Print this Article


දිට්ඨි විසුද්ධිය

දිට්ඨි විසුද්ධිය

විසුද්ධිය යන වචනයතුළ පිරිසුදු බව, කෙලෙස්වල දුරුවීම, නිවන යන අරුත් ගැබ් වී ඇත. විසුද්ධි මග්ග යනු කෙලෙස් මලින් පිරිසුදු වී නිවනට යන මාර්ගය යි. ඒ මාර්ගයේ ගමන් කරන්නාට පිරිසුදුවීමට අවස්ථා හතක් හමුවෙයි. ඒ අවස්ථා හත පඩි පේළියක මෙන් එක එක පඩිය පසුකර අනුපිළිවෙලින් අවසානය කරා යා යුතු මගකි. එහි පළමු වන පඩි පෙළ කයින් හා වචනයෙන් සිදුවන පාපයන්ගෙන් වෙන් වී කායික හා වාචසික පාරිශුද්ධත්වය නම් වූ සීල විසුද්ධිය යි.

අනතුරුව පා තැබිය යුතු වන්නේ දෙවන පඩිය සේ සැලකෙන චිත්ත විසුද්ධියට ය. එහි දී භාවනානුයෝගීව, සමාධි සම්පන්න ව කාමච්ඡන්දය (කාම වස්තූන් කෙරෙහි ඇතිවන තණ්හාව) ද, ව්‍යාපාදය (සිතේ ඇතිවන ක්‍රෝධය, කිපීම, තරහ ගතිය) ද ථීන මිද්ධය (චිත්ත චෛතසිකයන්ගේ පසුබට බව) ද උද්ධච්චය (එක අරමුණක නො පිහිටා සිතේ ඇතිවන නො සන්සුන් බව) ද, කුක්කුච්චය (කළා වූ දුශ්චරිත ගැන හා නො කළා වූ සුචරිත ක්‍රියාවන් ගැන සිතේ ඇති වන පසුතැවිල්ල) ද, විචිකිච්ඡා (බුද්ධාදී අට තැන ගැන ඇතිවන සැකය) ද තාවකාලිකව බැහැර කොට, ලෞකික ධ්‍යානාදිය ලැබීමේ වාසනාව හිමි වෙයි.

සීල විසුද්ධියෙන් පළමුවන පඩියට ද, චිත්ත විසුද්ධියෙන් දෙවන පඩියට ද නැඟගත් යෝගාවචරයා හෙවත් සමථ යානිකයා විදර්ශනාවට පිවිසෙයි. එනම් තුන්වන පඩිපෙළ සේ සැලකෙන දිට්ඨි විසුද්ධියට ද සිව්වන පඩිය සේ සැලකෙන කංඛා විභරණී විසුද්ධියට ද පැමිණීමෙන් පසු ය.

ආත්මයක්, පුද්ගලයෙක්, සත්වයෙක්, ජීවිතයක් ඇතැයි යන වැරැදි හැඟීම දිට්ඨිය යි. නාම රූප ධර්මයන් තත්ත්වාකාරයෙන් හෙවත් ඇත්තේ හැටියට දැන හැඳින ‘මේ ඇත්තේ නාමරූප මාත්‍රයෙකි. ආත්මවාදී වශයෙන් ගත යුතු කිසිවක් එහි නැත. ඒ සියල්ල ව්‍යවහාර මාත්‍රයක්යැයි නිශ්චය කොට ඒ ආත්ම දෘෂ්ටියෙන් දුරුව පිරිසුදුවීම දිට්ඨි විසුද්ධි නම් වෙයි. ආත්ම දෘෂ්ටිය තිබෙන කිසිම පුද්ගලයකුට සසර සයුරෙහි පීනා ගොස් එයින් එතෙර විය නො හැකි ය.

බුදුදහමෙහි දැක්වෙන පරිදි ආත්මය වශයෙන් ගත හැකි එක ද ධර්මයක් හෝ සත්ත්වයා සතුව නැත. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ වශයෙන් සත්වයා කොටස් පහකට බෙදිය හැකි ය. එහි රූපය වශයෙන් සැලකෙන්නේ සතර මහා භූතයන් විසින් නිමැවුණු සිරුර යි. එහි පහළ වී ඇති උපාදාය රූප ගැන අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ අධිකරණ නා හිමිපාණන් විසින් ලියන ලද “සත්ත්වයා පිරිසුදු වන්නේ කෙසේද? යන ග්‍රන්ථයේ දැක්වෙන පහත දැක්වෙන උපුටනය කියවන්න.

01. “ඇස, කන, නැහැය, දිව හා කය යන ඉන්ද්‍රියන් ඇසුරු කළ, ඒවා සතු ඉන්ද්‍රිය ශක්තිය ප්‍රසාද රූප නම් වේ.

02. ඒ ඉන්ද්‍රියන්ට අරමුණු වූ රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යන අරමුණු පහ ගෝචර රූප නමි.

