Print this Article


වරද පෙන්වන්නා කලණ මිතුරෙකි

වරද පෙන්වන්නා කලණ මිතුරෙකි

පුහුදුන් අප කා අතිනුත් වරැදි සිදු වෙනවා. එහි මහත් බව හෝ කුඩා හෙවත් ලඝු බව අපට එක්වර ම නො වැටහෙන්ට පුළුවනි. වරදෙහි ස්වභාවය සුළු හෝ දැඩි බව වරද සිදු කරන අයට වඩා හොඳීන් වැටහෙන්නේ අප දෙස බලාගෙ බැහැරින් සිටින අයට යි. වරද නිවරද, හොඳ නරක, උසස් පහත් යන මේවා සමාජයෙන් සමාජයට වෙනස් වන්නටත් පුළුවනි. මේවාට කියනවා “ආචාර ධර්ම” කියලා. ඉතින් මේ ආචාර ධර්ම නැතිනම්, හොඳ නරක වෙනස අපේ සමාජයේ මුල් බැහැලා තියෙන්නේ බෞද්ධ ඉගැන්වීම් අනුව යි.

ඒ කුමක් නිසා ද? අප බෞද්ධ සිරිත් විරිත් අනුව ජීවත් වන බොදු පිරිසක් නිසා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව යමක් හොඳ හෝ නරක වශයෙන් බෙදා තිබෙන්නේ තමන්ට ත් අනුන්ටත් එයින් සිදු වෙන සැපත හෝ විපත අනුව යි. එහෙම බලන කොට තමන්ටත් අනුන්ටත් සැපතක්, යහපතක් වන දෙයක් නම් එයට “හොඳ ” කියන වචනය පාවිච්චි කරන්නට පුළුවනි. තමන්ටත් අනුන්ටත් විපතක් අයහපතක් වන දෙයක් නම් එය “නරක” කියා කියන්න සිදු වෙනවා. හොඳ නරක දෙකේ ප්‍රමාණය තීරණය වන්නේ එහි ප්‍රතිඵලය නුව යි. ඉතින් සමාජයේ ජීවත් වන විට අප අතින් සිදු වන හොඳ නරක බාහිරව සිටින අය දකින වා. දැකලා අපට එය කියා දෙනවා.

දරුවෝ, පුතේ, දුවේ, අයියේ, අක්කේ, අම්මේ තාත්තේ, ඔබ කරන වැඩේ නම් හොඳ නැහැ. ඔබ ඔය විදියට කථා කරන හැටි හොඳ නැහැ. එහෙම කරන්නට එපා කියලා අපේ වැදගත් ම, යුතුකම වන්නේ මේ කියන දේ හරි ද? කියලා යුක්ති ගරුක ව කල්පනා කරන එක. එවැනි අවස්ථාවල බුද්ධිමත්ව ක්‍රියා කළ හොත් අපට ම වැටහෙනවා එහි සත්‍යතාව. මෙන්න මේ කරුණ තමා උතුම් ම චරිත ලක්ෂණය ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දී තියෙන්නේ. එතැන දී අපට වඩා ළාබාල කෙනෙකු, එහෙම තැතිනම්, දරුවෙක් වුණත් අපේ අඩුපාඩුවක් දැක කියා දෙන කොට අප එය මුදුනින් පිළිගත්තොත් බුදුරජාණන් වහන්ස්ගේ දහමට අනුව නම් එය උදාර ම මිනිස් ගුණයක් . දවසක් සැරියුත් මහරහතන් වහන්සේ තමන්වහන්සේ වැඩ වාසය කරන අරාමයෙන් බැහැරට වඩින්නට සූදානම්ව සිවුරු හැඳ පෙරව සැර සෙද්දී වයස අවුරුදු හතක වැනි දහර සාමණෙරයන් වහන්සේ නමක් උන්වහන්සේ මේ ආකාරයෙන් පිටත් වන විට ඒ දැක මහත් ගෞරවයෙන්, සැරියුත් මහරහතන් වහන්සේට කථා කරලා කියනවා “ස්වාමීනි, බැහැරක් වඩින්නට සූදානම් වුණත් පුංචි අඩුපාඩුවක් නම් තිබෙනවා. අර සිවුරේ කොණක් පහතට ඇදිලා. එය පෙනුමෙන් නම් ප්‍රසන්න නැහැ.” කියලා. සැරියුත් හාමුදුරුවෝ ඉතා නිහතමානීව එම අඩුපාඩුව පිළිගත්තා. නිවැරැදි කර ගත්තා. සාමණේරයන් වහන්සේට ප්‍රශංසා කළා. ඒ අඩුපාඩුව පෙන්වා දීම ගැන. උන්වහන්සේ මෙහි දී ප්‍රකාශ කරනවා “වයසින් දහර ව සිටින මේ සත් හැවිරිදි සාමණේරයන් වහන්සේ වුණත් අඩුපාඩුවක් වරදක් මට පෙන්වා දෙනවා නම් මම ඉහළින් ම එය අගය කරනවා. හිස් මුදුනින් අඩුපාඩුව පිළිගන්නවා” කියලා.

අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන පිළිවෙළ අනුව අප විසින් යම් බඳු සුළු වරදක් හෝ සමාජයට නො ගැලපෙන අඩුපාඩුවක් සිදු කරන විට එහි බරපතලකම පෙන්වා දෙමින් කරුණු සහිතව එය කියලා දෙනවා නම් එම වරදෙහි නුසුදුසු බව නිග්‍රහ කොට එහෙම නැතිනම් ඊට ගැළපෙන දඬුවමක් හෝ කර පෙන්වා දෙනවා නම් එසේ පෙන්වා දෙන පුද්ගලයා නිධානයක් පෙන්වන අයෙකු කොට සැලකිය යුතු බව යි බුද්ධදේශනාව. මෙහි වටිනා අදහසක් තිබෙනවා. නිධානයක් කියලා කියන්නේ රන්, රිදී මසු කහවනු ආදි වටිනා දේ තැන්පත් කොට සඟවා තිබෙන තැනක්. ඉතින් අගහිඟකම් ඇති අයෙකුට යම් මිතුරෙකු විසින් මේ නිධානයේ වගතුග කියලා එය ලබා ගන්නා ආකාරය හිතවත් ව කියා දුන්විට ඒ අහිංසක දුප්පතා එම නිධානය ලබා ගෙන මහත් වූ සැපතකට පත්ව තමන්ගේ අගහිඟකම් සපුරා ගන්නවා.

මහත් සැනසීමක් ලබනවා. ඒ වගේ තමා කෙනෙකුගේ ජීවිතයේ සිදුවන අඩුපාඩුව ඒ පුද්ගලයාට බොහෝ අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නට පුළුවනි. විශාල අලාභ හානි වන්නටත් ඉඩ තිබෙනවා. ඒ අඩුපාඩුව ඉවත් කර ගන්නට ලැබෙන්නේ තමන්ගේ ඒ අඩුපාඩුව පෙන්වා දෙන කල්‍යාණ මිත්‍රයා නිස යි. ඒ නිසා අපේ ධර්මයේ හැටියට අඩුපාඩු පෙන්වා දෙන අය කල්‍යාණ මිත්‍රයන් කොට සැලකිය යුතු බව බුද්ධ දේශනාව වෙනවා.

දුකට පත් පුද්ගලයාට නිධානය පෙන්වා එය ලබා ගැනුමට ඉඩකඩ සැලසීමෙන් ඒ පුද්ගලයාට වන්නේ ලාභයක් නම්, ඒ ලාභය ලබා දීමෙන් තමන්ට උදව් කළේ තමන්ගේ කල්‍යාණ මිත්‍රයෙකු බව තමන්ට ම වැටහෙනවා වාගේ ම වරද පෙන්වීමෙන් වරද නිවැරැදි කර ගත්විට ඊටත් වඩා ලාභයක් ප්‍රයෝජනයක් තමන්ට මුළුමහත් සමාජයෙන්ම සැලසෙනවා. ඒනිසයි බුදුරජාණන් වහන්සේ මෙම උපමාව මෙහි දී යොදා ගෙන ඇත්තේ. වරද පෙන්වා දීමේ ක්‍රම දෙකක් ඇති බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ඇතුළත් වෙනවා. කිසියම් ශිෂ්‍යයෙකුගේ අඩුපාඩුවක් දකින ගුරුවරයා නිරන්තරයෙන් තම ශිෂ්‍යයාගේ අඩුපාඩුවක්, ප්‍රමාදයක් දකිනු රිසියෙන්, ඉඳහිිට ඔහු සමාජයේ පිරිහෙළීමට, අගෞරවයට පත් කිරීමේ අරමුණෙන් නොසරුප් ලෙස බැණවැදීමත්, ශිෂ්‍යයා නින්දාවට, අපහාසයට ලක්වන ආකාරයෙන් ක්‍රියා කරමින් අඩුපාඩුව පෙන්වා කථා කරනවා නම් එය නිධානය පෙන්වා දීමක් හා සමාන වන්නේ නැහැ.

එසේ නොව එම ශිෂ්‍යයා කිසියම් අඩුපාඩුවක් ඇතිව ක්‍රියා කරන විට එය ඔහු සමහරවිට නො දැනීම නිසා සිදුවෙන්නක් කොට හෝ සලකා ඔහු කෙරෙහි මහත් අනුකම්පාවක් ඇති කොට අඩුපාඩු නැති අයෙකු බවට පත් කර තමන් එයින් තම ශිෂ්‍යයාගේ අනාගත දියුණුව ම අපේක්ෂා කරමින් ඔහු නගා සිටුවීමට ඔහුට දොස් පවරමින් හෝ සුළු වුව ද වරදේ හැටියට දඬුවමක් වුවත් ලබා දෙමින් අනුකම්පාවෙන් ශිෂ්‍යයා පිළිබඳ ක්‍රියා කරමින් කටයුතු කිරීම නිධානයක් පෙන්වන අවස්ථාව හා සමාන බව බව බුද්ධ දේශනාවයි.

