්නේ
නැහැ. බුදුරජාණන් වහන්සේ මේ වැඩේ හිතාමතා කළ දෙයක් ද?” ආදී අදහස් හුවමාරු විය.
දානයෙන් පසු බණ කියන්නට නිවසේ නැවතුන මහාකාල තෙරුන්ගේ භාර්යාවෝ උන්වහන්සේගේ සිවුර
බලෙන් ගලවන්නට තැත් දැරූහ. ඍද්ධි බලයෙන් ඔවුන්ගෙන් මිදුණු මහාකාල හිමියෝ බුදුරජාණන්
වහන්සේ හමුවෙහි පෙනී සිටියහ. මෙහි දැක්වෙන ගාථා දෙක වදාළ භාග්‍යවතුන් වහන්සේ මහාකාල
හිමියන් චූලකාලගේ මට්ටමෙන් මැනීම ගැන භික්ෂූන් වහන්සේට දොස් පැවරූහ.
කම් සැපයෙහි අසුභ පක්ෂය තේරුම් ගෙන ඉඳුරන් හික්මවාගෙන, ආහාරයෙහි පමණ දැන ශ්‍රද්ධා
සම්පන්නව වීර්යය වඩමින් වසන්නා පරාජය කිරීමට මරුවාට හැකි නො වෙයි. වාත වේගයෙන් ගල්
පර්වතයක් නො සැලෙන්නාක් මෙනි.
අසුභානුස්සිං – කාමයෙහි අසුභ දකිමින්
විහරන්තං – වාසය කරන
ඉන්ද්‍රියෙසු – ඉන්ද්‍රියන්
සුසංවුතං – මනාව සංවර කරගත්
භොජනම්භි ච– ආහාරයෙහි ද
මත්තඤ්ඤුං – පමණ දත්
සද්ධං – ශ්‍රද්ධා සම්පන්න
ආරද්ධ වීරියං – ඇරඹූ වීර්යය ඇති
මාරෝ – මාර තෙමේ – තං – එම පුද්ගලයා
වෙ – ඒ කාන්තයෙන් ම
නප්පසභති – අභිබවා නො සිටියි
වාතො – වාතය
සෙලං පබ්බතං – ගල් පර්වතයක්
ඉව – මෙනි (නො පෙරලෙන මෙනි) |