03. ස්ත්‍රී බව හා පුරුෂ බව හඳුන්වන සිරුරෙහි පහළ වී ඇති ලකුණු භාව රූප නමි.

04. හෘදය වස්තුව නමින් හඳුන්වන සිත රැඳී පවතින ඉන්ද්‍රිය ශක්තිය වත්ථු රූප නමි.

05. සත්ත්වයා තුළ පවතින ප්‍රාණ ශක්තිය ජීවිත රූප නමි.

06. අනුභව කළ ආහාරයෙන් පහළ වන ගුණය ආහාර රූප නමි

07. සිරුරට යට වී ඇති ආකාශය පරිච්ඡේද රූප නමි

08. සිරුරෙහි ඇති සැහැල්ලු බව, මෘදු බව ක්‍රියාවට යෝග්‍ය බව, කයින් යම් යම් දේ අනුන්ට හැඟවීම, වචනයෙන් යම් යම් දේ හැඟවීම යන පහ විකාර රූප නමි.

09. සිරුරෙහි වූ වැඩීම, පරම්පරා සම්බන්ධය මහලු වන ගතිය ලක්ඛණ රූප නමි.

මෙසේ පඤ්චස්ඛණ්ධයට අයත් රූපය හැරුණු විට ඉතිරි වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන හතර නාම ස්කන්ධයට අයත් ය.

නාම රූප දෙක ඒකාබද්ධ ධර්ම පරම්පරාවකි. සත්ව ශරීරය ද නිරතුරු වෙනස් වෙමින් තිබී මරණයෙන් කෙළවර වෙයි. මිහිදන් කිරීමෙන් හෝ දැවීමෙන් යළි අපට වුවමනා පරිදි පවත්වා ගත නොහැකි ය. ඒ නිසා රූපය තුළ ආත්මය යයි ගත යුත්තක් නැත.

වේදනාව (සැප, දුක සහ මැදහත් යන තුන් වැදෑරුම් විඳීම) ද, සඤ්ඤා (සිතේ ඇති අරමුණු හැඳින ගැනීමේ ශක්තිය) ද, සංඛාර (කුසල් අකුසල් සිතිවිලි) ද ,විඤ්ඤාණ (සිත) ද යන නාමස්කන්ධයන් තුළ ද, ආත්මය යැයි ගත යුත්තක් නැත.

මෙසේ නාම රූප ධර්ම එක එක වෙන වෙනම ගෙන සලකා බලන විට ආත්ම යි ගත හැකි කිසිවක් සත්ත්වයා තුළ නැති බව පැහැදිලි වෙයි.

පළමු පියවරේ දී සිල් රැකීමෙන් කායික, මානසික, වාචසික වශයෙන් පාරිශුද්ධත්වයට පත් වූවත්, දෙවන පඩියට පැමිණ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා යන පඤ්ච නීවරණයන් යටපත් කොට යෝගාවචරයා චිත්ත විසුද්ධිය ලබයි. එහෙත් ඔහු සතුව, සංසාර, පුනර්භව ආත්ම ආදී දෘෂ්ටි ජාලයන්ගෙන් මිදුණෙක් නො වෙයි. පරම්පරාගත පිළිගැනීම්, ඇදහිලි, ගුරුකුල මතභේද ආදී විවිධ මතිමතාන්තරයන්ගෙන් ඔහුගේ දෘෂ්ටිය අපිරිසුදුව පවතී. එසේ අපිරිසුදුව පවතින ආත්ම දෘෂ්ටියෙන් මිදී නිවන් මඟ හෙළි පෙහෙළි කර ගැනීමට තෙවන පඩියට නඟින යෝගාවචරයාට හැකිවෙයි. දිට්ඨිගත පුද්ගලයාගේ ලක්ෂණය වන්නේ ‘සසර සැරිසරන ආත්මයක් ඇත්තේ ය’ යන අන්තවාදී භාවය යි. ඔහු තුළ සංසාරයේ සැප සම්පත් විඳීමේ ආසාව තදින් වෙයි. ඒ ආසාව පවතින තුරු ඔහුගේ තණ්හාව දුරු නො වෙයි. ආත්ම දෘෂ්ටියෙන් වෙළි පැටලී වනගත අඳ ඇතකු සේ ක්‍රියා කරයි.

“නාමඤ්ච රූපඤ්ච ඉධත්ථි සච්චතො
නහෙත්ථ සත්තෝ මනුඡෝච විජ්ජති
සුඤ්ඤ ඉදං යන්ත මිවාභිසංඛතං
දුක්ඛස්ස පුඤ්ඡො තිණකට්ඨ සාදිසෝ”

“මෙහි ඇත්තේ නාමයත්, රූපයත් පමණකි. එයින් පිටස්තර සත්ත්වයෙක් හෝ මිනිසෙක් නැත. මෙය සකස් කළ යන්ත්‍රයක් මෙන් සත්ත්ව - පුද්ගල ආදියෙන් හිස් ය. තණ ගොඩක්, දර ගොඩක් මෙන් ය. දුක් ගොඩකි.”