මෙහි දී වැදගත් වන්නේ වරද පෙන්වා දෙන අයගේ සිත් හි ක්‍රියාත්මක වන චේතනාවේ ස්වභාවය යි. එවැනි අවස්ථාවල දී වරදෙහි බැඳෙන තැනැත්තා කෙරෙහි එහි දොස් දකින්නාගේ සිත තුළ ඇති වන්නේ වරද කරන තැනත්තා වරදින් මුදවා සුමඟට ගැනීමේ කරුණාන්විත හැඟීමයි. බුදුරජාණන් වහන්සේ මේ අදහස පැහැදිලි කරන්නේ සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ රාධ නම් තෙරුන් වහන්සේ නිමිති කර ගෙනයි. මේ රාධ කියන්නේ සැවැත් නුවර වාසය කළ තරුණ බමුණෙක්. මොහුගේ පියාට මහත් වස්තු වක් මුලදී හිමිව තිබුණා. නමුත් කලක් යනවිට කුමක් හෝ හේතු වෙලා මොහු ධනයෙන් ඉසුරෙන් පිරිහුණා. එහෙම වුණත් මේ තාත්තා තමාගේ පුතාට නැතිනම් රාධට බොහොම අමාරුකම් මැද වුණත් තරමක් දුරට ශබ්ද ශාස්ත්‍රය ඉගැන්වුවා. තමන් යම් පමණකට දැනඋගත්කමක් ලබා සිටීම නිසා රාධ ලෝකයේ ජීවත් වෙනහැටි, සමාජයේ ජීවත්වන හැටි ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඒක තමයි උගත්කම කියන්නේ.

ඉතින් ඒ නිසා කවදාවත් අනෙක් අයට උඩඟුකමක් දැක් වූයේ නැහැ. අනුන්ගේ අඩුපාඩු දකින්නේ හෝ ඒවා ගැන කථා කරන්නේ නැහැ. කම්මැළි ජීවිතයක් ගත කළෙත් නැහැ. මේ රාධගේ තරුණ කාලයේ දී ම මවුපියෝ මිය ගියා. ඉතින් තවත් දුගී බවට පත් වුණු රාධ පස්සේ විහාරයට ගිහින් මළුපෙත්මං ඇමද, තෙරුවන් හි වතාවත් කරමින් කාලය ගත කළා. පැවිදි වීමට ද ඔහුට කැමැත්තක් ඇති වුණත් මේ අසරණ දුප්පතා මහණ කරන්නට කවුරුත් හිමි නමක් ඉදිරිපත් වුණෙත් නැහැ.

එහෙම වුණත් බුදුරජාණන් වහන්සේ රාධට සසර ගිනි නසා රහත් වීමට හේතු සම්පත් ඇති බව දුටුවා. ඉතින් රාධගෙන් තොරතුරු විමසා රාධ මහණ වීමට බලවත් කැමැත්තෙන් සිටින බව දැනගෙන අනෙකුත් හාමුදුරුවරුවරුන්ගෙන් රාධ පැවැදි කරන්නට කැමැති අයෙකු ඉන්නවා දැයි බුදුරජාණන් වහන්සේ විමසා සිටියත් කවුරුවත් කැමැත්තක් දැක් වූයේ නැහැ. එහෙම වුණත් සැරියුත් මහරහතන් වහන්සේ දිනක් පිණ්ඩපාතය සඳහා වඩින අවස්ථාවක තමන්වහන්සේට රාධ පිණ්ඩපාතය පිළිගැන් වූ අවස්ථාවක් සිහිපත් වී ඒ ගැන කළගුණ සැලකීමක් ලෙස සිතා වදාරා රාධ පැවිදි කරන්නට කැමැති වුණා. රාධ පැවිදි වුණා. මේ රාධ ඉතා කීකරුව සුවචව, ලබා දෙන දැනමිතිකම් පිළිගෙන අවවාද අනුශාසනා මහත් ගෞරවයෙන් පිළි ගෙන ක්‍රිය කර විදසුන් වඩා රහත් බවට පත් වුණා.

රාධට හොඳීන් ගුරු හිමිවරුන්, වඩිහිටි තෙරවරුන් ලබා දුන් අවවාද අනුශාසනා නිස යි මෙවැනි උත්තරීතර තත්ත්වයකට පත් වුණේ. ඒ කාරණයෙන් පෙනෙී යන්නේ අප කෙරෙහි දයාවෙන් සෙනෙහසින් අපේ ගුරු දෙගුරුන් වැඩිහිටියන් අපට ලබා දෙන අවවාද අනුශාසනා පිළිපැදීමෙන් අපත් මහත් සැපතකට පත් වෙනවා. මේ කරුණ යි අප මෙහි දී සිතට ගත යුතු වන්නේ.